අකලංක සහ ප්‍රබාත් මොණරවිල හොටෙල්ස් වෙත පැමිණෙද්දී උදෑසන ආහාර අවසන් ව තිබුණි. එහෙත්, අකලංක වෙනුවෙන් විශේෂ ආහාර වේලක් සකසන්නට එවෙලෙහි හෝටලය තුළ සේවයේ යෙදෙමින් උන් සියලු දෙනාම එක ගොඩට එක් වූවායැයි කිවහොත් එය වඩා නිවැරදිය.
පෙර දිනයේ කිසිඳු වෙස් මාරුවකින් පැමිණි නිසා අද ප්‍රබාත් උන්නේ මුහුණ වැසෙන්නම රැවුල අලවාගෙන, කැප් තොප්පියක්ද පැලඳගෙනය. අකලංක තරු ගුණය විදහාගෙන නිල් පැහැ ලිනන් කමිසයක් සහ ඩෙනිම් කලිසමක් හැඳ සැහැල්ලු පාවහන් පැළඳ උන්නේය.
අකලංක පැමිණ ඇති බව දැනගත් මොහොතේ ම තිලිණි ඔහු හමුවීම පසෙකට දමා ශයිනිට ඇමතුමක් ගත්තාය. එහෙත් ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය. කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් පසුව ඇය ජංගම දුරකතනය විසන්ධි කර ඇති බව වටහා ගත් තිලිණි නිවසේ ස්ථාවර දුරකතනය ට ඇමතුමක් ගත්තාය.
ඇමතුමට පිළිතුරු දුන්නේ ශයිනිගේ මව වූ නිසා,පෙර දිනයේ සිදුවූ සිදුවීමේ අහුකොන් ඇයට පවසන්නට තිළිණිට සිදුවිය. පෙරදා සවස නිවසට පැමිණි මොහොතේ සිට තවමත් ශයිනි කාමරයෙන් පිටතට පැමිණියේ නැති වගත්, ආහාර ගැනීම සඳහා පැමිණෙන්නට යැයි කියූ විට පවා කුසගිනි නැති වග පවසමින් ඉන්නා බව ඇය තිළිණි ට පැවසූවාය.
ඉන් එහා තිළිණි ටද කිසිවක් පැවසීමට නොහැකි වූ නිසාවෙන් ඕ ශයිනිගේ අම්මාට සැනසුම් බස් පවසා ඇමතුම විසන්ධි කලාය.
ඉන් පසුව ඕ චරිත්ට අකලංක ගේ පැමිණීම පිළිබඳව දැනුම් දුන්නාය. වහා මුළුතැන්ගෙයට ගොස් අකලංක ගේ ආහාර ඉල්ලීම් පිළිබඳව සොයා බැලුවාය.
“අපි බුෆේ එක ක්ලෝස් කරලා තිබ්බේ තිළිණි මිස්… දැන් මේ ආයෙම ස්ට්‍රින්ග් හොපර්ස් දාන්න ගත්තා…”
තිලිණි කඩිමුඩියේ මුළුතැන්ගෙයට ඇතුලුවෙනු දුටු ප්‍රධාන සූපවේදියා පැවසූයේය. තිළිණි ඔහුගේ පැහැදිලි කිරීමෙන් සෑහීමකට පත් වූවාක් මෙන් වටපිට බැලුවාය. අකලංක මෙහි පැමිණීම මේ මොහොතේ කෙතරම් වටින්නේදැයි තිළිණි දනී. මේ ලැබුණ අවස්ථාව උපරිමෙන් ප්‍රයෝජන ගත යුතුය.
“මොනවද ඕර්ඩර් කලේ ?”
“උදේට කන්න මොනවා හරි ඉල්ලුවේ… ක්ලයන්ට් කෙනෙක් මීට් වෙන්න ආව කිව්වා. එයා එම ටයිම් එක අනුව ලන්ච් ඕර්ඩර් කරනවා කිව්වා..”
“දැනට මුකුත් යැව්වද ?”
“උණු වතුර එකක් විතරයි ඉල්ලුවේ…”
තිළිණි පිටතට පැමිණෙද්දී චරිත් පැමිණ උන්නේය. දෙදෙනාම අකලංක මුණ ගැසුනේ ඔහුගේ පැමිණීම කෙතරම් වැදගත්දැයි අකලංක ට දනවන්නට ම සිතමින් යැයි කීවාට වරදක් නැත. තිළිණි සහ චරිත් ඔවුන් දෙදෙනා හඳුන්වා දී අනතුරුව ශයිනි පිළිබඳව ද සඳහන් කරන්නට අමතක කලේ නැත. ශයිනි පිළිබඳව පවසද්දී අකලංක ඇය පිළිබඳව අසා ඇති බව දනවන්නට ඉතා සාර්ථක ලෙස රංගනයේ යෙදෙන අයුරු ප්‍රබාත් බලා උන්නේ සිනහව ගිල ගනිමිනි.
“මම ටීවී ප්‍රෝගෑම් එකක දැක්කා වගේ මතකයි… මගේ මතකේ නිවැරදි නම්, නිව්ස් පේපර් ආර්ටිකල්ස් කිහිපයක් ම තිබුණා.”
“ඔව් … “
“කෝ..අද අපට බෙස්ට් එන්ටර්ප්‍රිනියර්ව මුණගැහෙන්න බැරිද ඉතින් …?”
අකලංක ඉතා රමණීය ලෙස පන්දුව චරිත් වෙත යොමු කරමින් උන්නේය. චරිත් කිසිවක් නොපවසාම අකලංකගේ පන්දුව ඉතා සීරුවෙන් බාර ගත්තේ හිනැහෙමිනි.
” ඊයේ පොඩි ප්‍රශ්නයක් වෙලා ශයිනි අද හොටෙල් එකට ආවේ නෑ…”
තිළිණි ප්‍රබාත් දෙස බලා හිනැහුනේය. ප්‍රබාත් ඇයට පෙරළා හිනැහුණේ අපහසුවෙනි. ඔහු වහා ඇයට මුණ නොගැසෙන්නට දෑස් ඉවතක ඇලෙව්වේය
“ශයිනිගේ ඇචීව්මන්ට් එකට මෙහෙ සෑහෙන්නම අය කේස් … පොඩි කෙල්ලෙක් මේ ෆීල්ඩ් එකේ අල්ලන් යනකොට ඉතින් කට්ටියගේ ඇස් වල කටු අනිනවනේ මිස්ටර් අකලංක … ඒකෙන් පොඩි සිද්දියක් ඇවිලි ඇවිලි තිබ්බේ මේ දවස් ටිකේම… ඊයේ ඒක පුපුරලා ශයිනි ටිකක් අවුට් ඔෆ් මයින්ඩ්…”
අකලංක ප්‍රබාත් දෙස බලන්නට හෝ උත්සුක නොවෙමින් චරිත්ගේ කතාව අසා උන්නේය. චරිත් අකලංක ට අමයුරුගේ ලිපිය පිළිබඳව පැවසූයේ ශයිනි අමයුරුට එවැන්නක් ලියන්නට කියූ වග නොපවසමිනි. එය චරිත් සැබැවින්ම නොදන්නවාද, නොඑසේනම්, ඔහු යමක් සඟවා කතා කරනවාද කියා අකලංක ට හෝ ප්‍රබාත් ට වැටහුණේ නැත.
උදෑසන ආහාරය සූදානම් වග දැනුම් දුන් නිසා කතා බහ ඉන් නැවතුණි. චරිත් දෙදෙනාටම සවස් වන තුරු රැඳී සිටින්නට ආරාධනා කලේ , විවේක මොහොතක චායාරූප කිහිපයක් වෙනුවෙන් අකලංක ට ආරාධනා කරමිනි.
ඒ යන ඇසිල්ලටද තිලිණිගේ දෑස් යළි ප්‍රබාත් හා පැටලුණේ දෙදෙනාම නොතේරුණ නූල් බෝලයක සිත් පටලවමිනි. ප්‍රබාත් එය වටහා ගත්තේ තමා සඟවන්නට උත්සාහ කරන යමක් තිළිණි හෙළිදරව් කරගන්නට උත්සාහ කරනවායැයි සිතමිනි. තිළිණි එය වටහා ගත්තේ , මින් පෙර කොහේදී හෝ දැක පුරුදු ඇස් ද්ව්ත්වයක් තමා හා දොඬමළු වෙන්නට උත්සාහ කරන වග සිතමිනි. ඒ ඇස් හතර මුණ ගැහුණේ පෙර සතියේ මොණරවිල හොටෙල්ස් පරිශ්‍රයේම වග දැන උන්නේ ප්‍රබාත් පමණි. ඒ නිසාම හැකි ඉක්මනින් තිළිණිගෙන් වසන්ව යන්නට ප්‍රබාත් ට උවමනා විය.
“මේ..දැන් ආයේ බලන් ඉඳලා තේරුමක් නෑ.. අපි යමං..”
ආහාර බෙදාගන්නට අරඹන්නට හෝ පෙරම ප්‍රබාත් අකලංක ට යෝජනා බස් ඉදිරිපත් කලේය. අකලංක ආපසු හැරී එයට නොසතුටු මුහුණක් පෙන්වද්දි ප්‍රබාත් කෝපයෙන් යළි අකලංක වෙතට ලංවී බැණ වැදුනේය
“අර එච් ආර් එකෙන් කියලා ආව ගෑණි මාව ගිලින්න හදනවා.. එකත් එකටම ගිය සතියේ අපි ආව වගක් නෝට් කරගෙනද දන් නෑ….”
එවර නම් අකලංක තිගැස්සී මෙන් ආපසු බැලුවේය. ප්‍රබාත් ඔහුට පෙන්වූයේම බැරෑරුම් මුහුණකි. අකලංක ප්‍රබාත් හා එකඟ බව පෙන්වන්නට හිස සැලුවේය. ඉතා ඉක්මන් උදෑසන ආහාරයක් නිම විය. අකලංක චරිත් ගේ ඉල්ලීමට එකඟව චායාරූප කිහිපයක් වෙනුවෙන් මද වේලාවකට පසු වෙද්දී, ප්‍රබාත් මොටර් රියට ගොඩ වූයේය.
පෙර දිනයේ හෝටලයෙන් යන විට දැනුණ හැඟීමට වඩා වෙනස් හැඟීමක් දෙදෙනා තුළම වෙන වෙනම ඉපදෙමින් තිබුණි. ඒ කවුරුන් වෙනුවෙන් ද, කොහොමදැයි කියා දෙදෙනාටම අදහසක් වූයේ නැත. එහෙත්, ශයිනි ට දෝෂාරෝපණය වනසේ ලියූ ලිපිය නිවැරදි විය යුතිදැයි හැඟීම දෙදෙනා තුළම එක්ව ඉපදෙමින් ඇති වගද පැහැදිලිය.
“එදා ඉතින් අපි හරියටම දැක්කනේ බං…”
අකලංක එලෙස පැවසූ විට එහි මුල ගිය තැන කොහිදැයි ප්‍රබාත් ට වැටහුණේ එබැවිනි. ඔහුද එයට එකඟව හිස සැලුවේය. කොහෙන් කුමක් පැටලුනාදැයි දෙදෙනාටම සිතා ගන්නට හැකි වූයේ නැත.
නිරවුල් කරගෙන පැමිණෙන්නට ගිය ගමනින් දෙදෙනාම පැමිණියේ තවත් පැටලීගෙනය. එක් අතකින් මේ ලිපිය වෙනුවෙන් ශයිනි තමාට ගෙවා ඇත. අනෙක් අතට ලිපියේ දෝෂයක් වේ නම් ඉන් ඇයට සිදුවන්නට ඇත්තේ සුළු පටු හානියක් නොවන වග අකලංක ට පැහැදිලි ය. එය එසේ නම් එය නිවැරදි කරන්නට කල යුතු දේ කුමක්දැයි කියා තමාට අදහසක් හෝ ඇත්තේ නැති බව අකලංක සිතුවේ සවස නාන කාමරය තුළ සෑහෙන්නම වෙලා කල් මරමිනි.
“අපි නිකන් ස්ට්‍රෙස් වෙනවා විතරයිද කොහෙද බං.. උන් අපිව ඇන්දුවද කවුද දන්නේ.. බලන් ඉමු…”
අවසානයේ සිත සමඟ සටන අවසන් කර අකලංක ප්‍රබාත්ට පැවසූයේය. ඇය එවැන්නක් නොකලා නම් ඇගේ නිර්දෝශී බව වෙනුවෙන් ඇය සටන් කල යුතුමය. ඇය එතරම් දක්ෂ නම්, විශිෂ්ට නම් , නොකල වරදක් වෙනුවෙන් අපවාද විඳිමින් සැඟවෙන්නට උත්සාහ කරන අයෙකු විය යුතු නැතැයි අකලංක සිතුවේය. කාලයට ඉඩ දී බලා සිටීම හොඳම විසඳුමය.
නිවසට පැමිණියාට පසුව ද දෙදෙනාම කලේ ඒ ගැන සාධාරිණිකරණය කිරීමය.
අකලංක යළි පිටපත කියවන්නට පටන් ගත්තේය. එහෙත් දෙබස් මතින් ඇස් යනවා විනා අවබෝධයක් නොලැබෙන වග වටහාගත් වහාම ඔහු එය පසෙකට දමා නින්දට වැටුණේය.
ශයිනි එක දිගට පැය විසිහතරක් පමණ කාමරය තුළ සිටින්නට ඇත. සවස ඇය ඇහැරුනේ අම්මා සහ ශාන්තී දොරට ගසනා හඬිනි. බිත්තියට වන ලෙස සකසා ඇති ඔරලෝසුවේ වෙලාව පෙන්වන්නේ හතරයි විස්ස ලෙසය. ඒ වෙලාව, වෙලාවක් ලෙස කියවා ගත්තා විනා දිනයක් කාලයක් පිළිබඳව අවබෝධයක් ඇයට තිබුණේද නැත. කොටින්ම ඇය උන්නේ තෝන්තුවෙනි. අම්මා ගේ හඬ දිගින් දිගටම ඇසෙද්දී ඕ ඇඳේ කෙලින් වී හොඳ ගත්තාය.
“මං පහලට එන්නම් අම්මා…”
එලෙස පවසා දෑතින්ම හිසකෙස් එක මිටකට වන සේ සකසා ගෙන හිස් මුදුනේ ගෙඩියක් වන සේ ගැට ගැසුවාය. ඉන් පසුව මුහුණ දෑත්ලෙන්ම වසාගෙන තමා මෙලෙස සිටින්නේ ඇයිදැයි කල්පනා කලාය.
තත්පර කිහිපයක පමාවෙන් සියල්ල සිතුවම් පටයක් සේ ඇදී ගියේ, ඉන් තත්පරයකට පෙර නිවී තිබූ සිත කළඹා හරිමිනි. ඇය ජංගම දුරකතනය ක්‍රියාත්මක කළාය. මග හැරුණු ඇමතුම් සඳහා වන කෙටි පණිවිඩ සේම විවිධ ආකාරයේ කෙටි පණිවිඩද පෝලිමට ගලා ආවේය.
ඕ ඒ සියල්ල දුරකතනය ට රිංගා නිහඬ වන තුරු ජංගම දුරකතනය පාදය මත තබාගෙන ඒ දෙස බලා උන්නාය. අවසානයේ එකින් එක පණිවිඩ ඔහේ විවෘත කරමින් පහලට ගියාය.
එහෙත් එක් පණිවිඩයක් ඇගේ හද ගැස්ම ඉතා වේගයෙන් ඉහළ දැම්මේය.
“අකලංක … අර නලුවා මෙහෙ ඇවිල්ලා…”
තිළිණි එලෙස පවසා තිබුණි.
| අපේක්ෂා ගුණරත්න |