සිරුරේ බර වැඩිවීම නිසා සමාජ මාද්‍ය තුල හිංසනයට ලක් වූ රූප රාජිනිය..

“බර වැඩිවීමත් එක්ක මගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙද්දි මිනිස්සු මට සෑහෙන දේවල් කිව්ව. මිනිස්සු එයාලගෙ අදහස් කියපු විදියට මම පුදුම විදියට අපහසුතාවයට පත් වුනේ. මම හිතන්නෙ නෑ රූප රාජිණියක් වුවත් මගේ පෙනුම කෙනෙක්ට ඒතරම්ම අපහසුවක් ගෙනෙන දේවල් කියන්න හේතුවක් වෙන්න ඕන කියල. මිනිස්සුන්ට වැදගත් වෙන්න ඕන මගේ ශරීරය ඇතුලෙ ඉන්න කෙනා නෙවෙයිද? මම මොන වගේ මනුස්සයෙක්ද කියන එක නෙවෙයිද? මගේ ශරීරය ඇතුලෙ ඉන්න මම කියන චරිතය එයාලට කොහොමද සලකන්නෙ කියන දේ ගැන නෙවෙයිද?”

මෙහෙම අහන්නෙ වෙන කෙනෙක් නෙවෙයි හර්නාස් සන්දු.හර්නාස් සන්දු කියන්නෙ ඉන්දියාවෙ ඉපදුන 2021 අවුරුද්දෙ මිස් යුනිවර්ස් උන කෙනා. 2021 අවුරුද්දෙ මිස් යුනිවර්ස් තරගයේ ජායාරූප බැලුවොත් ඔයාලට පෙනේවි හර්නාස් ඇත්තටම මොන තරම් ලස්සන කෙල්ලෙක්ද කියන එක.

හැබැයි මෑත කාලීනව හර්නාස් ගැන සමාජ මාධ්‍ය වල නම් පලවුනේ ඒ වගේ ඇගේ රූපය අගයන අන්දමේ අදහස් නම් නෙවෙයි.

“රූප රැජිනක් වුනාම සදාකාලිකව මම ඉතාම හීනි ඉඟක් සහ කෙට්ටු ශරීරයක් එක්ක ඉන්න ඕන කියන අදහසක මිනිස්සු ඉන්න බව මට තේරුනේ ඒ කමෙන්ට්ස් දැක්කම”

අවුරුදු 22 දී මිස් යුනිවර්ස් උන හර්නාස් පසු කාලීනව ටිකක් බර වැඩිවෙලා මහත් වෙලා තිබුනා. ඒත් ඇය ඒ ගැන කිසිම පැකිලීමකින් සමාජ මාධ්‍ය වල පින්තූර පල කලා, මාධ්‍ය ඉදිරියට ආව. තමන්ගෙ රූපගේ ස්වභාවය තමන් විසින් කරන්න ඕන සමාජ මෙහෙවරට බාධාවක් වෙයි කියල හර්නාස් ඒ කිසිම අවස්තාවක හිතල තිබුනෙ නැහැ.

“ශාරීරිකව මගේ බර වැඩිවෙලා තිබුනා, මම මහත්වෙලා තිබුන ඇත්ත. හැබැයි මට ඒකෙන් කිසිම අපහසුතාවයක් දැනුනෙ නෑ. මම ඒ ගැන දුක් උනේ හෝ ඒක ලැජ්ජාවට හෝ අපහසුතාවයට පත්වෙන්න හේතුවක් කරගත්තෙත් නෑ”

මිස් යුනිවර්ස් වගේ ලෝකයම බලාගෙන ඉන්න තරගයකදි ඒ තරගයට සහභාගි වන සියලුම රූමතියන් තරගය අතරතුර ගෙවෙන කාලයේදි සම්පූර්නයෙන්ම තමන්ගෙ බර පාලනය කර ගනිමින්, අඛණ්ඩව ව්‍යායම කරමින්, ආහාර පාලනය කරමින් ලොකු කැපකිරීමක් කරන බව අපි හැමෝම දන්නවා. ලස්සන වෙච්ච පමණනින්ම රූප රැජිනක් වෙලා ලෝක තරගයක් දිනන්න පහසු නැහැ.

“තරගය අවසන් උනාට පස්සෙ ඇත්තටම මම ඒ තරම් ව්‍යායාම කරේ නෑ. එතරම්ම කෑම පාලනය කරෙත් නෑ. මම තරගයෙන් පස්සෙ ගෙවුන කාලෙම කරේ සතුටෙන් මගේ පවුලෙ අයත් එක්ක කාලය ගත කරන එක. තරගය පුරාවටම මට ඒ කිසිම දෙයක් කරන්න වෙලාවක් ලැබුනෙ නෑ. ආස දෙයක් කන්න ලැබුනෙ නෑ. ඉතින් තරගය අවසන් උනාට පස්සෙ මම එහෙම දේවල් කරන එකේ වරදක් නෑ නේද?”

මේ ආහාර පාලනය කිරීම නිසා තමන්ට පසු කාලීනව බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න උනා කියලත් හර්නාස් කියනවා. ආහාර අරුචිය, සමහර ආහාර වලට ආසාත්මිකතා ඇති වීම, වගේ දේවල්. කවුද හිතන්නෙ නේද රූප රැජිනක් වෙන්න යන ගමනක් මේ තරම්ම දුශ්කරතා තියෙන එකක් වෙන්න පුලුවන් කියල? අපි කවුරුවත් හර්නාස් ගෙ ලස්සන, කෙට්ටු උස ශරීරෙ මිස ඇය ඒ තරගය දිනන්න සහ ලෝකය ඉදිරියේ තමන්ගෙ රට උඩින්ම තියන්න කරපු ඒ කැපකිරීම දැක්කෙ නෑ. එහෙම නොදැක තමයි පසුකාලීනව ඇයගෙ බර සහ ශරීරයේ ප්‍රමානය වැඩිවීම එක්ක කට්ටිය ඇයට සමාජ මාධ්‍ය වල විවිධ අන්දමේ කතා කියන්න පටන් ගත්තෙ.

මේ ප්‍රශ්නෙ හර්නාස් විතරක් නෙවෙයි ඕනම කාන්තාවක් මුහුන දෙන ගැටලුවක්. පොඩ්ඩක් හරි මහත් උනොත්, එහෙම නැත්තම් හිටියට වඩා කෙට්ටු උනොත් මිනිස්සු අපෙන් කොච්චර ප්‍රශ්න අහනවද? අලුත බැඳපු ගෑණු ලමයෙක් පොඩ්ඩක් හරි මහත් උනොත් “ආහ් ප්‍රෙග්නන්ට් ද?” කියල අහන එක අපෙන් නිරායාසයෙන්ම වෙනවා. වෙනදට වඩා කෙනෙක් ටිකක් කෙට්ටු වෙලා හිටියොත් “මොකද අනේ අසනීපයක්ද?” කියල අහන්න අපි පෙලඹෙනවා.

සමාජ මාධ්‍ය වල උනත් නිලියක් වේවා, සාමාන්‍ය ගැහැණු ලමයකු වේවා, ශරීරයේ වෙනසක් දකින්න තියෙනවනම් මොනතරම් ඒ පින්තූරවලට යටින් හිත රිද්දන, අපහසුතා ඇති කරන වචනයක් දෙකක් අමුණන්න අපි අමතක කරන්නෙ නැහැනෙ. අපි ඒක දකින්නෙ වීරකමක් විදියට.

“මට බර වැඩිවෙච්ච එක නෙවෙයි ප්‍රශ්නෙ. මගේ බර වැඪිවීම මිනිස්සු දැකපු විදිය, මිනිස්සු ඒකට රියැක්ට් කරපු විදියයි මට දරාගන්න අපහසු වුනේ”

හර්නාස් තමන්ගෙ වේදනාව ඒ විදියට මුදාහරිනවා.

ඒත් එහෙමවත් කියාගන්න බැරි කතා, වේදනා අපි අතරෙම ඉන්න කොයිතරම් නම් පුද්ගලයන්ට තියෙනව ඇතිද? කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි පාර්ශ්වය පවා මේ Body Shaming නිසා මොන තරම් නම් අපහසුතාවයට පත් වෙනවද?

විශ්ව රූ රැජිණ විදියට මාධ්‍ය ඉදිරියේ පෙනීඉන්න උන අවස්තාවක තමන්ගෙ ශරීර ප්‍රමානය ගැන මිනිස්සු කියන දේවල් නිසා තමා අපහසුතාවයට පත් වෙච්ච අවස්තා අනන්ත බව හර්නාස් කියනවා. දැන් ඇය නැවතත් තමන්ගෙ ශරීරයේ තිබූ අන්දමටම, මනා සෞඛ්‍යය තත්ත්වයෙන් පාලනය කරගෙන ගියත් තමන්ගෙ මිනිස්සු තමන්ගෙ හිතේ ඇති කරපු කැළැල් මැකෙන්නෙ කොච්චර නම් කාලයක් ගතවේවිද?

ඉතින් මේ කතාව අවසානයේ අපි කැමතියි මේ වගේ අදහසක් ඔබත් එක්ක බෙදාගන්න.

අපි හැමෝම අසම්පූර්ණ මිනිස්සු. අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකෙ නෑ. මේ ලිපිය ලියන මමත් කියවන ඔබත් යන දෙදෙනාම අයිති වෙන්නෙ අඩුපාඩු සහිත මිනිසුන් කියන ඒ කොටසට. අපි අපේ අඩුපාඩු ගැන දුක් වෙන්න හෝ වෙන කෙනෙක්ගෙ අඩුපාඩු ගැන ඇඟිල්ල දික් කරන එක නෙවෙයි කරන්න ඕන, ඒ අඩුපාඩු තේරුම් අරගෙන, ඒව පිලි අරගෙන ඉදිරියට යන එක.

ඒ ඔස්සේ තමයි අපිට ලෝකයක් දිනාගන්න පුලුවන් වෙන්නෙ.

“අපෝ ඔයා මහත් වෙලා. එහෙම නැත්තම් කෙට්ටු වෙලා, කැතවෙලා” කියල අපි ඇඟිල්ල දික් කරන මනුස්සයට අපි නොදන්න කතාවක් තියෙන්න පුලුවන්.

ඒ වගේම අමතක කරන්න එපා, අඩුපාඩු නැති මිනිස්සු වගේ වෙන කෙනෙක්ගෙ අඩුපාඩුවකට ඇඟිල්ල දික් කරන එකෙන් පෙන්නුම් කරන්නෙ අපේ දුර්වල පෞරුෂය.

ඉතින් තීරණය ඔබේ අතේ.

දුර්වල පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට අනුන්ගෙ අඩුපාඩු වලට ඇඟිල්ල දික් කර කර හිනාවෙනවද?

එහෙම නැත්තම් ඒ වගේ දේවල් ඉදිරියට නොවෙන්න සමාජය වෙනස් කරන, Smart විදියට කටයුතු කරන, ධෛර්‍යවන්ත, ධනාත්මක කෙනෙක් වෙනවද කියන එක.

Related Articles

Don't Miss


Latest Articles