මා හද තුළ ඔබ 11

මාස කිහිපයක් දැඩි සූර්ය තාපයකින් පොළොව පෙළන්නට හැරි අහස, ඒ ගින්න නිවාලනු වස් වැස්සක් ව වහින්නට අරාඳිමින් තිබිණ. වලාකුළු කොයි තරම් බර වී ද, අහස තවත් මොහොතක් හෝ ඒ බර දරා සිටින්නට කැමති වූයෙන් පොළොවට වැටෙමින් පැවතියේ හිරිකඩකි. නමුත් අහස් අඳුර බලාපොරොත්තුවක් ගැන කතාවක් කීවේ ය. කොයි මොහොතක හෝ ඒ බලාපොරොත්තුව ඉටු වේ යයි විශ්වාසයෙන්, කේක් ඇන්ඩ් කොෆී දොරකඩ උළුවස්සට හේත්තු වී ගෙන රන්මුතු බලා සිටියා ය. ටික ටික වැහි බින්දු වල පරිමාව වැඩි විණි. ඒ වැහි බින්දු උරා ගන්නා පොළොව, අලුත් සුවඳක් වහනය කරමින් ස්තූති කතා කීවේ ය. හදිසියේ සිහිපත් වී රන්මුතු සිය කැෆේ එකෙහි මේස මත තිබූ ගෘහස්ථ මල් බඳුන් මිදුලෙහි තැබුවා ය. කෙතරම් ජලය එක් කළ ද ඒවා සතුටෙන් පිනා යන්නේ වැස්සේ තෙමුණු ඉක්බිතියි. වැහි සුවඳ වැඩි වෙමින් හැමුවේ ය. ළමයින් දෙන්නා ඔවුන් ගේ බෑග් වලට කුඩයක් දමා ගන්නට නැති බව ඒ අතරේ ඇය ට සිහි විය. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ අහස වැස්සක් ගැන ඉඟියක් හෝ නො දුණි. ඒ නිසා වැස්සට මිස අව්වට කුඩ භාවිතයක් නැති අයට ඒවා අමතක ම වී තිබිණ.

හිරි පොදය අතරින් කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ නතර වූ රියෙන් බැසි තරුණයෙක් අත්ලෙන් හිස ආවරණය කර ගෙන අඩියට දෙකට ඇතුළට දිව ආවේ ය. සමනල් දිවයුරු රණසිංහ!

“පුතානෙ”

රන්මුතු සිනහවෙන් විකසිත වූවා ය.

“කොහොමද ආන්ටි…ජිම් එකට ඇවිත් යන ගමන්”

“ආ එහෙමද…හොඳින් ඉන්නව පුතා. වරදක් නෑ ඉතිං. දැන් මට ඔයාව පෙනුණෙනං වැස්ස වලාහක දෙවියො වගේ. කාලෙකට පස්සෙ අපිට වැස්ස අරං ආපු…”

ඔවුන් දෙදෙන ම සිනහ වූහ. සමනල් ද හැරී කුඩා මිදුලත්, ඉන් ඔබ්බට වන මහා මාර්ගයත් දෙස බැලුවේ ය. වැහි බින්දු වල ඝණත්වය වැඩි වෙමින් තිබේ. දුහුවිලි වායු ගෝලයට පැන ගැනීමෙන් හමනා වැහි සුවඳ කාලයකට පස්සේ දැනෙමින් තිබේ.

“වහීද ආන්ටි…”

“ටිකක්හරි වහී නේ…ඉතිං ඉඳගන්න පුතා. හුඟක් දවසකින් ඔයාව දැක්කෙ”

“ආන්ටි ඉන්නව දැකල මං නතර කළේ. ජිම් එකටනං ආව ඉතිං”

සමනල් පුටුවක් ඇද හිඳ ගත්තේ ළෙංගතු සිනහවකි. රන්මුතු ගේ මුහුණ මත වන අවංක ආදරණීය බව, එවන් ළෙංගතු හැඟීමක් ඇට මස් ලේ නහර විනිවිද දනවයි. ඔහු කීවේ බොරුවක් නොවේ. සමනල් මිතුරා ගේ ජිම් එකට එන්නට පටන් ගත්තේ ය. නමුත් එදා උදයේ මත්තෙගොඩ බස් නැවතුමෙන් බසයට නැගී තඹරු සමගින් රීඩ් මාවතට ම ගියායින් පස්සේ ඔහු ඇය හමු වන්නට ඈ ඉදිරියට නාවේ ය. එහෙම කළේ හිතාමතා ම ය.

“දැන් පස්සෙන් ගියා ඇති බූරුවො. දැන් ඒකි දන්නවනෙ උඹ ඔය පස්සෙන් එනව කියල. උඹ එයාට කැමතියි කියලත් දන්නවනෙ. වෙන මොනා නැතත් දැන් එයාගෙ හිත උඹව අඳුරනවනෙ. ඒක නිසා පස්සෙන් යන එක නවත්තල එයාට ස්පේස් එකක් දීපං. උඹ ගැන වුණත් හිතන්න ඉඩක් දීපං. ගෑනු පිරිමි සම්බන්දෙකදි වුණත් ස්පේස් එකක් කියන දේ තියෙන්නම ඕනෙ. ඒක දෙන්නටම ඕනෙ. ඒක නිසා ටිකක් දුරිං ඉඳං බලං ඉඳපං එයාට රිඇක්ට් කරන්න ඉඩ දීල”

වෙනකෙකු නොව සමනල් ට තරයේ ඒ අවවාදය දුන්නේ ඔහු ගේ ම සිතයි. ආත්මයේ ගැඹුරෙන් ම නැගී ආ ඒ හඬට සවන් නොදී සිටිනට ඔහු ට හැකි වූයේ නැත. එදා සිට ඔහු තඹරු පසුපස හඹා විත් කරදර කරන එක නතර කළේ ය.

 උදයට මත්තෙගොඩ බස් නැවතුම තෙක් ඇවිද යත්දී තඹරු ගේ ඇස් යමක් සෙව්වේ ය. සොයනා දෙය හමු නොවී ද ඇස් දකින්නට පතන්නේ සමනල් යයි සිතන්නට ඇය හිතට ඉඩ දුන්නේ නැත. ඇතැම් විට  නැගී අසුන් ගන්නට බස් රියෙහි තැන් තැන් වල ඉඩ තිබිණි. නමුත් ඇය පෝලිමේ පසෙකට වී පිටුපස සිටිනා අයට අවැසි නම් බසයට ගොඩවන්නට ඉඩ දී තව විනාඩියන දෙකක පමාවක් ලබා ගත්තේ ය. “ශටර් එකක් අයිනෙ ඉඳං යන්න ඉඩක් නෑ මේ බස් එකේ” යයි ඇය සිතුවා ය. නමුත් ඇගේ ඇස් කරකැවෙමින් යමක් සෙව්වේ ය. උදයටත් හවසටත් රීඩ් මාවත දිග විශ්ව විද්‍යාලයීය පිවිසුම් දොරටුව තෙක් ඇය ඇවිද ගියේ හෙමිහිට ය. “මැයි මාර මල් පෑගුණොත් පව්” කියා සිතුවාට හදවත පත්ලේ ම වෙනත් අපේක්ෂාවක් පෙරළි කළේ ය. අතර මගක හමු වෙන බිග් මැච් ට්‍රක් එකක් දෙස ඇය උනන්දුවෙන් බැලුවා ය. නමුත් එ්වා තුළ සිට කිසිවෙකු “බිම් තඹරූ” කියා කෑගැසුවේ නැත. ඇතුළාන්තය කුණාට සයුරක් සේ කැළඹී තිබුණාට ඇය මතුපිටින් දියක ගැඹුරු ම තැනක් සේ සන්සුන් වී බිම බලාගෙන ඇවිද යන්නට පටන් ගත්තා ය. කිසිදු හේතුවක් නැතිව බටර් පාට ටෙඩී බෙයාට අත මිට මොළවා පහර කිහිපයක් ගසාගෙන ගියා ය. ඊළඟට තොල් උල් කරගෙන “සොරි” කියා ඒ පහර වැදුණු තැන් පිරිමැද්දා ය.

“උදේට මේ පැත්ත හරි පාළුයි නේද ආන්ටි…”

චොක්ලට් කේක් කෑල්ලක රස විඳින ගමන් සමනල් විමසුවේ ය. දිවාකර ට කෝපි එකක් දී දිවගෙන වාගේ පහළට ආ රන්මුතු, තරුණයාගේ කෝපි එක ඔහු ඉදිරියේ තැබුවා ය.

“හ්ම්. පාළුයි වගේ හැබැයි පාළු නෑ. මෙහේනං පාළුයි ඉතිං දුවයි පුතයි කැම්පසුයි ඉස්කෝලෙයි ගියාම”

“ආ…අර දුවයි…තව පුතෙකුත් ඉන්නවද ආන්ටිට..”

“ඔව්. එයා ඒලෙවල්ස් කරනව. අදනං ටියුශන් ක්ලාස් එකකට ගිහිං. දැන් එයි මගෙ හිතේ”

රන්මුතු බිත්ති ඔරලෝසුවෙහි වෙලාව බැලුවා ය.

“දුවත් තව ටික දවසකින් කැම්පස් ඉවරයි. දැං කියෝ කියෝ ඉන්නෙ ඉන්ටර්න්ශිප් එකේ වැඩ කරන්න තැනක් හොයාගන්න ඕනයි කියල”

“ආ එහෙමද…මං දන්න තැන් කීපයක් තියනව. මට සීවී එකක් දෙන්න කියන්නකො”

“අනේ තෑන්ක් යූ පුතා. මේ දවස්වල හැම තිස්සේම කියෝ කියෝ ඉන්නෙ ඔය ගැන තමයි”

වැස්ස තරමක් වැඩි වෙමින් තිබිණ. මාස කිහිපයක් වායු ගෝලය උණුහුම් කළ තාපය, සිසිලනය වන්නට වූයේ ය. හුළඟත් එක්ක ආනතව හමනා හිරිකඩක් වුව හිතට සුවයක් දැනවී ය. කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ නතර වූ ත්‍රීරෝද රියකින් බැස සඳැස් ඇතුළට දිව ආවේ ය.

“මං හිතුව කුඩේ ගෙනිහිං නැතුව ඇති කියල. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලද ට්‍රයිශො එකේ ආවෙ…”

එක විනාඩියකට තෙමුණු පුතණුවන් ගේ හිස කේ මත රැඳි වැහි පිනි පොදක් අතැඟිලි වලින් පිසදමමින් රන්මුතු දෙඩුවේ මව්වත් හැඟීම් දෝරෙ ගලනා දෑසක් ඇතිව ය. මඳහසකින්, සමනල් ආශාවෙන් එදෙස බලා සිටියේ ය.

“මේ තමයි මගෙ පුතණ්ඩිය”

සමනල් ට එසේ කී රන්මුතු ගේ මුහුණ ආඩම්බරයෙන් පිම්බී තිබිණ. සමනල් මඳහසින් ම හිස සැළුවේ ය. සඳැස් යන්තම් අඩ සිනහවක් හෙළුවා විතර ය.

“මං ආයෙ යන්නෝනෙ ඊළඟ ක්ලාස් එකට. අම්මෙ…චොක්ලට් තිබුණ නේද…”

සඳැස් හදිසියේ ම ශීතකරණය දෙස බලා ප්‍රශ්න කළේ ය.

“මොන චොක්ලට්ද…”

“අර…අක්කට ට්‍රයි කරන හෝතම්බුවෙක් එවල තිබුණෙ අප්ප. මට එයින් ටිකක් ඕනෙ කොල්ලො එක්ක ක්ලාස් එකේදි කන්න”

සමනල් ගේ අත් වල හීගඩු පිපීගෙන ගියේ ය. ඒ මේ හදිසි අහඹු වැස්සේ සීතලට ද?

“එපා එපා. අක්කගෙන් අහන්නැතුව ගන්නෙපා”

නමුත් සඳැස් චොක්ලට් දෙක තුනක් අතට ගෙන තිබිණ.

“එයාට මේව කන්න දෙන්නෙපා. අර කවුද දන්නැති බූතය වශී ගුරුකමක්වත් කරල තිබුණොත් එහෙම..”

“ඔච්චර ආදරයක් තියෙනවනං වශී ගුරුකං කරන්න ඕනෙ නෑ පිස්සො. කොහොමත් වශී වෙයි”

සමනල් සිනහවට පිට වන්නට ඉඩ නොදී අන්තිම කෝපි උගුර ද බීවේ ය. සඳැස් මතු මහලට දිවගෙන යන්නට විය.

“බත් කාල යන්න පුතා”

රන්මුතු ඉහළට ඇසෙන්නට හඬගෑවා ය. සමනල් ගේ පිරිමි පපුවේ හිස්ව තිබි එක්තරා අවකාශයක් හීන්සීරුවේ යම් හැඟීමකින් පිරී යමින් තිබිණ. ඔහු මුදල් ගෙවා නික්ම ගියේ “සීවී එක හදල තියන්න කියන්නකො ආන්ටි” කියමිනි.

රියට නැගී එය පණ ගන්වන්නට පෙර දුරකතනය අතට ගත් සමනල්, වැස්සක හබරල කොළයක් ඉහළා ගත් කොළ පාට ගෙම්බෙකුගේ ස්ටිකරයක් තඹරු ට යැව්වේ ය. ඒ වෙලාවේ කැන්ටිම තුළ මිතුරියන් දෙදෙනා සමග වැස්සට කොටු වී සිටි තඹරු ගේ දෙතොල් අතරට ඉක්මන් සිනහවක් ආවේ ය. වහ වහා ඇය දුම් දමනා කෝපි කෝප්පයක ස්ටිකරයක් යැව්වා ය. එය යැවූ එක ගැන පසුතැවීමෙන් ඉවත් කරන්නට සැරසෙන විටත් ඔහුට එය දර්ශනය වී අවසන් ය.  නමුත් දින ගණනාවක් තිස්සේ හේබා යමින් තිබි පැළෑටියක් හදිසි වැස්සකට හසු වූවා වන් ප්‍රබෝධයක් ඇයට දැනිණ.

“බොරු වෙන්නැති අනේ. අම්මට ලොකුකං පෙන්නන්න කියන්නැති දන්න අඳුනන කම්පනීස් තියනව කියල”

ජීව දත්ත සටහන් පතක් තනා දෙන්නයි රන්මුතු විසින් සිහිපත් කළ වෙලාවේ, තඹරු සැකයෙන් වාගේ කීවා ය. රන්මුතු ඇදෙස බලා සිටියේ අඩ සිනහවෙනි.

“ඇයි…”

“මිනිස්සු සැක කරන එක දැන් ඔයාගෙ පුරුද්ද වෙලා දරුවො. එහෙම එපා. එතකොට කොහොමද මේ ලෝකෙ ජීවත් වෙන්නෙ…බබූ…හොඳ මිනිස්සු ඕනතරං අපි අතරෙ ඉන්නව”

රන්මුතු ගේ ඒ වචන තඹරු ගේ ශරදාකාස හදවත තුළ හිරිකඩ හීතල සුළං රැල්ලක් හමා යවනා හේතුවක් හැදුවේ ය. එවන් අහසකට වස්සාන මේකුළක දර්ශනය අදහා ගත නො හැකි ප්‍රහර්ශය දනවනා අහඹුවක් වන්නට පුළුවන. සදාහරිත උයනක සිහිල් සෙවනැති සෙවනැලි අඳිනා සව්මිය සුවයක් ඇයට දැනිණ. ආදරෙයි නො කියා ආදරේ කරනා දඩබ්බර කොල්ලෙකු ගේ මුරණ්ඩු සිනහවක මිහිර හිතේ ඇඳී මැකී ගියේ ය. මතු මහලට ගොස් බටර් පාට ටෙඩී බෙයාව උකුල මතට ගත් ඕ ඇස් පියාගෙන ඒ මෘදු ලෝම අතරේ අතැඟිලි යැව්වා ය. ප්‍රකාශ නො කරන ආදරයක සුවඳ නාස් පුඬු වල ඇතිල්ලිණි. ඒ සුවඳ හමන්නේ කාලයක් තිස්සේ කර්කශ වී තිබි හදවත පැත්තෙනි. නියං පොළොවට වැහි බින්දු පතිත වත්දී වායු ගෝලයේ ඉහිරී පැතිරෙන වැහි සුවඳ ඇයට සිහි විය. තඹරු පෙනහලු පිරෙන්නට ලොකු හුස්මක් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles