කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

කාන්තාව කියන්නේ නිවසේ මෙහෙකාරිය විය යුතු කෙනාද ? එහෙම නැත්තම් නිවසේ ඉන්න සියලු දෙනා ආහාර ගත්තාට පස්සේ කුස්සියට වෙලා ඉතුරු උන මොනහරි කාලා සැනසෙන කෙනාද ? නෑ.ඇයටත් නිවසේ සම තැන හිමිවෙන්නම ඕන.ඔබ මේ චිත්‍රපටය නරඹන්නම ඕන කියලා අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි.
පුරුශාධිපත්‍යය රජ කරන සමාජයක තමන්ගේ දියණියව ,ලේලියව ,නෑනාව නිවසේ වහලියක් කරගන්න පවුල් ඕනෑ තරම් ඉන්නවා.ඉන්දියානු සමාජයේ මෙය බහුලව දකින්නට ලැබෙනවා.ඉතින්  The great indian kitchen  කියන්නේ එහෙම සමාජයකට එල්ල කල හොඳ පහරක්.
මෙම චිත්‍රපටයේ තරුණිය විවාහ වන තරුණයාගේ පවුල ගතානුගතික හින්දු පවුලක්.අලුත් බිරිඳට නිවසේ සියලු වැඩ කටයුතු පවරමින් නැන්දම්මා ඇගේ ගැබිණි දියණියගේ නිවසට යනවා.මෙහිදි තත්වය නරක අතට හැරෙන්නේ තරුණිය විවාහ වූ තරුණයා සබරිමාලා වෙත යාමට තීරණය කල විටයි.ඔසප් වූ කාන්තාවන් ස්පර්ශ කල ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරන, ඉන්දියානු පවුල් වල සිටින කාන්තාවන්ට සිදුවන දේම මේ තරුණියටත් සිද්ධ වෙනවා. ඒ ගැන දැනගන්න නම් ඔබට චිත්‍රපටය බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.
ඔසප් වූ දිනයන් වල කාන්තාව මුලුගැන්වී, නිවසින් ඈ සිටිය යුතුයි යනුවෙන් ඉන්දියානු සමාජයේ මතයක් පවතිනවා. ලංකාව තුලත් එහෙම දින අපිරිසිදු දින යනුවෙනුත් ,දේවාල වලට යෑම හොඳ නැති බවත් යනුවෙන්ද මතයක්ද පවතිනවා. විද්‍යාත්මකව මේවායේ සත්‍යතාවය විමසා බලා කාන්තාවට එකී දිනයනුත් වෙනදා මෙන්ම අපහසුවකින් තොරව ගත කිරීමට හැකි නම් මොනතරම් හොඳද ? 


නිවසට අලුතින් එන ලේලි කෙනෙකුට මේ තත්වයට මුහුණ දෙන්න උනොත් ඇයට අත්වෙන ඉරණම මොකක් වෙන්න පුලුවන්ද ? ඇය එහෙම තත්වයකට මුහුණ දෙනකොට ඇගේ සැමියාට ඒ වෙනුවෙන් ඇති වගකීම මොකද්ද ? තමන්ගේ විවාහ ජීවිතය, ප්‍රේම කරන කාලය වගේම සුන්දර එකක් කියලා බලාපොරොත්තුවෙන් තමයි ඕනෑම තරුණියක් විවාහ වෙන්නේ.ඒ වගේම ඇයව තමන්ගේම දියණියක් ලෙස පිළිගන්නත් නැන්දම්මා සහ මාමන්ඩිට යුතුකමක් තියනවා.ඇය ලේලිය බවත් ,මෙහෙකාරියක් නොවෙන බවත් ඔවුන් පිළිගත යුතු වෙනවා.අලුයම සිට රෑ මැදියම වෙනතුරු තමන්ගේ පවුල වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන කාන්තාව පවුලේ ඇගයීමට ලක් විය යුතු අයෙක් මිස තවදුරටත් නිවසේ මෙහෙකාරියක් ලෙස නම් කිරීම කිසිවිටෙකත්  සුදුසු නෑ.රැකියාවට යන පිරිමියාට දවස වෙහෙසකාරි එකක් නම් විවේක ගත හැකියි.නමුත් කාන්තාවකට කිසි විටෙකටත් එසේ කල නොහැකිය.කාන්තාවගේ ගතිගුණ වලට පමණක් ආදරය කරන බව කියමින් ඇයව විවාහ කරගන්නා පිරිමියාම ඇයව විවාහයෙන් පසුව කුස්සියට සීමා කරනවා. ඉතින් මේ සියලු කරුණු කැටිවුන විනාඩි 100 ක් පුරා දිවෙන ඉතා අපූරු චිත්‍රපටයක් ලෙස අපිට මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්
ජියෝ බේබි විසින් රචනා කර, අධ්‍යක්ශනය කල  මෙම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත තිළිණ කෙරෙන්නේ 2021 ජනවාරි මස 20 වෙනිදායි.මේ වනවිටත් බොහෝ දෙනාගේ අවධානයට සහ කතාබහට පාත්‍ර වී ඇති මෙම චිත්‍රපටය නරඹන ලෙස අපි ඔබටත් ආරාධනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles