ඒකපාර්ශවීය ආදරයක් තුල ඔබත් වේදනාවෙන්ද ?

“සිතින් විතරක් පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ලංව ඉන්නට බෑ ලොවේ

අපට අප හිමි නෑ ලොවේ”

මේ සින්දුව ඇහෙද්දි ඕනම කෙනෙකුට මතක් වෙනව නේද කවදාවත් කියගන්න බැරි ඒකපාර්ශ්වීය ආදරයක් ගැන.

ඒක එක්තරා මිහිරක් වගේම හිත කඩාගෙන යන වේදනාවක් එක්කහු වෙච්ච හැඟීමක්. මේ ලෝකෙ ගොඩක් අයට මේ ඒකපාර්ශ්වීය ආදරේ මිහිර වගේම වේදනාව අනන්තවත් දැනිල ඇති.

මේ කතාවට මැදින් පොඩි කතාවක් එක්කහු කරන්නම්. මම විවාහ උනේ ආදරේ කරල. හැබැයි ඒ විවාහයට, ඒ ආදරේට කලින් මම සෑහෙන කාලයක් එයාට හිතෙන් විතරක් ආදරේ කරා. එයාව දකින එක ඒ කාලෙ මාර සතුටක්. ඒත් එයා වෙන කෙල්ලෙක් එක්ක කතාකරන එක, එයාව වෙන කෙනෙක්ට හිමි වේවිද කියන බය හිතට පුදුම ලොකු වේදනාවක් අරගෙන ආව මට තාම මතකයි. අවසානයේ විවාහයකින් එකතු උනාට හැම ඒක පාර්ශ්වීය ආදර කතාවක්ම එහෙම නෑනෙ නේද?

ඒකපාර්ශ්වීය ආදර ගොඩක් වෙලාවට දුකට බර වෙන්නෙ අපි ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක් ගැන අපිට ආදරයක් හිතුනම. ඒ වගේ ආදරයක් හිතේ ඇතිවෙච්ච ඉක්මනින්ම අපිට උගුල්ලල අයින් කරන්න බෑනෙ. ඉතින් එහෙම තැනකදි අපි හරිම ඉවසීමකින්, කැපකිරීමකින් අපිව දරාගන්න ඕන.

අන්න ඒ ගැන තමයි අපි අද මේ ලිපියෙන් ඔයා එක්ක බෙදාගන්නෙ.

1-      ආදරේ තේරුම් ගන්න

ඒකපාර්ශ්වීය ආදරේ එක එක විදිවලින් ඇතිවෙන්න පුලුවන්. සමහරවිට කාලයක් තිස්සෙ දන්න අඳුනන යාලුවෙක් ගැන වෙන්න පුලුවන්, එහෙම නැත්තම් දැනටම Stable Relationship එකක් ඉන්න කෙනෙක් ගැන වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් කීයටවත් ඔයාට කැමති නොවන කෙනෙක් වෙන්න පුලුවන්.ඉතින් ඒ වගේ වෙලාවක “අනේ මම මේ කරන්නෙ වරදක් නේද?” කියල හිතල හිත කඩා වට්ටගන්න එපා. මේ ඒක්පාර්ශ්වීය ආදරය කියන්නෙ පොදු දෙයක්. හැමෝටම ඇතිවෙන්න පුලුවන් දෙයක්. ඒකෙ වරදක් නැහැ.

2-      ඔයාගෙ හැඟීම් පිලිගන්න

ඒකපාර්ශ්වීය ආදරයක් එක්ක කටයුතු කරද්දි ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ හැඟීම් පිලිගන්න එක. “නෑ නෑ මගෙ හිතේ එයා ගැන හැඟීමක් නෑ” කියල බොරුවට හිත රවට්ටගන්නවට වඩා ඇත්ත පිලිගන්න එක ලේසි.ඉතින් මෙහෙම අවස්තාවක ඔයා හිතට එකඟ වෙන්න. ඒ ආදරේ ලැබෙන්නෙ නෑ කියල දැනෙද්දි, හිමිකරගන්න බෑ කියල දැනෙද්දි දුක හිතෙන එක, තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒක ගැන කලබල වෙන්න එපා. කිසිම වෙලාවක ඔයා ඔයා ගැන මෙහෙම වෙලාවක අවතක්සේරු කරල හිතන්න එපා. ඒ හැඟීම්වලට ඉඩ දෙන්න. ඒව පිලිගන්න. ඔයාට පුලුවන් එහෙම වෙලාවක ඔයා කැමති දෙයක් කරන්න, යාලුවෙක් එක්ක එලියට යන්න, විනෝද වෙන්න. වේදනාවක් ගේන හැඟීම්වලින් ටිකක් ඈත් වෙන්න.

3-      සීමාවන් සකසාගන්න

ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනෙ. “මං එයාට ආදරේ බව පෙන්නන්නෙ නැතුව ඉන්නව” කියල කොච්චර හිතුවත් ඔයාගෙ Actions වලින් එයා සමහරවිට ඒක තේරුම් ගන්න පුලුවන්. එහෙම උනොත් ඒක එච්චර ලස්සන නෑනෙ. ඔයාට හොඳත් නෑ. ඒ නිසා ඔයා ඒකපාර්ශ්වීයව ආදරෙන් බැඳිල ඉන්න කෙනා සමග යම් සීමාවන් සකසාගන්න. ඒ ඔස්සෙ ටික ටික මේ වේදනාවෙන් ඔයාට ඈත්වෙන්නත් පුලුවන් වෙයි. මේකෙන් අදහස් කරන්නෙ එයාව සහමුලින්ම ඔයාගෙ ජීවිතෙන් අයින් කරනව කියන එක නෙවෙයි. හිත හැදෙනකම් අයින් වෙනව කියන එකයි

4-      ඔයා ගැනම හිතන්න

එයා ගැන වෙනුවට ඔයා ඔයා ගැන හිතන්න පටන් ගන්න. මෙහෙම කාලෙක ඔයාගෙ මනසට දැනෙන චිත්තවේගීය හැඟීම් හරිම අමුතුයි. ඒ නිසා හැම නිතරම ඔයා කටයුතු කරන්න ඕන ඔයාව ශක්තිමත්ව තියාගන්න. සිංදුවක් අහන්න, පොතක් කියවන්න, චිත්‍රපටයක් බලන්න යන්න, ට්‍රිප් එකක් යන්න වගේ මනස සැහැල්ලු කරන ලස්සන ලස්සන දේවල් එක්ක කාලය ගතකරන්න. ඔයාට ලොකු අවධානයක් දෙන්න. ඔයාගෙ ආත්ම අභිමානය සහ දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරගන්න. එහෙම උනාම ඔයාට පුලුවන් ඒකපාර්ශ්වීය ආදරයක් නිසා ලැබෙන වේදනාව හොඳින් භාරගන්න.

5-      එයාව දකින විදිය වෙනස් කරගන්න

ඒකපාර්ශ්වීය ආදරේකදි විතරක් නෙවෙයි. ඕනම ආදරයකදි අපි ඒ ආදරය කරන කෙනා මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා විදියට දකින එක සාමාන්‍යයිනෙ. අන්න ඒ හැඟීම ටිකෙන් ටික වෙනස් කරගන්න. අපි හැමෝම වගේම එයත් අඩුපාඩු තියෙන කෙනෙක් බව තේරුම් ගන්න. එයා තුලින් ඒ අඩුපාඩු දකින්න උත්සහ කරන්න. ඒව පිලිගන්න. ඒ දකින දේවල් එක්ක හිමින් සැරේ ඒ ඒකපාර්ශ්වීය ආදරයේ හැඟීම් ටික ටික අඩු කරගන්න ඔයාට පුලුවන්.

6-      උදව් ඉල්ලගන්න

ඔයාට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැන කතාකරන්න එයාත් එක්ක පසුබට වෙන්න එපා. එහෙම කෙනෙක් නැතිනම් ඔයාට පුලුවන් උපදේශකවරයෙක්ගෙ සහය ගන්න. කෙනෙක්ට හිතෙන්න පුලුවන් “මේ වන් සයිඩ් ලව් එකකට ඔච්චර නටන්න ඕන ද?” කියල. අපි එහෙම හිතුවට සමහර කෙනෙක්ට මේ ඒකාපාර්ශ්වීය ආදරය නිසා ඇතිවෙන බලපෑම වැඩියි. එහෙම තැනකදි උදව් ගන්න ලැජ්ජ වෙන්නවත්, දුක් වෙන්න හෝ බය වෙන්නවත් උවමනා නැහැ.

ඒකපාර්ශ්වීය ආදරය අහිමිවීම තුලින් ජීවිතේට ආයෙ කවදාවත් ආදරය ලැබෙන එකක් නැ කියල හිතන්න එපා. සමහරවිට ඔයා මේ මොහොතේ ඒකපාර්ශ්වීය ආදරයකින් උනත් බැඳිල ඉන්න කෙනා එක්ක එකතු නොවී ඉන්න ලැබෙන්නෙ, එයා වෙන කෙනෙක්ට අයිති උනේ ඔයාට ඊටත් වඩා හොඳ ආදරණීය කෙනෙක් ලං කරන්න වෙන්න පුලුවන්.

ඉතින් ඒ ආදරේ ඔයා ලඟට එනකම් ඉවසීමෙන් ඉන්න!

Related Articles

Don't Miss


Latest Articles