අවුරුදු කෑම මේසයට වෙනස්ම ක්‍රම තුනකින් වම්බටු බඳිමු..

වම්බටු කියන්නෙ අපි කවුරුත් හරිම ආසාවෙන් කන කෑමක්නෙ. 

වම්බටු කිරට, මිරිසට වගේම වම්බටු මෝජු කියන්නෙත් ශ්‍රී ලාංකීය අපේ ගෙවල් වල කුස්සියට වගේම කෑම මේසෙරත් හරිම හුරුපුරුදු කෑම වර්ගනේ. 

විශේෂ අවස්ථා වලට ගොඩක් වෙලාවට පිළියෙල වන පුරුදු වම්බටු මෝජුවෙන් එහා ගිහිල්ල වෙනස් කෑමක් හදන්න හිතන අපේ ගෘහණියන් වෙනුවෙන් රසම රස වම්බටු බැඳුම් කීපයක් හදන විදිහ ගැන කියන්නයි ඔන්න අද අපි සූදානම් වෙන්නෙ. 

එහෙනම් බලමුකො ඒ මොනවද කියල?

Eggplant fingers / වම්බටු තීරු 

අවශ්‍ය ද්‍රව්‍ය

ප්‍රමාණයෙන් විශාල වම්බටු ගෙඩි 01 ක් 02 ක්

පාන් පිටි කෝප්ප ½ ක් 

රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු 

(ඔබ කැමති නම් මසාලා හෝ කුනපහ කුඩු)

බිත්තර 02 ක්

බිස්කට් කුඩු 

අයිස් වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම වම්බටු ගෙඩියක් අරගෙන පොත්ත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්න. 

ඊළඟට පොත්ත ඉවත් කරගත්තු වම්බටු ගෙඩිය හරස් අතට දෙකට කපා ගන්න.

ඉන්පසු, එක කොටසක් දික් අතට දෙකට මැදින් පලා ගන්න. 

දැන් ඔබට වම්බටු කෑලි 04 ක් ලැබිල තියෙනව.

ඊළඟට, මේ එක කොටසක් අරන් නැවත දික් අතට කොටස් දෙකකට පලා වෙන් කරගන්න ඔබට පුළුවන්. 

මේ විදිහට වම්බටු තීරු කපාගන්න ඔබට පුළුවන්.

මේ තීරුවල මහත ඔබ ගන්න වම්බටු ගෙඩියෙ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඔබ ගන්නෙ පළලින් අඩු වම්බටු ගෙඩියක් නම් අවසානයේ දික් අතට පලා වෙන්කර නොගෙන ඉන්න ඔබට පුළුවන්. 

ඔබ කැමති ප්‍රමාණයකට ඒ විදිහට වම්බටු තීරුවල මහත අඩු වැඩි කරගන්න පුළුවන්. 

ඊළඟට මේ විදිහට කපා ගත්ත වම්බටු තීරු අයිස් වතුර වල විනාඩි දෙක තුනක් පෙඟෙන්න තියල වතුර බේරල තබාගන්න. 

දැන් වෙනම භාජනයක් අරන් ඒ භාජනයට පාන් පිටි, ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ තුනපහ කුඩු හෝ මසාලා කුඩු එකතු කරල මේ සියල්ලම හොඳින් කලවම් කරගන්න. 

තවත් භාජනයක් අරන් ඒ භාජනයට බිත්තර කඩා දමාගෙන බිත්තර සුදු මදය සහ කහ මඳය හොඳින් මිශ්‍රකර ගන්න.

බිස්කට් කුඩු වෙනම භාජනයක දමා සූදානම් කර තබාගන්න. 

දැන් අපි සූදානම් කරගත්තු වම්බටු තීරුවල පිළිවෙලින් පිටි මිශ්‍රණය, බිත්තර සාරු සහ බිස්කට් කුඩු දවටා ගන්න.  

තෙල් භාජනයක් ලිප තබා තෙල් රත්වන විට බිස්කට් කුඩු දවටාගත් වම්බටු තීරු තෙලට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ උණුසුම්වම රස විඳින්න ඔබට පුළුවන්. 

කර කර ගා හැපෙන වම්බටු පෙති / Crispy eggplant slices

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් විශාල වම්බටු ගෙඩියක් හෝ දෙකක්

රස් අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ කෑලි මිරිස් කුඩු

බඩ ඉරිඟු පිටි / corn flour මේස හැඳි 01 ක්

හලාගත් කඩල පිටි මේස හැඳි 10 ක් 

බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්

වතුර 100 ml ක් 

තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට හලාගත් කඩල පිටි, බඩ ඉරිඟු පිටි, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

එයට වතුර ස්වල්පය බැගින් එකතු කරමින් පිටි කැට නැතිවෙන සේ කලවම් කර පිටි මිශ්‍රණයක් සාදාගන්න. 

දැන් වම්බටු ගෙඩිය හොඳින් සෝදාගෙන පොත්ත පිටින්ම සෙන්ටිමීරට් භාගයක පමණ ඝනකම් පෙති කපාගන්න.

තෙල් භාජනයක් රත් වීමට තබන්න. 

තෙල් රත්වූ විට කපාගත් වම්බටු පෙත්තෙන් පෙත්ත පිටි මිශ්‍රණයේ ගිල්වමින් රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ උණුසුම්වම පිළිඟන්වන්න. 

වම්බටු මල් / Crispy eggplant flowers

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු ගෙඩියක් 

බිත්තර ගෙඩි 02 ක් 

රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු

බඩ ඉරිඟු පිටි 100 g ක්

 තෙල්

බිස්කට් කුඩු

සාදාගන්නා ආකාරය

මුලින්ම වම්බටු ගෙඩිය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. 

ඊළඟට, නැට්ට ඉවත් නොකර වම්බටු ගෙඩියේ පොත්ත ඉවත් කර, වම්බටු ගෙඩිය වෙන් නොවෙන සේ හීනි තීරු වලට කපාගන්න.

වෙනම භාජනයක් ගෙන එයට බිත්තර ගෙඩි දෙක කඩා දමා බිත්තර සුදු මදය සහ සුදු මදය හොඳින් කලවම් වන සේ මිශ්‍රකර එයට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ බඩ ඉරිඟු පිටි දමා පිටි කැටි නොමැති මිශ්‍රණයක් සාදාගන්න. 

බිස්කට් කුඩු වෙනම භාජනයකට දමා සූදානම් කරගන්න. 

තෙල් තාච්චියක් ලිපතබා රත්වීමට තබන්න. 

තීරු වලට කපාගත් වම්බටු ගෙඩිය බිත්තර සහ පිටි මිශ්‍රණයේ ගිල්වා ඉන්පසු එහි බිස්කට් කුඩු හොඳින් දවටා ගන්න. 

බිස්කට් කුඩු දවටා ගත් වම්බටු ගෙඩිය රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැඳගන්න. 

ඔබ කැමති නම් බිස්කට් කුඩු වල දවටන්නෙ නැතුව වුනත් බැඳගන්න පුළුවන්. 

ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ උණුසුම්වම රසවිඳින්න. 

එහෙනම්, මේ පාර අමුත්තන්ගෙ අවුරුදු කෑම මේසෙ වෙනසක් කරන්න වම්බටු මේ විදිහටත් හදල බලන්නකෝ.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles