(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි.

සුධාරකගේ වැඩිමල් සහෝදරිය ගැන සුධාරකට වැඩි පැහැදීමක් තිබුණේ නෑ.දිල්හානි ඔහු බොරු නඩුවල පටලැවූ විට එය මා ඇයට කීවත්ඉන් පසු කිසිදාක තම සහෝදරයාට කුමක් වේද හෝ වෙලා තියෙන්නේ කුමක්ද වත් ඇය කිසිදා ඇසුවේ නැහැ.නමුත් අවුරුදු උත්සව සහ වෙනත් උත්සව හැමදෙයකටම යන්න එන්නටනම් ඇයට සුධාරකගේ වාහන නැතිව බැරි වුණා.යම් ආර්ථික අහේනියක ඇය සිටි නිසා මා ඇයට උපකාර කළා. කොරෝනා වසංගතයට රටම වසා තිබුණු කාලයේ සුධාරක අසනීප වන්නට දින කිහිපයකට මත්තෙන් පවා මා ඒ පවුලේ අයට මාලු කරවල පෙට්ටි පිටින් ලැබෙන්නට සැලසුවා. ඒත් සුධාරක බේරාගන්නට වත් කිසිදු උත්සාහයක් නොදැරූ ඒ සහෝදරිය ඔහුගේ දේපල ටික අයිතිකරගන්නට පොලීසියට පැමිණ තිබුණා.

සුධාරකගේ බාල නැගනිය පසු කලෙක මට පැවසූ කාරණාවක් තිබුණා.ඒ අම්මාත් අනික් අක්කලාත් එකතු වී සුධාරක ජීවතූන් අතර සිටියදීම ඔහුගේ ගේ දොර බෙදාගන්නා හැටි තනි තනිව කුමන්ත්‍රණ කළ ආකාරයයි.ඉතින් එහෙව් සහෝදරකමක ඇති වටිනාකම කුමක්දැයි මට තේරෙන්නෙ නැහැ.

ඒ අවස්ථාවේ පොලිස් ස්ථානය තුළ ඇතිව තිබූ තත්වය තේරුම්ගන්නට වත් ඒ මිනිස්සුන්ට බුද්ධියක් තිබුණේ නැහැ.තමන් දැමූ පැමිණිල්ලත් බොරුවක් බව ඔප්පු වී තබියදී තව තවත් කියවන්නට යෑමෙන් තමන්ට අගතියක් වේ යැයි වත් නොසිතූ ඔවුන්ට මා සමග ඇති ඉරිසියාවත් දේපොල ගැන ඇති තන්හාවත් හැර වෙන දෙයක් සිහියේ තිබුණේ නැහැ.එය හොඳටම ඔප්පු කරමින් මුව විවෘත කළ සහෝදරිය මෙසේ කීවා.

“සුධාරක කියන්නේ රට වටේම ගෑණු ඉන්න කෙනෙක්.මේ එයාගෙ කොහෙහරි හිටපු ගෑණියෙක් තමයි.අපිනං මෙයාව ජීවිතේට දැකල නෑ”

මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. සහෝදරියක් කියන කතාවක් ද මේ කියන්නේ යැයි මට පුදුම සිතුණා.තම සහෝදරයාට හැමෝගෙම ආදර කරුණව තිබූ බවත් කිසිදා කිසි ලෙසකින් හෝ තම චරිතය කෙලෙසා නොගත් කෙනෙක් ලෙසත් සමාජයක් ආදරය කරද්දී මැය මේ කියන කතාව අහස පොලොව නුහුලන සාපරාධී එකක් බව මට සිහියට ආවා.

“දෙවියනේ!දිල්හානි අරහෙම කියනවා.දරුවෝ මෙහෙම කියනවා.දැන් මේ අක්කාය කියන ගෑණි මෙහෙම කියනවා.මොකක්ද මගෙ මහත්තයෝ ඔයා මෙහෙම අහන්න කරපු කරුමේ.”

මට සිහියට ආවේ එපමණයි

ඉන්නේ පොලිස් ස්ථානයේ බව සිහියේ තබාගෙන මා එතෙක් ඉතා සංයමයෙන් කතා කළ ආකාරය අමතක කර දමා ඉහවහා ගිය කෝපයෙන් ඇයට උස්හඬින් බැන වදින්නට මට ගියේ සුළු මොහොතක්.

“චී විතරක් ඕගොල්ලෝ වගේ සක්කිලි මිනිස්සු.මේ මිනිහගෙන් ඔහොම පලිගන්න ලැජ්ජ නැද්ද. අපරාදේ මෙතනට රෙදි ඇඳගෙන ආවේ.ඕවා ගලවලා ගෙදර තියලා එන්න තිබුණේ. මාව දන්නෙ අඳුරන්නෙ නැතුවට මගෙන් කාපු ඉස්සො කරවල අඳුරගෙන හිටියනේ.ඒ මදැයි.හෙන ගහන්න ඕන ඕගොල්ලන්ට මේ කරපු අපරාදෙට”

මගේ නිතීඥ මහතුන් මා අස්වන්නට එතැන නොහිටියා නම් මා ඇයට කම්මුල් පාරක් ගසනවා නොඅනුමානයි.ඒ කේන්තිය පිටම මම මගේ දුරකථනයේ ගැලරියේ තිබුනු සුධාරකගේ පවුලේ අය සමග ගිය විනෝද චාරිකා සැමරූ අවුරුදු උත්සව උපන්දින උත්සව.වගේම සුධාරක මා රැගෙනගිය ආයතනික නිල උත්සව සහ විවාහ උත්සව වල ඡායාරූප සියල්ලම ස්ථානාධිපති තුමාට පෙන්වූවා.ඒ සමහර පින්තූර වල නිල ඇඳුම ඇඳගෙන සුධාරක සමග මම ඉන්න අතරම සුධාරක ගේ මස්සිනා අනෙක් පසින් ඉන්නා සමූහ ඡායාරූප පවා තිබූණා.

විශ්මිත දෑසින් දුරකථනයේ ඇති රූප දෙසත් ඔවුන් දෙසත් මාරුවෙන් මාරුවට බැලූ පොලිස් නිලධාරීන් ද ඉතා පුදුමයෙන්

“මේ මොන හතරබීරි කතාවක් ද මේ..මේ මිනිස්සු ඔබතුමිය වකවදාවත් දැකල නෑ කියන්නෙ.මේ ඉන්නෙ මේගොල්ලො නේද?”

යැයි අසද්දී ඇත්තටම මට සිනා පහළ වුණා.

“කාටද මහත්මයා මේවා කියන්නෙ. සමාවෙන්න මෙහෙම කියනවට.මේ මිනිස්සු මෙතැනට රෙදි පටලවාගෙන ඇවිත් හිටියට ඒ ලැජ්ජාවක් ඇතුව ආපු මිනිස්සු නෙවේ” යැයි මම කිව්වෙ ඒ සිනාවෙන්මයි. තවදුරටත් මේ පලක් නැති පැමිණිල්ලට කාලය මිඩංගු කිරීම නිශ්ඵල දෙයක් බව ඒ වන විටත් වටහාගෙන තිබූ ඒ නිලධාරියා උස් හඬින් මෙසේ කිව්වා.

“කරුණාකරලා මේකට කටඋත්තරයක් දීලා දැන් ඕගොල්ලෝ යන්න.මොකද මෙතන ඕගොල්ලෝ මේ මිස් ගැන කියන දේවල් පදනමක් නැති බොරු දේවල් කියල හොඳින්ම ඔප්පුවෙනවා. මේක තවදුරටත් කතාකරලා තේරුමක් නෑ.මේකෙදි පොලීසියේ අපිට කරන්න දෙයක් නෑ.ඕගොල්ලෝ උසාවි නියෝගයක් අරගෙන කරගන්න දෙයක් කරන්න”

ඔවුන්ට වෙන කල හැකි දෙයක් තිබුණේ නැහැ.ඇටෝනි බලය තිබූ දිල්හානිගේ මාමා නොවෙයි වචනයක් කතා කළේ.ඔහු බියගුලු ලෙස මුලුගැන්වී සිටියා.නීතීඥයාද ඇත්තටම සිටියේ වික්ෂිප්තවයි.ඔහුට මොවුන් කියා තිබෙන්නට ඇත්තේ මේ අසත්‍යම තමයි.නැතිනම් නීතිවේදියෙකු විරුද්ධ පාර්ශවය ඉදිරියේ මුණිවත රකින්නට කිසිදා පැමිණෙන බවක්මා සිතන්නේ නෑ.ඒ අවස්ථාවේදී ඔහුට ඔහු නියෝජනය කළ පාර්ශවය වෙනුවෙන් කියන්නට කිසිදෙයක් තිබුණේ නැහැ.

මේ අතරම සුධාරකගේ මරණ සහතිකය පොලිසියෙන් ඉල්ලා සිටි විට ඔවුන් ඉදිරිපත් කළේ මරණ සහතිකය ඉල්ලුම් කර ඇති වගට කච්චේරියෙන් දුන්ලියවිල්ලක් පමණයි.ඔව්! සුධාරක මියගොස් ඒ වනවිට සතියක් ඉක්ම වූවා පමණයි.මේ මිනිස්සුන්ට ඔහුගේ මරණ සහතිකය ගන්න තුරු වත් පමා වෙන්නට තරම් ඉස්පාසුවක් තිබී නැහැ.

මොවුන් මේ දේපොල මංකොල්ලයට සුධාරක මිය යන තුරු ඇඟිලි ගනිමින් සිට ඇති වග ඉන් මනා පැහැදිලි වෙනවා. කෙසේ හෝ මේ සිද්ධියෙන් පසු අවශ්‍යවේ යැයි සිතා ඔහුගේ මරණසහතිකය ගන්නට කච්චේරියට ගිය මට ලියාපදිංචිකර පැමිණි පළමු වන මරණසහතිකය ලබාගන්නට හැකි වුණා.එය අතට ගන්නා විට මගේ රෝම කූපයක් ගානේ විඳවමින් ගලාගිය වේදනාව සෙනෙහස මුසුවූ ඒ මහා හිස්බව අදටත් මට මෙය කියන විට දැනෙනවා දැනෙනවා වාගේ. මට අතට නොලැබුණේ සුධාරක ගේ උප්පැන්න සහතිකය පමණයි.ඔහුගේ පළමුවන විවාහ සහතිකයත් අවසාන වචන කිහිපයත් මරණ සහතිකයත් මතක සියල්ලත් අනුරාධාට ඉතිරිකරන්නට දෛවය අපව මෙහෙය වූවා. ආදරය දැනෙන්නේත් ආදරය විඳින්නේත් එක්කෝ ආදරය විඳවන්නට වන්නේත් සංසාර පුරුදු හැටියටයි.

බොහෝ අයට වැරදි කෙනා හරි කාලයේදී මුණගැහෙනවා.සමහරුන්ට හරි කෙනා වැරදි කාලයේදී මුණගැහෙනවා.මේ හැමදෙයක්ම අපිට සිදුවන්නේ අපි කල කුසල් අකුසල් හා දෛවයේ මෙහෙයවීම මතයි.

මම මේවා සම්බන්ධයෙන් වෙන මොනවා කියන්නද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles