අඩු වියදමින් කුස්සිය පිළිවෙලට තියාගන්නෙ කොහොමද?

සමාජ මාධ්‍ය වල හරි ලස්සනට පිළිවෙලට ලේබල් කරපු බෝතල් වල කුළුබඩු, එළවළු, පළතුරු, රස කැවිලි අසුරන වීඩියෝ සහ ඡායාරූප ඔබ දැකල ඇතිනෙ.

ඒව දකිද්දි හරි ආස හිතෙනව නේද? 

ඒ වගේ කුස්සියක් මටත් තිබුණ නම් කියල හිතල ඒ අසුරන සහ විවිධ උපාංග මිලදී ගන්න බලද්දි ඒවගෙ මිළ ගණන් දැක්කම, මේ දවස්වල තියෙන ආර්ථික අපහසුතා එක්ක ඒ දේවල් අත්‍යාවශ්‍යද කියල අතාරින්න වෙනව නම්, ඒ ගැන ඔබ කණස්සල්ලෙන් ඉන්න බව අපි දන්නව.  

හැබැයි ඔබ දන්නවද පිරිසිදු සහ පිළිවෙල කුස්සියක් හදාගන්න ඒ කිසිම දෙයක් අත්‍යාවශ්‍ය නැහැ. 

එන්නකෝ. අද ලිපියෙන් අපි කියල දෙන්න යන්නෙ අඩු වියදමින් කුස්සිය පිළිවෙලට සහ පිරිසිදුවට හදාගන්නෙ කොහොමද කියලයි.

අපි පියවරෙන් පියවර ඒ ගැන කතා කරමු. 

මේ දේවල් එකතු කර ගන්න.

මුලින්ම අයිස්ක්‍රීම්, මාගරින් වගේ දේවල් තිබ්බ හිස් ප්ලාස්ටික් භාජන, හිස් ජෑම් බෝතල් සහ නිවසේ ප්‍රයෝජනයක් නොගෙන පැත්තකට දාල තියෙන කෑම පෙට්ටි වගේ ප්ලාස්ටික් භාජන ටිකක් එකතු කර ගන්න ඕන.

දැන් මේ භාජන සියල්ලම මඳ රස්නෙ උණුවතුරෙ ටික වේලාවක් පොඟවගෙන ඉවර වෙලා සබන් භාවිතා කරල හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕන.

ඊට පස්සෙ තද අව්වේ තියල හොඳින් වතුර ඉවත්වෙන විදිහට භාජන සියල්ලම වේලා ගැනීම කරන්න අවශ්‍යයි. 

ඇසිරීම

ඔබේ කුළුබඩු බෝතල් වලින් තියෙන කුළුබඩු ඉවත්කරල ඒවත් එකින් එක සෝදා වේලාගෙන නැවත කුළුබඩු දමා සකස් කරගන්න ඔබට පුළුවන්.

වරකට කුළුබඩු බෝතල් 01 ත් 03 ත් අතර ප්‍රමාණයක් පිරිසිදු කරගන්න ඔබට පුළුවන්.

අපි ශීතකරණයෙන් ඇසිරීම පටන් ගමු. 

ශීතකරණයේ තට්ටුවෙන් තට්ටුව පිළිවෙලට සකස් කර ගැනීම වඩා පහසුයි. 

අධි ශීතකරණ කොටස හැර, ශීතකරණයේ ඇති දේවල් සියල්ලම ඉවතට අරන් ශීතකරණයේ ප්ලාස්ටික් තට්ටු සහ ශීතකරණයේ ඇතුලත හොඳින් පිරිසිදු කරගන්න ඔබට පුළුවන්. 

මුළු සහ වැසී ඇති තැන් පිරිසිදු කරගන්න අමතක කරන්නත් එපා. 

දැන් ශීතකරණයේ තට්ටු වල වතුර ඉවත් වී හොඳින් වේලෙන තුරු අව්වේ තබාගන්න ඔබට පුළුවන්. ඒ අතරේ ශීතකරණයේ තිබූ ද්‍රව්‍ය අපි සූදානම් කරපු පෙට්ටි වල අසුරා ගන්න ඔබට පුළුවන්. 

දැන් අපි අධි ශීතකරණය පැත්තට යමු. මස්, මාළු හොඳින් පිරිසිදු කර කුඩා කැබලි වලට කපා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු, කහ කුඩු අතගා ප්ලාස්ටික් පෙට්ටි වල අසුරා ශීතකරණයේ උඩ කොටසේ අසුරා ගන්න. 

මේ විදිහට පැන්ට්‍රි කබඩ්, ගෑස් ලිප, අවන් එක, රයිස් කුකර් එක බ්ලෙන්ඩරයේ කෝප්පය සහ බ්ලෙන්ඩර පියවරෙන් පියවර පිරිසිදු කරගන්න ඔබට පුළුවන්. 

පිළිවෙල

සාමාන්‍ය වෙළඳ සැලකින් සුළු මුදලකට පිහි සහ හැඳි රදවන දෙකක් මිලදී ගන්න ඔබට පුළුවන්. එහෙමත් නැත්නම් හිස් උස ප්ලාස්ටික් හෝ කිරි ටින් දෙකක් භාවිතා කර හැඳි සහ පිහි අසුරා වෙන වෙනම තබා ගන්න.

ඔබ ගන්න හැඳි සහ පිහි භාවිත කර අවසන් වුනු පසු හොඳින් සෝදා වේලීමට තබා නැවත මේ භාජන වල අසුරගන්න පුළුවන්.

අපි ඔබේ කුස්සියේ සින්ක් එක දිහාට යොමුවුනොත් සින්ක් එකේ කෑම කැබලි රැඳීමේ වැඩි ඉඩකඩක් තියෙනව කියල ඔබ දන්නවනේ. ඒ නිසා සින්ක් එකේ වතුර බහින කොටසට උඩින් දැල් ප්ලාස්ටික් භාජනයක් තියාගන්න ඔබට පුළුවන්. එතකොට කෑම කැබලි සින්ක් එකේ බටය දිගේ රැඳෙන්නෙ නැති නිසා සින්ක් එක අවහිර වීම හෝ ගඳක් ඇතිවීම සිදුවෙන්නෙ නෑ. 

ඒ වගේම සින්ක් එක ලඟින් පරණ තුවායක් එලා තබාගන්න ඔබට පුළුවන්. ඔබ සෝදන භාජන සහ උපකරණ නියමිත ස්ථානයේ අසුරා ගන්න කලින් ඒ තුවාය මත තබා වතුර ඉවත්වූ පසු අසුරා ගන්න ඔබට පුළුවන්.

කුස්සියේ ගෙබිම තෙත මතුපිටක් වීම වළක්වා ගන්න මෙය ඉතාම හොඳ උපක්‍රමයක්. 

පිරිසිදු බව

ඔබ දර ලිපේ උයන කෙනෙක් නම් දැලි භාජන කුස්සියෙන් ඉවතට අරන් ගිහින් සෝදන්න වගේම දැලි භාජන අල්ලද්දි අත් වැසුමක් හෝ රෙදි කැබැල්ලක් භාවිතා කරන්නත් සැළකිලිමත් වෙන්න නම් ඕනමයි. 

එහෙම නැත්නම් කුස්සියේ තියෙන හැම භාජනේකම දැලි ගෑවෙන්න පුළුවන්. 

නිවසේ ඉවත්කරන රෙදි වලින් කොටු හෝ ඔබ කැමති හැඩයට මසාගත් අත් පිස්නා කීපයක් සකසා තබාගන්නත් ඔබට පුළුවන්. 

ඔබ ගෑස් ලිපේ උයනව නම් සෑම දිනකම උයා අවසන් වූ විට ගෑස් ලිප හොඳින් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා. 

නිසිලෙස කුණු ඉවත් කිරීමත් ඉතාම වැදගත්. කුස්සියේ එකතු වෙන ඉවත දමන කෑම, එළවළු කැබලි වගේ දිරාපත් වෙන අපද්‍රව්‍ය පියන වැසිය හැකි භාජනයකට එකතු කිරීම වඩාත් හොඳ බව අපි මතක් කරනවා. බල්ලො, බළල්ලු, මැස්සො වගේම විවිධ කෘමි සතුන් මුළුතැන්ගෙයට පැමිණීමත් කුණු ඇද දැමීමත් ඉන් වළක්වා ගන්න පුළුවන්. 

දිරාපත් නොවෙන අපද්‍රව්‍ය වෙනම එකතු කර නිසි පරිදි බැහැර කිරීමත්, ඒව පුළුස්සනව නම් තද අව්වේ අතුරා මඳ වේලාවක් තබා පුළුස්සා ඉවත් කරන්නත් පුළුවන්. 

නිවසේ අනෙක් කොටස් වගේම මුළුතැන්ගෙයි ගෙබිම නිසිලෙස සෝදා පිරිසිදු කරගන්න,මකුළු දැල් කඩල ඉවත් කරන්න, සින්ක් එක ලඟ හෝ අව්ව වැටෙන ජනේලයක් ලඟ කුඩා භාජනයක ලූණු කොළ, ගොටුකොළ, මින්ට්, කොත්තමල්ලි වගේ කොළ කීපයක් සිටුවා ගෙන මුළුතැන්ගෙය හැඩකර ගන්න ඔබට පුළුවන්. 

ඉතිං, බලන්නකෝ මේ දේවල් සඳහා ඔබට වැයවෙන්නෙ සහ අලුතින් වියදම් කරන්නෙ වෙන්නෙ හරිම සුළු මුදලක්. 

එහෙනම් ලස්සනට පිරිසිදුවට පිළිවෙලට මුළුතැන්ගෙය හැඩකර ගන්න දැම්මම පටන් ගමුද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles