මල් තුහින – 44

උත්පලා වෙත නොයා හිඳින්නට තුහිනට සිත් වූයේ නැත. ඇය මොනවා හෝ පානය කර සිය දිවි නසා ගන්නට උත්සාහ කිරීම බරපතල ගැටළුවකි. අනෙක් අතට බිළිඳු වියේදීම මව මිය යාම ශේන්යා උස් මහත් වෙද්දී කොහොම දරා ගනීදැයි කියන්නට ඔහු නොදනී. ඔහු ඒ හන්දාම උත්පලා වෙත යන්නට සිතුවේ ය.

“මටත් පණිවිඩේ දීලා උත්පලාගේ ජීවිතේ ගැන හිතුවට බොහොම ස්තූතියි. ඒත් ඔයා එන්න කරදර වෙන්න එපා රුවිනි. මම ගිහින් බලන්නම්. නැත්තං ඔව්වත් ඔයාලගේ පිටින් යන්න පුළුවන්.”

උත්පලා කරන කියන කිසිම දෙයක් ගැන විශ්වාසය තැබිය නොහැකි බව හොඳින්ම දන්නා බැවින් තුහින එසේ පැවසුවේ ය. ඇතැම්විට තුහිනගේ වෙනස් වීමට හේතුව රුවිනි බවට උත්පලා දිග සටහන් තබන්නටත් ඉඩ තිබේ. තුහින ඒ හන්දා තනිව උත්පලා සිටින තැනට යන්නට තීරණය කළේ ය.උත්පලා තුහින දුටු වහා ඉතා රෝගී ස්වරූපයක් මවා ගන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තා ය. ඇය ජීවිතය විනාශ කිරීම ගැන ඔහුට දෙස් තබද්දී පවා ඔහු ඇගේ විරෝධය අතරේදී ඇය රෝහල්ගත කරන්නට තීරණය කළේ ය.

“මට මැරෙන්න දෙනවා. මට ජීවත් වෙලා වැඩක් නෑ”

ජීවිතයෙන් පලා යාම තෝරා ගන්නේ දුර්වලයන් බවට අපහාස කරන්නට තරම් තුහින නරුමයෙකු නොවේ. උත්පලා රෝහලට බලහත්කාරයෙන් රැගෙන යන තුරුම ඇයට මෙසේ වන්නට තමන් අතින් සිදු වූ වැරදි ගැන ඔහු පශ්චත්තාප වූයේ ය.ආදරය ඇති වන්නට කාලයක් ගත වන නමුත් එය විනාශ වන්නට ඒ තරම් කාලයක් ගත වන්නේ නැත. ඇසිපිය හෙළන තත්පරයකින් විනාශ වී ගිය අතීතය ගැන තුහිනට වේදනාවක් නොදැනෙනවා නොවේ. එහෙත් ඔහු ශක්තිමත්ව මෙය දරා ගන්නට සිතා ගත්තේ ය. 

“තුහින, පොඩ්ඩක් එන්න.”

වෛද්‍යවරයෙක් ඔහු අමතද්දී තුහින කලබලයට පත් විය. සියදිවි නසාගන්නට උත්සාහයෙන් විෂ ශරීර කරගත් උත්පලා දැඩි සත්කාර ඒකකයට වත් යොමු කර තිබුණේ නැත.ඇගේ ජීවිතය අහිමි වී ඇත්දැයි තුහිනට අනියත බියක් හට ගන්නට පටන් ගත්තේ ය. සමහරවිට වෛද්‍යවරයා මේ කියන්නට උත්සාහ ගන්නේ එවැන්නක් ගැන විය යුතු ය.

“උත්පලාව මානසික ප්‍රතිකාර ගන්න යොමු කරන්න වෙනවා”

වෛද්‍යවරයා එසේ කියද්දී තුහිනට සැනසීමක් දැනිණ. ජීවිතය විනාශ කර කරගන්නට උත්සාහ ගත් බොහෝ දෙනෙකු නිවැරදි මානසික ප්‍රතිකාර හමුවේ ජීවිතයේ වටිනාකම වටහාගන්නා වටහා ගන්නා බව ඔහු දැන සිටියේ ය. මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් තොර වීම සඳහා මනෝ වෛද්‍යවරයෙකුගෙන් උදව් ලබා ගනිමින් සිටි තුහීන මානසික ප්‍රතිකාර සහ මනෝ වෛද්‍යවරයකු හමු වීමේ වැදගත්කම කාටත් වඩා දැන සිටියේ ය.

“උත්පලාව මෙහෙමම ඒ යුනිට් එකකට දාන්න තියනවනම් අපි කැමති”

වෛද්‍යවරයා එසේ කියද්දී තුහිනට දැනුණේ පුදුමයකි. ඇය රෝගී බවින් තොරවීම සතුටක් සේම පුදුමයකි. එවිට ඒ ලබාගත් පෙති වර්ගය මාත්‍රාවෙන් ඔබ්බට ගොස් ඇයට හානි නොකරන්නට ඇත.

ඇය වීඩියෝවට පෙනෙන්නට ලබා ගෙන ඇත්තේ කුඩා දරුවන්ගේ චොකලට් පෙති වර්ගයක් බවත් ඒ නිසා කිසිම විෂ ශරීරගත වීමක් නැති බව වෛද්‍යවරයා කියද්දී තුහිනට කෝපයක් දැනුණේ නැත. ඔහුට දැනුණේ අනුකම්පාවකි.

“උත්පලාට සමාව දීලා ජීවිතේ කොනක ඉඳලා අලුතෙන් පටන් ගන්න උඹට හිතෙන්නෙ නැද්ද? “

රනුක එසේ ඇසූ මොහොතේ තුහින කිසිවක්ම නොකියා හිනැහිණ. අතීතය නිවැරදි කරගන්නට අවස්ථා ඕනෑ තරමට තිබේ. නමුත් උත්පලා සම්බන්ධයෙන් එය අසීරු බව ඔහු හොඳින්ම දනියි. සැබෑවටම ඇය කොහේ හෝ යෙහෙන් වාසය කිරීම ඔහුට ද සතුටකි.නමුත් ඒ ඔහු අසල නොවේ. 

“පවුලක් ඇතුළේ සමාව දෙන්න බැරි තරම් වැරදි කියලා කියන්න අපි පුරුදු වෙලා ඉන්නේ වෙන සම්බන්ධයක් හදාගන්න එක හරි මොකක් හරි. ඒත් ඊට වඩා සමාව දෙන්න බැරි වැරදි පාට්නර්ස්ලා අතින් කොච්චර නම් සිද්ද වෙනවද?”

 පවුල් ජීවිතය පිටත සමාජයට පෙනෙන්නට රඟ දැක්වූ උත්පලා ඒ හන්දාම ප්‍රසිද්ධියට පත් වූවා ය. වර්තමානයේ වාණිජ අරමුණු වෙනුවෙන් එය සිදු කරන්නේ ඇය පමණක් නොවේ. නමුත් ඒ කටයුත්තට තමන් දැඩිව නොකැමති වෙද්දී පවා ඇය එය සිදු කිරීම මේ බිඳී යන්නට හේතුව බව තුහිනට සිතේ.

“මට තව දෙයක් හිතෙනවා.”

රනුක එසේ කියද්දී තුහින මිතුරා දෙස බැලුවේ පුදුමයෙනි.

“උඹට උත්පලාව දරා ගන්න බැරි වුණේ  කරන දේවල්වලට උඹ කැමති නෑ කියලා කලින් කියන්න බැරි උනේ දෙන්න අතර හරි බැඳීමක් තිබ්බෙ නැති නිසා කියලා මට හිතෙනව.”

තුහින එය පිළිගත්තේ යම් සැබෑවටම ඔවුන් දෙදෙනා ඉතාම ප්‍රේමණීය රැහැනකින් බැඳී සිටියේ නැත. ඔවුන් අතර නොරිස්සුම් සහ ගැටුම් තරමට ආදරය තිබුණේ නැති බව ඔහු හොඳින්ම දනී.

“උත්පලාව යටපත් කරගෙන හිතේ කවුරුම හරි හිටිය නිසා එහෙම වුණා කියල  උඹට හිතෙන් නැද්ද?”

ප්‍රශ්නය මොනතරම් රළු වුවද එය අසත්‍යයක් නොවන බව තුහින දනියි. ඔහු මිතුරාගේ දෑස් මඟ හැර ඉවතට හැරුණේ එනිසා ය.

(ඔබේ අදහස් කමෙන්ට් එකකින් තබන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles