මා හද තුළ ඔබ 32

නුග ගස් පෙළ බුම්මාගෙන බලා හිඳී. අඩු තරමින් පත්‍රයක් හෝ සොලවා සිය අදහස ප්‍රකාශ කරන්නේ නැත. නුග ගස් වල හදවතත් සසල ව ගොස් ඇතිවා මෙනි. තඹරු ද බුම්මා ගත් දෑසකින් එදෙස බලා සිටියා ය. හිත කලබල වූ හැම වෙලාවක ම ඇය පස් වෙනි පටුමගේ නුග සෙවනෙහි ඇවිදින්නට ආවා ය. එතකොට හිත සන්සුන් වේ. හරියට විමලරත්න කුමාරගමයන් ගේ අයියනායක කවි වල මෙනි. දෙවියෙකු ඇත ද නැත ද එහි හිතිවිලි සන්සුන් කිරීමේ බලයක් වේ. පස්වෙනි පටුමග සංහිඳක් සේ එතකොට තඹරු ට දැනේ. හිත රිදුණු බොහෝ අවස්ථා වල ඇය කාටවත් නො කියා ඇවිද ගියේ මේ පාරේ ය. කවුරුන් හෝ කෙනෙක් එතකොට එදුක් තුනී කොට ඇගේ හිත නිවා සනහා ඈ සන්සුන් කළහ. දැනුත් හද දවනා මේ ගින්නෙන් නිවෙන්නට ඇයට උවමනා ය. ඒ ගින්න සමනල් මතින් පිට කොට හරිනා එක අසාධාරණ බව ඇය නො දන්නවා නොවේ. ඔහු වරදකරුවෙකු නොවෙන බව ඇය නො දන්නවා නොවේ. නමුත් ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් ගොඩනැඟී ඇත්තේ දිවාකර පබ්ලිශර්ස් හි අළු දූවිලි මත ය. එහි හිමිකරු ඩිලන් රණසිංහ ය. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමනල් දිවයුරු රණසිංහ ය.

“මට ඒ මිනිහගෙන් පළිගන්න ඕනෙ. මට ඒ මිනිහට පාඩමක් උගන්නන්න ඕනෙ”

ආවේගය හැකි තරම් නිවාරණය කොට තඹරු මිමිණුවා ය. නමුත් ඇගේ ඇස් වලින් ද්වේශයේ ගිනි පුපුරු පිටවෙමින් තිබිණ.

“කාගෙන්ද තඹරු…”

සමනල් ගේ ස්වරයෙහි මුණිවර ශාන්තියක් විය. ඇගේ ගිනිගත් හිත මත පිරිත් පැන් ඉසිනා සිසිලසක් විය.

“ඩිලන් රණසිංහගෙන්”

ඇය ඒ කීවේ කෙලින් ම සමනල් ගේ දෑස් දෙස බලාගෙනයි. සවන ළඟ ම අකුණක් පිපිරුවා වන් කම්පනයක් ඔහු ට දැනිණ. සිදු වූයේ කුමක් ද සිදු වන්නට යන්නේ කුමක් දැයි එක වර සිතා ගත හැකි වූයේ නැත. ඒ කම්පන තරංග මඳක් ඈතට ඈතට පහ ව යන තෙක් ඔහු ඔහේ සිටියේ ය.

ඒ වෙලාවේ ඔවුන් සිටියේ ක්‍රීඩාපිටිය ඉදිරියේ මග අයිනෙහි නැවතීගෙනයි. කම්පන තරංග ඈතට ගොස්, යමක්- බරපතල වූ යමක් සිදු වී ඇතැයි වැටහෙන්නට ගත් ඉක්බිති සමනල් පිරිමියෙකුට සාවධාන විය නො හැකි පරිමාවකින් තඹරු වෙත යොමු වූයේ ය.

“මේ පාරනෙ…අපි කා එකට ගිහින් කතා කරමුද තඹරු…”

එහෙම ඇහුවාට එකඟතාවයක් බලාපොරොත්තු විය නොහැකි යයි සිතිවිල්ලක් ඔහු තුළ නො වූවා නොවේ. එනමුදු පුදුම සහගත ලෙස ඇය එකඟතාවයෙන් හිස සැළුවා ය. ඒ අනුව ඔවුන් ආපසු හැරී සමනල් ගේ මෝටර් රථය වෙත ගොස් එහි නැගීගත්හ. ඇගේ පැත්තේ දොර වසා දමා කඩිනමින් ගොස් සමනල් රියදුරු අසුනට ගොඩ වෙත්දීත් තඹරු සිටියේ රොබෝවරියක සේ ඉදිරිය බලාගෙන ය. ඒ බැල්මෙහි අරමුණක් නොවූවාට ඒ බැල්ම තියුණු වූයේ ය.

“මෙතන ඉඳං කතා කරනවද අපි ඉස්සරහට යනවද…”

“මේ පාර දිගේ යං”

සමනල් රිය පණ ගන්වා මගට ගත්තේ ය. ඔහු ගේ හදවත තුළ දැන් ගිනි මැලය ඇවිලෙයි. තඹරු එසේ කීවේ ඇයි? සිය පියාගෙන් පළිගන්නට ඕනේයි කිවේ ඇයි? ඔහු ගෙන් ඇයට සිදු වූ වරද කුමක් ද? ස්ටියරින් වීල් එක අල්වා ගෙන සිටිනා ඔහු ගේ දෑත් හි වෙව්ලීමක් ඔහු ට ම දැනිණ.

“මොකද්ද තඹරු වෙලා තියෙන්නෙ…ඔයා ඔහොම ඉන්නකොට ඇත්තටම මට හරි බයක් දැනෙනව. ඔයා එහෙම කිව්වෙ…ලොකු වරදක් වෙලා තියන නිසා කියල මට හිතෙනව. ඒක..මට කරෙක්ට් කරන්න පුළුවන් විදිහෙ දෙයක්ද කියල මං දන්නෑ”

“මං මේ ඔයාට දොස් කියන්න හදනව නෙවෙයි සමනල්. ඔයා මේ කිසි දේකට වැරදි නෑ. සමහර විට ඔයා මේ කිසි දෙයක් දන්නෙත් නැතුව ඇති”

“මොකද්ද අපේ තාත්ත කළේ…අනේ ප්ලීස් මාව පිස්සු වට්ටන්නැතුව කියන්න තඹරු”

“ඔයාගෙ තාත්ත එයාගෙ පබ්ලිකේශන් එක ගොඩදාගෙන තියෙන්නෙ මගෙ තාත්තගෙ දිවාකර පබ්ලිශර්ස් හිතා මතා වංචනික විදිහට වට්ටලයි සමනල්. ඒක කොච්චර ලොකු වරදක්ද…මිනිහෙක් තමන්ගෙ තැන හදාගන්න ඕනෙ. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් ඒ අසාධාරණ විදිහට තව මිනිහෙක් හදාගෙන හිටපු තැන හිතා මතා උපක්‍රමශීලීව විනාස කරල නෙවෙයි නේද…”

සමනල් ට එකවර සැනසුමක් දැනිණ. ඒ තඹරු ට ඔහු ට බිය වූවා වාගේ වරදක් සිදු වී නැති හින්දා ය. තමන් දැන ගත්තා වූ සියලු කාරණා ඇය නිවී සැනසිල්ලේ ඔහු ට කීවේ ය. සමනල් සන්සුන් වූ සිතින් හෙමිහිට රිය පදවාගෙන ගියේ ය. සමනල් ඉදිරියේ හිත නිදහස් කර ගැනීමෙන් පසු තඹරු ට යම් සැහැල්ලුවක් දැනෙන්නට ගති.

“මට ආයෙ එතන වැඩට එන්න බෑ සමනල්. මං ගැන වැරදියට හිතන්නෙපා”

“මට ඔයාව තේරෙනව. ඔයාට හිතෙනවනං ඕගොල්ලොන්ට එහෙම කරපු මිනිහට තවත් කඹුරන්න ඕන නෑ කියල…ඒක හරි සාමාන්‍ය හැඟීමක්. ඒත් තඹරු…මේ වෙලාවෙ ඒ වගේ ජොබ් එකක් හොයාගන්න එකපාරටම ලේසි නෑ. මං මේ කියන දේ වැරදියට ගන්නත් එපා. ළිඳට වැටුණ මිනිහ ළිං කටෙන්ම ගොඩ එන්න ඕන කියල කතාවක් තියනව. ඕගොල්ලොන්ට නැති වුණ හැම දේම ආපහු ඕගොල්ලො අයිති කරගන්න ඕනෙ. ඔයා එතනිං අයින් වෙලා කොහොමද ඒක කරන්නෙ…තඹරු…මං ඉන්නව ඔයත් එක්ක. මගෙ තාත්ත වැරදිකාරයෙක්නං මට කවදාවත් එයාගෙ පැත්තෙ හිටගන්න ඕන නෑ. එක පාරටම ඔයාට එහෙම හිත හදාගන්න බෑ කියල මං දන්නව. ඔයා ටිකක් කල් ගන්න. මං ලීව් ඇපෲ කරන්නං. ඔයා නිවී සැනසිල්ලෙ හිතල හොඳම තීරණයක් ගන්න. ඒ තීරණේ මොකක් වුණත් මං ඔයා එක්ක කිසිම අහිතක් හිතන්නෑ. තේරුණාද…”

තඹරු ට ඔහු පව් කියා සිතිණ. ඒ ඇස් මත වන්නේ අව්‍යාජ බවකි. ඔහු ඒ කිසිත් දන්නේ නැත. ඒ බවට ඒ ඇස් දෙක සාක්ෂි ය.

“එයා මගෙ තාත්ත තමයි. ඒත් කවදාවත් මං එයා කරන දේවල් අනුමත කළේ නෑ. හැමදාමත් අපි අතරෙ යාකරන්න බැරි ගැප් එකක් තිබුණ. මං අම්ම ගැන අහපු කිසි දේකට එයා කවදාවත් හරි උත්තරයක් දීල නෑ. එයා කියන්නෙ අම්ම වෙන මනුස්සයෙක් එක්ක සම්බන්දයක් තිබිල ඒක තාත්තට අහු වුණාට පස්සෙ එයා එක්ක ගියා කියලයි. මන්දන්නෑ…එහෙම යනවනං අම්මට මට කියල යන්න තිබුණනෙ කියල මං හැමදාම හිතුව. එයා මට කොච්චර ආදරේ කළාද…අදටත් මට ආදරේ ගැන තියන එකම මතකය අම්මගෙ ආදරේ. එයා මාව තුරුල් කරගෙන අඬපු දවස් යන්තමට මගෙ මතකෙ තියනව. අදටත් මට හිතාගන්න බෑ ඇයි අම්ම දැන්වත් මට කතා කරන්නැත්තෙ කියල. කොහොම වුණත් අම්ම ගිය දා ඉඳන් ළඟ හිටියත් මං තාත්තගෙන් ඈත් වුණා. එන්න එන්න ම ඈත් වුණා. දැන් මේ කතාව…සදහටම එයාගෙන් මං  ඈත් වෙන්න හේතුවක් වෙයි”

“ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා”

සමනල් අඩ සිනහවකින් ඇදෙස බැලුවේ ය.

“මට ඒක ප්‍රශ්නයක් කරගන්නැතුව ඉන්න තිබුණ…ඒ ඔයා නොවුණනං”

සමනල් ගේ ඒ කතාව ඔස්සේ තඹරු දුර දිග කතා කරන්නට ගියේ නැත. කතා කරන්නට තරම් නිරවුල් බවක් ඇයට වූයේ ද නැත. නමුත් ඒ නරක ආරංචිය දැනගත් වෙලාවේ පටන් හිතට පීඩා කළා වූ බර මඳක් හෑල්ලු වී තිබිණ. පස්වෙනි පටුමග ඔස්සේ පොල්ගස්ඕවිට පාරේත්, යළිත් මත්තෙගොඩ දෙසටත් වන ලෙස මෝටර් රථය කිහිප වරක් ඉහළ පහළට ට ගමන් කොට තිබිණ. කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ තඹරු ව රියෙන් බැස්වූවා මිස සමනල් එහි නාවේ ය. සැබවින් රන්මුතු ට මුහුණ දෙන්නට තරම් හයියක් ඔහු ගේ හිතේ වූයේ නැත.

තඹරු සමනල් ගේ රියෙන් බහිනා විට රන්මුතු ඒ බව දුටුවේ මතු මහළේ වීදුරු කවුළුවෙනි. ඒ වෙලාවේ ඇය වෝකර් එකෙහි ආධාරයෙන් දිවාකර ව මඳක් ඇවිදවමින් සිටියා ය. කැෆේ එකේ වැඩට ගත් ගෑනු ළමයා ඉතා හොඳින් වැඩ ටික කරගෙන යන හින්දා දැන් රන්මුතු ට දිවාකර හා ගෙදර වෙනුවෙන් වැය කරන්නට කාලය මඳක් වෙන් කරගත හැකි ය. එක අතකින් සැමියා දෙපයින් නැගී සිටින්නට වෙර දරන්නට ගත් මොහොතේ තඹරු මානසිකව බිඳ වැටී ඇති බව හැඟීම ඇයට හිත් බරකි. දෛවය මේ තරමින් ඔවුන්ට සරදම් කරන්නේ ඇයි දැයි ඇයට සිතා ගත නො හැකි ය. තඹරු මතු මහලට ආව ද වැඩිපුර අම්මාට හෝ තාත්තාට මූණ නොදී කාමරයට වැදුණා ය. ඇගේ ප්‍රශ්නය සමනල් ද යන සිතිවිල්ල රන්මුතු ගේ හදවතෙහි එහෙ මෙහෙ වේ. නමුත් ඇය කලබල නොවී ඉවසන්නට තීරණය කළා ය. තරුණ ළමයින්ගේ ගැටළු වලට අත තැබිය යුත්තේ පරිස්සමෙනි. ඒ ඔවුන්ට වන්නේ ආවේගශීලී හා අත්දැකීම් වලින් පදම් නොවූ සිත් වන බැවිනි.

“අපි ඩොක්ටර් ළඟට යමුද බබූ…”

කියාගෙන අම්මා දුව ගේ කාමරයට ගියේ තවත් ටික වෙලාවකට පස්සේ ය. එතකොටත් තඹරු සිටියේ යහනේ වැතිර කල්පනා කරමිනි. රන්මුතු ඇගේ පිටි අත්ලෙහි අත තබා බැලුවා ය. දැනෙනා තරමට උණක් නැත.

“හෙට යං”

“අසනීපයක්ද නැත්තං වෙන ප්‍රශ්නයක්ද බබූ…ඔෆිස් එකේ මොකක් හරි ද…”

සමනල් ගේ නම නො කියන්නට රන්මුතු පරිස්සම් වූවා ය.

“එහෙම දෙයක් නෑ අම්ම. අපි හෙට ඩොක්ටර් ළඟට යමුකො”

තඹරු ඇගේ දියණිය බව ඇත්ත ය. නමුත් දැන් ඇය වැඩිහිටියෙකු බව රන්මුතු නිතර සිතයි. ඇගේ ජීවිතය ගැන බලා ගැනීමේ හා තීරණ ගැනීමේ අයිතිය ඇයට තිබිය යුතු වේ. ඒ පුහුණුව ලැබීමේ අවස්ථාව අම්මා වශයෙන් තමන් ඇයට ලබා දිය යුතු යයි රන්මුතු සිතයි. දරුවන්ගේ ප්‍රශ්න තමන්ගේ මොළයෙන් විසඳන තාක් ඔවුන් තනිව ප්‍රශ්නයක් විසඳා ගන්නට ඉගෙන ගන්නේ නැත. මෙහෙම වෙලාවක ඔවුන්ට අවස්ථාව දෙමින් තනි නොකර ඔවුන් අස රැඳීම පමණක් අවශ්‍ය යයි ඇය සිතුවා ය.

“මං එන්නද ඔයා ළඟ අද නිදියන්න…”

“අනේ එපා අම්ම. මට එහෙම ලොකු අසනීපයක් නෑ. මේක මැනේජ් කරගන්න පුළුවන්. ඕන වුණොත් අම්මට මං කතා කරන්නංකො”

එහෙම කීවාට නින්ද යන්නේ නැතිව රාත්‍රිය ඇයට වද දෙත්දී තඹරු කොට්ටය තුරුළු කරගෙන සඳැස් ගේ කාමරය දොරකඩට ගොස් ඊට තට්ටු කළා ය. පාඩම් කරමින් සිටි ඔහු ඇදෙස බැලුවේ තරමක් මවිතයෙනි.

“මං ඔයා ළඟ නිදියන්නද අද…”

සඳැස් අක්කා ගේ උරය මතින් අතක් යවා ඇය සිය සිරුරට ලං කොට ගත්තේ ය.

“මොකද්ද අවුල…හීනෙං බය වුණාද…නැත්තං අසනීපයිද…ඕන්නං අපි නර්සින් හෝම් එකට යං”

“මට අසනීපයක් නෑ මල්ලි. ඒත්…මොකද්ද තනියක් දැනෙනව”

“කියන්න මොනාහරි තියනවද…”

“ම්හු. ඔයා පාඩං කරන්න. මං මෙතනිං නිදියන්නං”

ඇය ඔහු ගේ යහනෙහි ගුලි වූවා ය. තඹරු දෙස මඳක් බලා උන් සඳැස් දිගු හුස්මක් පිට කරමින් යළිත් පාඩම් මේසය ළඟ හිඳගත්තේ ය.

ඒ රාත්‍රියේ සමනල් ගෙදර ගියේ නැත. ගෙදර යන්නට තරම් හිත හදාගන්නට ඔහු ඒ වන විටත් අපොහොසත් ව සිටියේ ය. බීර විතක මන්ද්‍ර වූ මත් බව ඔහු ට සිහි නො කළ දෙයක් නැති තරමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles