අකලංක ශයිනිගේ පිළිතුර පිළිබඳව ඉතා උනන්දුවෙන් බලා උන්නේය. ප්‍රබාත් නිහඬවම මෝටර් රිය ධාවනය කරන්නේය.
“මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි………….”
වාදනය වන ගීතය අකලංක ගේ මුවඟට මදහසක් ගෙන ආවේය. ඇය තවම කිසිත් පවසන්නේ නැත.
“එතකොට ? කවදාවත් මම දැනගන්නේ නැද්ද ?”
පිළිතුරු ආවේය. අකලංක එය නැවත කියෙව්වේය. සැබැවින්ම ඇය එය දැනගන්නෙවෙ නැතිද ? එලෙස දැනගන්නා මොහොතට වඩාත් පසුව එන මොහොතට තමා මුහුණ දෙන්නේ කෙලෙසද ? තමා ඉදිරියේ සිටින අකලංක ට සහ තමා ඉදිරියේ නොසිටි අමයුරු දෙදෙනාටම ඇත්තේ එක් පොදු හැඳුනුම්පතක් වග දැනගැනීම ඇය කෙලෙස දරා ගනු ඇතිද ? ඇය ඉතා දරදඬු වී සියල්ල අත් හැර දැමීම පවාසිදු විය හැකිය. එසේත් නොමැති නම් ………
අකලංක ඒ පිළිබඳව සිතීම නැවැත්තුවේ ය. මෙවෙලෙහි අමයුරු ට ශයිනිගේ සමාගමය කෙතරම් වැදගත් දැයි ඒ සිතීම තුල තමා කලබලවීම තුලම වැටහෙන්නේය. ඉතින් ; ඇය අත් හැරෙන්නට දෙන්නට නොහැක. ඇය හා සමාගමය මෙලෙස ගලා යා දිය යුතුය.
” කවදා හරි දැනගන්න එක වැදගත් කියලා හිතනවාද ?..”
අකලංක එලෙස විමසා බලා උන්නේය. ප්‍රබාත් විටින් විට් තමාදෙස විමසිලිමත් බැල්මන් හෙලන වගද පෙනෙයි. මාතලේට ළඟා වීමට පෙර මේ ගැටයේ කොනකට ඔහුවද පැටලිය යුතුය.
” එහෙම වැදගත් නැද්ද ?”
ශයිනි එලෙස විමසා ඇති වග යළි තිරයේ සඳහන් විය.
“දන්නේ නෑ.. “
“ඔයාට වැදගත් නැද්ද ?”
“දන්නේ නෑ.. ඒක ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා… මෙවෙලේ මට ඒක වැදගත් නැහැ….”
අකලංක එලෙස පැවසූයේය. ශයිනි කතා බහ මඟ නොහරින වග විශ්වාසය. එපරිද්දෙන්ම ඇය මේ කතා බහ වෙනුවෙන් උනන්දු වගටද සැක නැත. එනිසාම මෙවෙලෙහි කතා බහ දිග් ගැස්වීම සඳහා ඇයට වැකි සැපයීම පමණක් ප්‍රමාණවත් යැයි අකලංක සිතුවේය. ඇය ගැන උනන්දු බව තවදුරටත් සිත ට සඟවන්නට උත්සාහ කිරීම හෝ, ඒ පිළිබඳව වාද කිරීමෙ පලක් නැත.
ශයිනි පිළිබඳව සිත උනන්දුවෙන් ය. ඇය පසුපස සිත වැටී ඇති බව තිරය.
“ඒත්; මට වැදගත් නෙහ්…”
ශයිනි එලෙස පවසා තිබුණි.
“කලබල වෙන්න එපා….”
අකලංක එලෙස කීවේය.
“ඔයා ඇයි හැංගිලා ඉන්නේ ? මොකක්ද බලාපොරොත්තුව ?”
“තව කාලයක් ඉඳලා බලන්න… උත්තර ඉබේම ලැබේවි….”
ශයිනි අසුන මත ගල් වූවාය. අමයුරු පවසන දේවල් වලට තමා මෙතරම් උද්‍යෝගී වීම යුතුදැයි ඇයට වැටහෙන්නේ නැත. අමයුරු මෙවන් දෑ පවසන්නේ නිකම්ම නිකන් සාකච්ඡාව දිග් ගැස්විමේ අරමුණින්ද විය හැක. එහෙත්; ඒ සියල්ල තමා මත නැවුම් බලාපොරොත්තු සේයා මවන්නේය.
දඩබ්බර ස්වරයකින් එක් වරම එලෙස පැවසූවාට, ශයිනිගේ පිළිතුර කුමක්දැයි දැනගන්නට අකලංකට තව ඉවසා සිටින්නට සිදු විය. සැබැවින්ම අකලංක සිතුවේ තමා හදිසි වූ වගය. ඇයට ඒ ස්වරයේ බර දරාගන්නට නොහැකි වූවා විය යුතුය.
තමා ඇයට පැවසූයේ, තමා සමඟ රැඳී සිටින්නටය වන ආරාධනාව නොවේද ? එවන් ආරාධනාවක් , නන්නාඳුනන වෙස් මුහුණු කාරයකුගෙන් පැමිණීම ඇයට පහසු නැතුවාද . ?
ශයිනි උන්නේ අමයුරු ගේ පණිවිඩය මත යලි යලි වෙලෙමිනි. කියවමිනි. වෙවුලමිනි.
ඔහු එය පැවසූ ස්වරය පිළිබඳව ඇයට අදහසක් නැත. ඇතැම්විට එහි ඇත්තේ ව්‍යාජ මවාපෑමක් ද විය හැක. තම අදහස දැන ගන්නා උත්සාහයක්ද විය හැක.
ශයිනි විවිධ ස්වර හා අනුගත වෙමින් එය කියෙව්වාය.
“……. යමු තේ ලෑස්ති කරලා .”
තිළිණි කැබිනය තුලට පැමිණියේ අවසරයකින් තොරවය. ශයිනි සැනින් පියවි සිහියට පිවිසියාය. එහෙත් තිළිණි පැවසූයේ කුමක්දැයි අදහසක් ඇයට තිබුණේ නැත. ඕ වහා ජංගම දුරකතනය පසෙක ලා අසුනේ ඉරියව්ව මාරු කලාය.
“මොක.. ..ද්..ද…?”
තිළිණි ද කිසිත් සිතා ගත නොහැකිව මෙන් මොහොතක් බලා උන්නාය. ශයිනි එතරම් තිගැස්සී යන්නට කාරණය විමසනවාද ? නැතිද ඇයට සිතා ගත නොහැකිවිය.
“තේ බොමු…”
ඇය පසුව එලෙස පවසා හිසින් සන් කලාය.
“හා…”
“එන්න එහෙනම්…”
තිළිණි පිටත්වූවාය. ශයිනි ජංගම දුරකතනයේ අන්තර්ජාලය විසන්ධි කලාය.
අකලංක ට කොළ පැහැති ආලෝකය නොපෙනී ගියේය. ඔහු මෝටර් රියෙන් එලිය බැලුවේ යම් නොසන්සුන්කමක් සමඟිනි.
ප්‍රබාත් ඒ නොසන්සුන්කම ද නොවිමසා උන්නේය. එකිනෙකාගේ පෞද්ගලික සීමා අතික්‍රමණය සිදු විය යුතු සීමාව ගැන ප්‍රබාත් සහ අකලංක දෙදෙනාටම අදහසක් ඇති නිසා ඒ නොවිමසා සිටීම දෙදෙනාටම ගැටලුවක් නැත. අකලංක යළි මැසෙන්ජරය විවෘත කර බැලුවේය. විනාඩි දහයකට පෙර ඇය අන්තර්ජාලයෙන් සමුගත් බව පෙන්වයි.
“මං අරකිට කතා කලා…”
අකලංක එක්වරම කතාව ඇරඹූවේය. ප්‍රබාත් කලබලයක් නැතුවම මෝටර් රිය ධාවනය කරමින් උන්නේය.
අකලංක ඉන් පසුබෑවේය. එහෙත් යළිත් මිතුරාට එයම පවසන්නට නොහැකියාවක් නැත
“මං ශයිනිට කතා කලා බං…”
“උඹද ? අමයුරු ද ?
සිදුවීම එක් කොනක සිට අනෙක් කොනටම දැනගෙන විමසන ස්වරයකින් ප්‍රබාත් විමසූවේය. අකලංක දෙස බැලුවේ හෝ නැත.
“අර බන්ධනා එහෙ නටන නාඩගමේ හැටියට මට අකලංක විදියට ඒකි ඉස්සරහට යන්න බෑනේ බං… ඒක උඹට නොතේරෙන්න විදියක් නෑනේ…”
අකලංක උස් ස්වරය්කින් පැවසූයේ ඒ සියල්ල ප්‍රබාත් නිසා සිදුවු සෙයකිනි. ප්‍රබාත් කට කොනින් සිනාසුනේය.
“එතකොට අමයුරු ඒකිගේ ඉස්සරහට යන්න ඉන්නේ මොකා වගේද ???””
ප්‍රබාත් ඒ විමසුවේද අකලංක දෙස නොබලමිනි. ඒ අකලංක ඔහුගෙන් විමසීම පසෙකට දමා තිබූ පැනයය.
“ඒක එතකොට නේහ්.. අනෙක මේවා කොහොම විසඳේවි ද අපි දන්නේ නැහැනේ…. “
අකලංක එලෙස මඟ හැරියේය. ප්‍රබාත් අකලංක දෙස බැලුවේ, ඒ පිළිතුර ඔහු වග වීමෙන් දෙනවාදැයි විමසන්නට මෙනි. අකලංක ඉවත බලා උන්නේය.
“හරි දැන් උඹ එල්ලගත්තේ මොකද ?”
“මුකුත් නෑ… ලත් තැනම ලොප් වුණා වෙන්නත් පුලුවන් …”
| අපේක්ෂා ගුණරත්න |