ප්‍රබාත් සමඟ ඇමතුම නිමවී අකලංක අම්මාටද කතා කලේය. ගමේ විත් යන්නයැයි අම්මා පවසන්නේ පන්සලේ නේත්‍ර පරිශ්ඨාන පිංකමට තමාද කැටුව යන ආශාවෙන් බව අකලංක දනී. ඒ නිසා එළැඹෙන සති අන්තයත් සඳුදා දිනයත් විවේක වන සේ වෙන් කරවා ගත යුතුය.
සෙනසුරාදා උදේ ගාල්ලේ සිට නවාතැනට ගොස් අම්මල වෙනුවෙන් මින් පෙර වරින් වර මිලදී ගෙන ගොඩ ගසාගෙන ඇති අඩුම කුඩුම සියල්ලද රැගෙන සෙනසුරාදාම පිටත් විය හැක. ප්‍රබාත් ද බොහෝවිට ඒ ගමනට එක් වනු ඇත. එවිට අම්මා ගේ හිතටද හොඳය. රෑ බෝ වී වාහනය රැගෙන එනවාට අම්මාගේ හිත කලබල බව අකලංක දනී.
සහාය අධ්‍යක්ෂවරයා හමුවූ අකලංක මේ දින තුන තුළ තමාට ලබාදිය හැකි උපරිම දර්ශන වාර ලබා දෙන ලෙසත්, සෙනසුරාදා ඉරිදා සහ සඳුදා ඉතා අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනුවෙන් මාතලේ යෑමට සිදු වන බවත් දැනුම් දුන්නේය. ඒ සියල්ල ඉතා පහසුවෙන් සකස් විය.
ඉන් පසුව එළැඹුණු දින තුනේම අකලංක සහ බන්ධනාගේ දර්ශන රූගත කෙරුණි. ඊට අමතරව බන්ධනාගේ පියා සහ අකලංක ගේ ද දර්ශන වාර කිහිපයක්ම රූගත කර අවසන් කෙරුණි.
ශයිනි ඒ දින තුනම ගෙවා දැමුයේ කොළඹය. ඇයට විදෙස් ආයෝජකයන් දෙපලක් සමඟ සාකච්ඡා වට දෙකක් සඳහා ඉදිරිපත් කිරිම් යෙදී තිබුණි. ඒ සිකුරාදාවටය. එනිසා ඇය බදාදාත් බ්‍රහස්පතින්දා ත් නිවෙසට වී ඒ සඳහා සූදානම් වූවාය.
මොණරවිල ගාර්මන්ට්ස් අපනයන මට්ටම තවත් ඉහළ දමා ගැනීම සඳහා මේ අවස්ථාව කෙතරම් වටිනවාදැයි දැන උන් නිසාම , ශයිනි ඒ පැය හතලිස් අටම තත්පරයක් හෝ අපතේ යා නොදී සූදානම් වුවාය. දැඩි වෙහෙසකාරී මනසින් පීඩාවට පත් වූවාය.
අමයුරුගේ මුහුණු පොත් ගිණුමට පිවිස වරක් දෙවරක් පෙර සංවාද කියවීමෙන් ඒ වෙහෙසට යම් සිසිලස් පොදක් ඉසි බවට ඇයටම වැටහෙද්දී ඕ යළි යළි එයම කලාය. එහෙත් අමයුරු අමතා එක් පණිවිඩයක් හෝ තියන්නට සිතක් වූයේ නැත.
කොළඹ යෙදී තිබු රාජකාරි අවසන් කර ශයිනි යලි ගාල්ලේ පැමිණියේ සෙනසුරාදා උදෑසනය. ඇය පැමිණෙන විටද ටෙලි නාට්‍යයේ රූගත කිරි ම් ඇරඹෙමින් තිබුණි. ඇය ඔවුන් හා කෙටි කතා බහකට එක් වූවාය. ඒ අතර වාරයේ දෑස් යමෙකු සොයන බව ඉතා තිරව පිළිගෙන, ඕ හෙමි හෙමින් ඒ රුව සෙව්වාය.
එහෙත්, අකලංක ඒ වනවිටත් උන්නේ ඇගෙන් දුර ඇදෙමිනි. ශයිනි අකලංක රැඳෙන කාමරය පසු කරමින් තම කැබිනයට යන මාර්ගය සොයා ගත්තාය.
ඒ මඟ දිගුය. එහෙත් දුශ්කර, දිගු මාර්ග අවසානයේ යම් තෘප්තිමත් හැඟීම් දැවටෙන වග ඇය දැන උන්නාය. අකලංක ගේ කාමරයෙහි දොර වසාතිබුණි. එවෙලෙහි හිතුනාට ඕ එය විවෘත කරන්නට උත්සාහ කලාය. එහෙත් එය වූයේ අඟුලු ලාය.
කුළුඳුලේ සොරකමක් කරන්නට ගිය සෙරකගේ හදවතක් ගැසෙන්නේ කෙතරම් වේගයෙන්ද, තම හදවතද ඒ වේගයෙන්ම ගැසෙන බව ශයිනිට දැනෙයි. ඕ වහා ආපස්සට බැලුවාය. දිගු කොරිඩෝවේ කිසිවෙකු නැත. ඉදිරිය බලමින් අඩියට දෙකට කැබිනය තුලට රිංගා ගත්තාය.
මේසය මත වූ වතුර බෝතලයෙන් බාගයක්ම හිස් කලාය. අනතුරුව අසුනට වැටුණාය. ආරක්ශිත කැමරා පරික්ශා කලාය. අකලංක යම් තරමක බෑගයක්ද රැගෙන පිටව යනු දැක ඕ මද වේලාවක් ඒ දසුනම පිටුපසට, ඉදිරියට යවමින් බැලුවාය. ඒ අකලංකමදැයි නැවත බැලුවාය.
ඇතැම්විට ඔහුට අදාල රූගත කිරිම් කොටස් අවසානව ඇතිවා විය යුතුය. එ නිසා ඔහු වේලාසන , තනිව දර්ශන තලයෙන් බැහාරව ගියා විය යුතුය. ශයිනි මේසයට තට්ටු කරමින් සිතෙහි වූ නොසන්සුන්කම සඟවාගන්නට උත්සාහ කලාය.
අමයුරු ………….,
අකලංක …………….,
කිනම් හෝ විපර්යාසයක් සිතෙහි තනන්නට මේ දෙදෙනා එක්ව උත්සාහ කරන බව ශයිනි දැන් දැන් පිළිගන්නට සූදානම් ය.
ඕ ලැප්ටොප් පරිඝනකය මේසයමතට ගත්තාය. ගෙවුණ දිනය සාර්ථක වීමේ උද්දාමය මෙලෙසින් ක්ශය වීම ඇයට මානසික වදයක් වෙමින් තිබුණි.
“මං අකලංකට ද මේ නර්වස් වෙන්නේ..අමයුරු ටද ? නැත්නම් මේ දෙන්නම මාව නර්වස් කරනවද ? හරි විකාරයක් නේ මේක…”
ඕ ඇයටම පවසාගත්තාය. මේ නොසන්සුන්කම කෝපයක් සේ සකසාගෙන ඉන් හිත සන්සුන් වනවා නම් එය ද කම් නැත.
ඕ දිනය ගෙව්වේ ඒ නොසන්සුන්කම ක්ශය කරගන්නට නොහැකිවම ය.
මැසෙන්ජරය හඬ දුන්නේය. ශයිනි වැඩි උවමනාවක් නොපෙන්වාම ජංගම දුරකතනය ට එබුණාය
“ගුඩ්මෝනින්…. සුබ උදෑසනක් …!!”
අමයුරු දිසානායක පැමිණ උන්නේය. සතියකට පමණ පසු ඔහු පැමිණ උන්නේය. ශයිනි මොහොතක් එලෙසම උන්නාය. පසුව ජංගම දුරකතනය අතට ගෙන තවත් මොහොතක් එලෙසම උන්නාය.
යළි මැසෙන්ජරය හඬ දුන්නේය. ඇය පැමිණි පණිවිඩය කියවූ බව අනෙකාට නොපෙනෙන සේ යළි එයද තිරයේ ඉහලින් පමණක් කියෙව්වාය.
“කොහොමද ? වේස්ට් මැනේජ්මන්ට් ප්‍රශ්න විසඳගත්තා ද ?..”
ඔහු එලෙස විමසා තිබුණි.
මේ සූදානම් වන්නේ කුමකටද ? ඔහුට මේ පිළිබඳව මෙතරම් උනන්දු වීමෙන් ලැබෙන්නේ මොනවාද?
ඕ මැසෙන්ජරය විවෘත කලාය. සුබ උදෑසනක් ලෙස යැව්වාය. ඉතිරි පැනයට පිළිතුරු සිතා ගත නොහැකිව මොහොතක් කල්පනා කලාය. එසැනින් තවත් පණිවිඩයක් මතු විය.
“කොහොමද ප්‍රසන්ටේෂන් ?”
එවර නම් ඕ අසුනින් නැගිටුණාය. ජංගම දුරකතනය අතට ගෙන වීදුරු ජනේලයෙන් පිටත බැලුවාය. එලෙසනම්, ඊයේ වැඩසටහන ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අතර මොහු සිටියේද ?
පිළිතුරු යැවීම පසෙකට ලූ ශයිනි ඊයේ දිනයේ වැඩසටහන සංවිධානය කල ආයතනයේ ෆේස්බුක් පිටුවට පිවිසුනාය. වැඩසටහනට අදාලව යම් චායාරූප පලවීමක් ඇතිදැයි බැලුවාය. එහෙත් බලාසිඳි ගියේය. කිසිඳු පල කිරීමක් වුයේ නැත.
ඕ යළි මැසෙන්ජරයට පිවිසුනාය.
“කොහොමද ඒ ගැන දන්නේ ?”
මුල් ප්‍රශ්නය මඟ හැරුණි.
“මම නොදන්න දෙයක් නෑ…”
පෙරළා පිළිතුරු ලැබුණි.
“මීඩියා ඇවිල්ලා හිටියා ඊයේ…”
ශයිනි යළි එලෙස ඇමිණුවාය.
“ඉතින්……..?”
“ඔයා එතන හිටියද ?”
“මම හැම තැනම ඉන්නවා කොහොමටත්…”
අමයුරු ගෙන් වැටුණා යැයි කිව හැකි තරමේ මන්දස්මිතයයැයි ශයිනි ගේ දෙතොල් මත විය. ඔහු සැහැල්ලුවෙන් දොඬමලු වෙයි.
“මාව දැක්කද ?”
“මං කොහොමටත් ඔයාව දකිනවා…”
පිළිතුරු ලැබුණි.
ශයිනි දෑස් විසල් කරගෙන ඒ පණිවිඩය යලි යලි කියෙව්වාය. ඒ පණිවිඩය අගට ඇමිණී තිබූ කලු පැහැති වූ හදවත මත උඩු කරණම් ගැසුවාය.
ඇයට පෙරළා යවන්නට යමක් ගලපා ගත හැකි වූයේ නැත. හදවත පිම්බෙමින් ඇති වග දැනේ. සිහින් විදුලි සැරයක් ගත පුරා එහෙන් මෙහෙන් මතුව ක්ශයව යන වග දැනෙයි.
“ඔයා කවුද..?’
ශයිනි විනාඩි කිහිපයකට පසුව විමසුවාය.
“අමයුරු… අමයුරු දිසානායක …..”
තත්පරයක් වත් පමා නොවී පිළිතුරු ලැබුණි. ඒ හදිසිය ශයිනිව උන්මාදනීය ප්‍රහර්ශයෙන් පුරවමින් තිබුණි.
“මං අහන්නේ ඇත්තටම කවුද ඔයා…?”
ඕ ඔහු තුලට රිංගන හිඩැසක් සෙව්වාය.
“මං අමයුරු …”
“ඒක ෆේක් එකක්…”
“අපි හැමෝම කොහොමටත් ෆේක්…..”
“නැහැ.. මේ මම..ශයිනි… ඒත් ඔයා අමයුරු නෙවෙයි …”
ශයිනි ඉතා ආක්‍රමණශීලි සුළු ස්වයකින් එය කියවමින් එලෙස අකුරු ගලපා යැව්වාය. අනෙක් පසින් අමයුරු නමින් සිටින්නාද ඒ ආක්‍රමණශීලි ස්වරය හඳුනාගෙනම එය කියවාවියැයි බලාපොරොත්තුවෙන් ඕ එය යළි කියෙව්වාය
“ඔව්… අමයුරු නෙවෙයි .. ඒත් : ඔයත් එක්ක අමයුරු …”
දරා ගැනීමට අපහසු, එහෙත් ඍජු පිළිතුරක් ලැබුණි. ශයිනි එය යලි කියෙව්වාය. එහි අරුත ඔහුගේ වෙස් මුහුණ සමඟ ඔහු ආශ්‍රය කරනවාද , එලෙස නොමැති නම් සියළු සම්බන්ධතා වලින් මිදෙන්නේද යන තීරණය ඔහු ඉතා පහසුවෙන් තමා වෙත පැවරූ වග නොවේදැයි ඒ සැනින් ඇයට කල්පනා විය.
මේ ගෙවෙන්නේ තිස් හතර වෙනි අවුරුද්දය. වෙස් මුහුණු පැලඳ ගත් , නන්නාඳුනන පිරිමියෙක් සමඟ හීන බලන්නට තරම් තමා බොළඳ නොවේයැයි ඕ ඊළඟ තත්පරයේ සිතුවාය. එහෙත්; අමයුරු …, ඔහු ගේ සිහිපත් වීම පවා සමනල් කෝෂ ඇති තැන් ගැන ඉඟි දෙන්නේය.
| | අපේක්ෂා ගුණරත්න |