මාතලේට එන මඟ දිගටම කිරිල්ලියක සේ කියවමින් උන් ශයිනි අකලංක ගේ නිවස සමීප බව ගූගල් මැප් එකේ පෙන්වද්දීම නොසන්සුන් වූවාය එහෙත් ඒ බවක් නොවැටහුනා සේ අකලංක මෝටර් රිය ධාවනය කලේය.
” මට බයයි …. “
ශයිනි අවසානයේ පවසද්දී අකලංක ඇය දෙස බැලුවේ දෑස් නළලට ගනිමිනි. ඇය කියන්නේ යකෙකුටවත් බය නොවන වගය. එහෙත් දැන් මුහුණ අකුලවාගෙනය. අකලංක සිනාසුනේය.
” මටද හිනාවෙන්නේ ?”
ශයිනි එවර හඬද අකුලවා, කුනු කුනුවක් ලෙසින් ඇසුවාය. මේ ගානට හුරුතලය තිබුනාම ඇතියැයි අකලංක ට සිතෙන්නේය.බ්
අකලංක එසේ නොවන වග කියන්නට හිස වැනුවේය. එහෙත් ශයිනි හදාගෙන උන් අමනාප මුහුණ ඉන් වෙනස් වූයේ නැත.
” හරි දැන් මොකටද බය …?”
අකලංක ඊළඟට විමසුවේ ඇගේ කොපුලක් රිදෙන්නටම මිරිකා පසුව එතැනින් පටන්ගෙන කම්මුලම පිරිමදිමිනි. ශයිනි ඒ අත කොපුලත්, උරිස්සත් අතරට මැදිව තියාගත්තාය.
අකලංක මෝටර් රිය පසෙකට කර නැවැත්වූයේය. ශයිනි උන් ඉරියව්වේම හිඳ අකලංක දෙස යන්තමින් බැලුවාය.
“මොකෝ බය ? “
” බයයි … අපරාදෙ මෙහෙම ආවේ…”
අකලංක ඇගෙන් මිදී යලි ඇගේ කොපුල් දෑතින්ම අල්ලා ගත්තේය.
” ඇයි කෙල්ල … මං කිව්වානේ.. අපේ අම්මලා එහෙම ට්‍රැඩිශනල්ම මිනිස්සු නෙවෙයි .. මං බැන්දාම මාතලේ ඉන්නවා නම් ඒගොල්ලෝ කැමති එක වෙනයි. . ඒත් ඒම ඉන්න බෑ කියලා ඒ ගොල්ලෝ දන්නවා …. “
” ඒක විතරක් නෙවෙයි නේ…”
ශයිනි අකලංක ගේ දෑස් වලින් මිදෙන්නේ නැතුවම කීවාය. අකලංක ගේ අම්මා ගැන නැන්දා පැවසූ කාරණා වල ශේෂ ශයිනිට වද දෙන්නේය. එක් අතකින් ඒ ගැන සිතීම පලක් නැති වුවද, ඔවුන් අකලංක වෙනුවෙන් බලාපොරොත්තු වන ගැහැණු ළමයා තමා නොවේය යන හැඟීමෙන් ශයිනි ට මිදෙන්නට ඉඩක් වූයේම නැත.
” තව මොකක්ද ?”
” නැන්දා කිව්වේ ඉතින්… මං එහෙම ටූ මච් ගර්ලිශ්, කියුට්, අහිංසක නෑනේ …”
අකලංක එවර අසුනේ කෙලින් වී හිඳ ගත්තේ ශයිනි අතැට දමමිනි. මින්පෙර කිහිප වතාවක්ම ඒ කතාව පිළිබඳව ශයිනිට පැහැදිලි කල බව අකලංක ට මතකය. වඩා වැදගත් වන්නේ තමා ඇය පිළිබඳව සිතන ආකාරය බවද කීවා මතකය. ඇය එවැන්නක් එක්වරක් පැවසීමෙන් පසු වටහා ගන්නට නොහැකි තැනැත්තියක ද නොවන්නේය. එහෙත් ඇය යලි යලි එයම විමසන්නේය.
” ඇයි ඉතින්…?”
ශයිනි එවර ඔහුගේ බාහුවට වාරු වෙන්නට උත්සාහ කරමින් විමසුවේ හේතුව කුමක්දැයි නොදැනම නොවේය.
” ඇයි තේරෙන්නේ නැත්තේ ? කී පාරක් පැහැදිලි කලාද ? ඔයා ඔහොම එකක් හිතේ තියන් ගිහින් අම්මලට කතා කරාම මොකක්ද දන්නවාද වෙන්නේ ? අම්මලගේ හිතකවත් නැති දේවල් ඔයාට පේන්න ගන්නවා… හිතෙන්න ගන්නවා… “
ශයිනි කිසිත් කීවේ නැත.
” ඔයාට බැරි නම් අපි කොළඹ යං…”
අකලංක ඉන් පසුව කීවේය.ශයිනි තිගැස්සීම නොපෙන්වා උන් ඉරියව්වේම ඉඳගෙන හිස ඔසවා අකලංක දෙස බැලුවේය. ඔහු සිටින්නේ කෝපයෙනි.
“හරි නරකයි …”
ශයිනි කුනු කුනු හඬින් එල්ලුණාය. අකලංක මෝටර් රියෙන් බැස අනෙක් පැත්තේ දොර විවෘත කරනතුරුම ශයිනි නොසෙල්වී උන්නාය.
” එන්න එන්න මැතිණිය … බහින්න …”
අකලංක ඇය ඇමතුවේ අම්මලාටද ඇසෙන්නටය.
අම්මා මෝටර් රියෙන් දෑස් ඉවතට නොගන්නා බව ශයිනි දුටුවේ මෝටර්‍රිය තුළසිටියදීමය. ඕ අකලංක පසුපසට වන්නට සිට ගත්තාය.
එහෙත් අකලංක ඇය ඉදිරියට වන සේ තබාගෙන මෝටර් රිය අසල සිට නිවෙසෙහි ඉදිරිපස දක්වා වන අඩි කිහිපය ඇවිද ගියේ ලෝකයම දිනා ගත් සෙන්පතියෙකුගේ ආඩම්බරයක් සමඟය.
අම්මා ශයිනිට කිසිත් සිත ගන්නට හෝ නොදී ඇයව වැලඳගත්තාය
“උඹ තමා මිනිහා …”
මල්ලී එලෙස පවසනු ශයිනිට ඇසුණි
” සුරංගනාවියක් වගේ… හරිම ලස්සනයි…”
අම්මා ශයිනිගේ දෙකොපුලම ඉඹ පවසද්දී ඕ හිනැහුණාය. එවිට ඕ වඩා සුන්දරය.
” ගෙට යමු …”
ඉන් පසුව ඇරඹුණු සතුටු කතා ගඟ දිගේ ශයිනිට ඉතා පහසුවෙන් ගලා යන්නට ඉඩ ලැබුණි. අකලංක හැර යන්න්ට හේතු පවසද්දී නම් ඕ හැඬුවාය. අකලංක අම්මලා ඉදිරියේම ඕ සිප ගත්තේය. අමයුරු දිසානායක නමින් ලිපි සම්පාදනය කරන මාධ්‍යවේදියා අකලංක බව අම්මලා දැන ගත්තේද දින කිහිපයකට පෙර අකලංක ශයිනි පිළිබඳව පවසා ඒ සිදුවීම් පවසද්දී ය.
දිවා ආහාර මේසය වූයේ මඟුල් ගෙදරක සිරියාවකිනි. ශයිනිට ඉස්පාසුවක් නොවන්නට කවන්නට අකලංක ගේ අම්මා උත්සුක වෙමින් උන්නාය. අකලංක උන්නේ අම්මාගේ සතුට දෙස බලා සැනසෙමිනි.
“තවුසේ අම්මව ඇඬෙව්ව දවස් වලට ඔටෝ සමාව ලැබෙයි… අවුළක් නෑ.. බලනවා අම්මාගේ සතුට …”
මල්ලී පවසද්දී අකලංක ට එකඟ නොවී සිට්න්නට හැකි වූයේ නැත.
ප්‍රබාත් සහ තිළිණිගේ විවාහය වෙනුවෙන් පසුදා යළි කොළඹ යන වග පැවසූ අකලංක ඊළඟ සති අන්තයේ යලි එන්නටද අම්මාට පොරොන්දු වූයේ ඇගේ සිනහව අඩු නොකර සිටින්නට සිතමිනි.
ශයිනිට කාමරයේ තනිව සිටින්නට සිත් දුන්නේම නැත. එහෙත් අකලංක ට ඒ බව පවසන්නටද නොහැක. පැවසූ ඇසිල්ලෙන් ඔහු කාමරය තුළට කඩාපනිනු ඇත. එය අද දිනයට පමණට වැඩි වේ යැයි ඕ සිතුවාය.
යහනේ ගුලි ගැසී ජංගම දුරකථන තිරයේ වූ අකලංක ගේ සිනහව දෙස බලා උන්නාය. එක්වරම ක්ලික් හඬ නැඟුනි. ඉන් පසුව දොර විවෘත විණි. ජංගම දුරකථන තිරයේ වූ සිනහව සජීවීකරණය වෙමින් දොරෙන් ඇතුලට ඇවිද ආවේය.
ශයිනි දඩි බිඩියේ යහනේ කෙලින් වූවාය . එහෙත් අකලංක ට කලබලයක සේයාවක් වත් වූයේ නැත. ඔහු දොර අගුලු දමා, විදුලි පහනේ ආලෝකය අඩු කර ශයිනි වෙත ඇවිද ආවේය.
” අම්මලා ?”
” මගේ ගෑණිව තනි කාමරේක තියලා මං කොහොමද අල්ලපු කාමරේ නිදියන්නේ … මෙන්න මෙහෙ එනවා…”
අකලංක ඇයවද පෙරලාගෙන යහනට වැටිණේය. ශයිනි අකලංක තමා වටා යවා තිබු අත අස්සෙන් ඔහු වෙතට හැරුණාය
” මට තනියෙන් නිදන්න බෑ කියලම හිතිලා තිබුණේ…”
“ඔව් ඉතින් දැන් සති තුන හතරක් තිස්සේ අස්සට වෙලා ඉඳල් ඉඳලා නින්ද යන්නේ නෑ තමා තනියෙන් … ඔය ගෙදර යැව්වට පස්සේ මට ඒ දවස් තුනම නින්ද නෑ… ප්‍රබාතයා හිනා වෙනවා…”
අකලංක ඇගේ නාසය මතට නාසය වැද්දුවේය. ඕ දෑස් වසා සිනාසුනාය. අනතුරුව අකලංක ගේ දෙතොල් මතට සිහින් හාදුවක් තිව්වාය. ඉන් අකලංක එවෙලෙහි රකින්නට සිතාගෙන ආ සීලය යම් දුරකට කැඩුණි.
ප්‍රේමය යනු කුමක්දැයි අකලංක ට තවම හරි නිර්වංචනයක් නැත. පාසැල් කාලයේ සිට සරසවිය අවසන්වන තෙක්ද, ඉන් පසුවහ ජීවිතයේ උන් ගැහැණු ප්‍රේමයට එක් එක් නිර්වචනයන් තැනූ බවට නම් ඔහු එකඟය. ශයිනිගේ සියළු අංශුමාත්‍රික කොටස් වලට ඇලීමෙන් සිටීම ප්‍රේමය ලෙස අකලංකට විටෙක සිතෙයි. ඕ ළඟක සිටින විට, නිසොල්මනේ සිටින විට, කෝප ගන්නා විට, දොඬමලු වන විට, ළඟක නැති විට, මේ සියල් නිමේශ වල ප්‍රේමය නිසා වන සමනල් හැඟුම දැනෙන්නේය.
ශයිනි අකලංක ගෙ පපුවට ගුලි වූවාය. අකලංක ඇගේ හිස් මුදුනම වන සේ සිප ගත්තේය. ඕස්ට්‍රේලියාවේ සිටියදීද, පෙරලා ලංකාවට පැමිණි පසුද ශයිනි නිවසට යන්නට පෙර ගෙවූ දින දෙකද ඕ උන්නේ ඒ ගුලිවීමේමය. සරාගික ක්‍රීඩාවට ආධුනික නොවූ නමුදු, අකලංක ඇයව ඒ වෙනුවෙන් පෙළඹවූයේ නැත. එහෙත් ඉවසා ගන්නට නොහැකිම වූ දින දෙකක ඕ යම් දුරක කැටුව යන්නේ නැතුව සිටින්නට ඔහු ට නොහැකිවිය.
තෙවැනි දිනයේ ශයිනි ඔහු ට ඉස්සර වූවාය.
” තමුසේ පොඩි බබෙක් වගේ ඉඳලා.. මේ දවස් දෙක තුනට ගෑණියෙක්ගේ දේවල් ඉගෙනගෙන කෙල්ල… මට හරියට ආදරේ හිතෙනවා…”
අකලංක එදා එලෙස මුමුණමින් ඇගේ කඳු මුදුන් මත හති හැරියේය.
ශයිනි අකලංක ට ඉඩ දෙමින් ඔහුගෙන් මිදී උඩුකුරු වන සේ වැතිරුණාය.
අකලංක ශයිනිගේ රාත්‍රී ඇඳුමේ උරිස්සේ පටිය ලෙහුවේය. නිම්න මැද වැතිරුණේය.
” නිදාගන්න …”
විධානයක් ලෙසින් ඇසෙද්දී ඕ ඔහුගේ සිනිඳු හිසකේ අතරේ අතැඟිලි දැවටුවාය. යන්තම් එසවී හිස් මුදුන සිම්බාය.
ඕ දරාගත නොහැකි ප්‍රේමයකින් යලි යලි පිරෙමින් උන්නාය. ජීවිතයේ තෙවැනි දශකයද ගෙවී ගොස් අවසන් වෙද්දී අකලංක මුණ ගැහුණේ ඇයිදැයි ඇයට සිතෙයි. මීට වසර කීයකට පෙර නම් ඔහු මුණ ගැසෙන්නට තිබුණා දැයි සිතෙයි.
” මං ආදරෙයි ….”
ඇය කීවේ හඬ නැගෙන්නට නොවේය එහෙත් එය අකලංක මහා හඬකින් ඇසුණි. නින්ද නිම විය.
| අපේක්ෂා ගුණරත්න |