fbpx

හිස්තැන්.

ටිමී මහා හයියෙන් බුරන සද්දෙට මාධවී කලබල වුණා.ටිමීට කෑම හදමින් ඉන්න වෙලාව නිසා කොහොමත් එයාගේ දැඟලිලි ගතිය වැඩියි.අද ගයාන්ට රාජකාරි කටයුතු වැඩි දවසක් නිසා මාධවී උදේ නැගිටලා ඉව්වෙත් නෑ.

“අද මට මීටින් එක තියන හොටෙල් එකෙන් කන්න වෙන්නේ මදූ.ඔයා මොනව හරි ඕඩර් කරගන්න හොඳේ.”

ගයාන් එහෙම කියලා ගෙදරින් පිටත් වුණා.කිහිපවතාවක්ම “කෑම ඕඩර් කරාද, මොනවද ගෙන්නුවේ, අහවල් රෙස්ටොරන්ට් එකෙන් ඕඩර් එකක් දාන්නද,ටිමීට කන්න දුන්නද”වගේ මැසේජස් කෝටියක් ගයාන් එවලා තිබුණා.
හොඳටම කාර්යබහුල දවසකත් එහෙම පණිවිඩ එවන්න වෙලාව හොයා ගන්න ගයාන් ගැන මාධවීට දැනෙන්නේ කියන්න බැරි තරම් ආදරයක්.

“මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දිත් තාමත් අර ස්කූල් යුනිෆෝම් එකෙන් මගෙ පස්සෙන් ආපු කොල්ලා ඉතුරු වෙලා ඉන්න එකම මදැයි..”

මාධවී හිතුවේ හුස්මක් ඉහළට ගන්න ගමන්.ටිමීගේ බිරිල්ල නවතින පාටක් නෑ.ගයාන් කෑම ඕඩර් කරන්න ඇති.කහපාට ඇඳුමක් ඇඳන් එන යතුරුපැදි තරුණයන්ට බුරන එක තරම් සතුටක් ටිමීට තවත් නෑ.

ඒත් ගේට්ටුව ළඟ හිටියේ ඕඩර් කරපු කෑම අරන් ආපු තරුණයෙක් නෙවෙයි.පුංචි දියණියක් වඩාගත්තු තරුණ අම්මා කෙනෙක්.

“ඇයි?”

පාරක් හොයන පාටක් නැති නිසාම මාධවී එයාගෙන් ඇහුවා.

“දරුවා බඩගින්නෙ නෝනා..”

මාධවී පුංචි කෙල්ලගෙත් තරුණ අම්මාගෙත් මුහුණ දිහා තව පාරක් බැලුවා.නානාප්‍රකාර මිනිස්සු ගේට්ටුවට තට්ටු දාලා දාහක් කතා කියනවා.

“මුං හොරු කියල දැනගෙනම අපිත් දන්සැල් දානවා.”

ඉස්සරහ ගෙදර ආන්ටි රීටා හැමදාම මාධවී එක්ක හිනා වෙන්නේ එහෙම කියාගෙන.ඒත් ඉල්ලාගෙන එන්න කාට වුණත් හේතුවක් ඇති කියලා මාධවීට හිතෙනවා.

ටිමී මොනතරම් කිව්වත් බිරිල්ල නවත්තන්නේ නෑ.අමාරුවෙන් එයාව කූඩුවට දාලා මාධවී තරුණ අම්මාට ඇහුම්කන් දුන්නා.ඒත් කූඩුවට යන්න වුණු එක ගැන තරහින් ටිමී තවත් බුරනවා.පුංචි කෙල්ල අම්මාගේ බෙල්ල බදාගෙන.

“ඇතුළට එන්න..”

මාධවී අම්මාවත් දූවත් ඇතුළට ගත්තා.පරිස්සමින් ඇතුළට ආව තරුණ ගැහැනිය උද්‍යාන බංකුවකින් ඉඳගත්තේ පරිස්සමින්.

“පුතේ,ඔච්චර බෙරිහන් දෙන්න එපා.මේ පොඩි බබා බය වෙනවා..”

මාධවී ටිමීට පොඩ්ඩක් සැරෙන් කතා කරා.තරුණ ගැහැනිය, ජානකී තමන්ගේ ලෑලි ගෙදරටත් වඩා ලොකු කූඩුවක එහෙමෙහෙ යන බලු තඩියා දිහා බලාගෙන හිටියා.

“එයා කූඩුවෙ ඉන්නේ නෑ.ගේ ඇතුළෙමයි ඉන්නෙ.ඒකයි ඔය තරහ.”

එහෙම කියපු මාධවී හිනා වුණා.ඊටත් පස්සේ ජානකීගෙන් තොරතුරු අහන්න ගත්තා.

පොඩි ළමයි උස්සාගෙන යාචකමට එන අනිත් මිනිස්සු වගේ “පපුවෙ හිලක්, මොළේ ඔපරේසං එකක්”වගේ සාම්ප්‍රදායික කතා නොකියා පොඩි එකීගෙ තාත්තාගේ නොපනත්කම් ගැනත් බැරිම තැන හිඟමනට ගිහින් හරි කන්න දෙයක් හොයන්න හිතුණු හැටිත් ගැන ජානකී කිව්වේ ඉකිබිඳීමක් අතරින්.කතාව අහන අතරේම මාධවී ආහාර ඇණවුම් කරා.

“ආ.මේක ඔයාට..”

මාධවී ගේ ඇතුළට ගිහින් ඇවිත් පුංචි දූ අත චීස් පෙට්ටියක් තිබ්බේ කෑම එනකම්.තමන් කන්න කැමතිම දේ අහම්බෙන් ආපු පොඩි එකෙක් කන එකට කේන්ති ගිහින් ටිමී ආයෙම බුරා හැලෙන්න ගත්තා.

“එයා කන්න ආස කෑමනෙ.කොහෙන්ද ආපු පොඩි බබෙක් ඒවා කනවට තරහෙ..”

මාධවී හිනා වුණා.පොඩි එකී චීස් කන්නේ ජීවිතේ පළමුවැනි පාරට.මේ නෝනා කියන හැටියට බල්ලා කැමතිම කෑම චීස්.මේ ගෙවල්වල මිනිස්සු මොනතරම් නාස්තියක් කරනවද?ජානකී හිතුවේ කළකිරීමෙන්.ඇණවුම් කරපු ආහාර සේරම අම්මාටත් දුවටත් කන්න දුන්නු මාධවී පුංචි එකී රහ කරකර කෑම කන හැටි බලන් හිටියේ ආසාවෙන්.මේ මිදුලේ පොඩි එකෙන් නටනවා දඟලනව බලන්න මොනතරම් ආසාවක් තියෙනවද?ඒත් අන්තිම වෛද්‍ය වාර්තාව කියන හැටියට නළ දරු උපතක් දරන්නවත් මාධවී ශක්තිමත් මදි.

“හැමදේම තියන අපිට දරුවෙක් නැති හැටි..”

ඊයේ හවසත් ගයාන්ට තුරුළු වෙලා අඬපු හැටි මාධවීට මතක් වෙනවා.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“ඔය බලු තඩියා හුරතල් කරනකම් ළමයෙක් හදපල්ලා බං..”

ටිමී එක්ක ෆේස්බුක් ෆොටෝස් දාන හැමවතාවකම එන කමෙන්ට්ස් දැන් මාධවීට අප්පිරියයි.ඒත් මිනිස්සු හරිම පහසුවෙන් අනිත් අයගේ හිත් රිද්දනවා.

මාධවී බැදපු කුකුළු මස් මහ ගොඩක් බලු තඩියාට ගිහින් දෙන හැටි ජානකී බලාගෙන හිටියා.ඒ මොන සල්ලි නාස්තියක්ද? එයාට හිතුණේ එහෙමයි.

බඩගින්නේ මැලවුණු පුංචි එකී කෑමෙන් පස්සේ ටිකක් ප්‍රාණවත් වුණා.ගෙනියන්න කියලා තවත් පාර්සලයක් ජානකී අතට දුන්නු මාධවී මුදලකුත් අතේ තිබ්බේ පුංචි එකී ගැන වේදනාවෙන්.

“අද ආයේ ඇවිදින්න එපා.ඔය සල්ලිවලින් කනබොන බඩු ටිකක් අරන් යන්න..පුලුවන් වෙලාවට එන්නකො මේ පැත්තෙ.මං උදව් කරන්නම්..”

රුපියල් දෙතුන් දාහකින් සතියක් කයි! ඒත් ඉතින් මේ ලේන් එකේ ඉල්ලාගෙන යන්න බෑ.ජානකී එළියට බැස්සේ වෙන පාරක ඇවිදලා තව කීයක්ම හරි හොයා ගන්න හිතලා.

“ඔයාට ඔය මනුස්සයගෙන් දික්කසාද වෙන්න නම් බැරුව ඇති.ඒත් තව දරුවො හදන්න යන්න එපා.දුක් විඳින්න වෙනවනෙ..”

මාධවී ජානකීට සමුදෙන්න කලින් කිව්වේ බොහොම හිතවත්කමින්.

“දරුවෙක් හදාගෙන යසට ඉන්න පුලුවන් ගෑනු බල්ලො හදාගෙන උන්ට පුතේ කියනව.තව අපිටත් ළමයි හදන්න එපාලු.බල්ලන්ට තඩි කුකුල් මස් කුට්ටි ගිල්ලන සල්ලිවලින් අපේ ළමයෙක්ට කන්න වේලක් දෙන්න බැරිද?”

ජානකී කුටුකුටු ගගා බැනබැන යන්නේ ඉහළම අවන්හලකින් ආහාර ඇණවුම් කරලා තමන්ටත් දූටත් කන්න දුන්නු කෙනාට.

“ඒ බබා හරි ලස්සනයි නේද? ඔයා ඉතින් බුරන්න තියාගත්තනෙ..”

මාධවී කූඩුව ඇරලා ටිමීව එළියට ගත්තා.ටිමී උද්‍යානය පුරාම ඉව කරන්න ගත්තේ ජානකීලා වත්ත ඇතුළට ගත්තට කෙඳිරි ගගා ගතු කියන ගමන්.

“බලන්නකො ඉතින්, බබාලත් ඉපදෙන්නේ එහෙම දුක් විඳින්න.අපි ගාවට තමයි එන්න බැරි..නැද්ද පුතේ?”

මාධවී කියනකොට ටිමී මාධවීට තෙත හොම්බෙන් අනින්න පටන් ගත්තා.දවල් දවස පුරා තමන් හදා ගන්න අම්මා කියන මේ වේදනාවේ කතාව අහන් ඉන්න ටිමීටත් දුකයි.

මොනව කරන්නද?

ජානකී අලුත් වීදියකට හැරුණේ තව කීයක්ම හරි හොයා ගන්න හිතාගෙන. සල්ලිකාර නෝනලා බල්ලන්ටත් අතක් බරට වියදම් කරන එක ගැන තාමත් එයාට තියෙන්නේ කලකිරීමක්.මාධවීට පුංචි කෙල්ල රහ කර කර කෑම ගත්තු හැටි මතක් වෙනවා.දෙවියෝ සමහර දේවල් දෙන්නේ හරි පුදුම විදියට.ඇය එහෙම හිතුවා.

ජීවිතේ හිස්තැන් පිරවෙන්නේ අපිට ඕනෑ හැටියට නෙවෙයි.හිත හදා ගන්නවා ඇරෙන්න මොනවා කරන්නද? මාධවී උද්‍යාන බංකුවෙන් නැගිට්ටේ එහෙම හිතන අතරේ.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x