පමා වී පිපුණු මල් 6

0
10210

“අරුණිට නම් හොඳයි, කැම්පස් එකෙන් අවුට් වෙද්දිම හොඳ ජොබ් එකක් තියෙන මහත්තයෙක් ඉන්නවනෙ”

විශ්ව විද්‍යාලයේ අවසන් වසර විභාගයට මසකට පමණ පෙර සිට සූදානම් වෙද්දි තව මාස දෙකකින් පමණ තමන් සියල්ලන්ම මේ වසර කිහිපයක් සෙවණ දුන් නිවහන හැර යන බව සිහිපත් කරමින් කතාව ඇරඹුවේ තිසුරිය.  ඒ වනවිට විශ්ව විද්‍යාල බෝඩිමේ කාමරයේ නතර වී උන්නේ මිතුරියන් හතර දෙනෙකි. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙකුම පේම සබඳතාවන් තිබූ අයයි.අරුණලී හැර අනිත් දෙදෙනාගේම පෙම්වතුන් එවකටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් උන් සමකාලීනයන්‍ය. උසස් පෙල අවසන් වූ වහා විදේශයක උසස් අධ්‍යාපනය හදාරන්නට ගොසින් අනතුරුව එහිම ඉතාම හොඳ වැටුපක් හිමි රැකියාවක් සොයාගත් මෙනුකට අරුණලීගේ මිතුරු වලල්ලේ ඉහල තැනක ලැබුනි. ඒ නිසාම අරුණලී උන්නේ එකතරා විදියක ආඩම්බරයකි. පවුලේ අයටත් මෙනුකටත් ඉතාම හොඳින් සැලකුවද මෙනුකගේ ආදරය අරුණලීව සමාජය ඉදිරියේ මදක් ඉහලින් රැඳෙන්නට හේතුවක් බව අරුණලී සිතුවාය. ඒ නිසාම ඇය විශ්ව විද්‍යලයේ ඇයගේ ආදරය පතා ආ බොහෝ පිරිමි ලමුන් දෙස බැලුවේ මද අවඥාවකින් යැයි කිව හැක. 

“”ඔව් අනේ අපිට තමයි ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවල් හොය හොය ඉන්න වෙන්නෙ”

“අරුණිට නම් බැරිය මෙනුක එක්ක ඔස්ට්‍රේලියා ගිහින් හොඳට ස්ට්‍රෝබෙරි හෙම කකා සන්තෝසෙන් ඉන්න”

“අනේමේ, මං කොහේ ගියත් ජොබ් එකක් හොයාගන්නවා”

“ඔස්ට්‍රේලියාව වගේ රටවල අපේ ඩිග්‍රී වලට ජොබ් තියෙනවද?”

“මෙනුක නම් කිව්ව තියෙනව කියල. මෙහෙවගේම තමයිලු රට ගිය පලියට රස්සාවල් හම්බුවෙන්නෙ නෑලු. ඇප්ලයි කරන්න ඕනලු. හොඳ නම් තමයිලු ගන්නෙ”

“අපේ රටෙන් යන අයට එහෙම රස්සාවල් නැතිවෙන්නෙ නෑ නේද? අපි දන්න හැමෝටම වගේ එහෙම රටවල් වල ගිහිල්ල ටික කාලෙකින් රස්සාවල් හම්බු උනානෙ”

“ඔව්, අනික එහෙම හොඳ ඩිග්‍රි එකට ගැලපෙන ජොබ් එකක් හම්බෙනක වෙන පාට් ටයිම් රස්සාවල් ඉතින් කරන්න පුලුවන්නෙ”

බිඳ වැටුණ ප්‍රේමයක අතීත මතක මෙසේ සිත ඉදිරියට ඒම කෙතරම් නම් වේදනවක්ද කියා අරුණලී එකින් එක ගෙවෙන දින අතර තේරුම් ගනිමින් උන්නාය.  මේ පලවෙනි ආදර කතාවය. මේ පලවෙනි ආදරයක බිඳ වැටීමය.

“අෆෙයාර් එකක් බ්‍රේක් උනාම සුයිසයිඩ් කරගන්න එකනම් මහ පිස්සුවක්” කියා  මුහුණු පොතේ බිඳවැටුණු ආදරයක් වෙනුවෙන් ජීවිතයක් දුන් කෙල්ලන් ගැන තම අවඥාවෙන් සිහිකල හැටි අරුණලීට මතකය. එහෙත් කාලය කෙතරම් නම් වෙනස් වී ඇද්ද? මේ වේදනාවෙන් මේ ලැජ්ජාවෙන් මිදෙන්නට මිය යන්නට හැකි නම් මොනතරම් අපූරුද කියා තමන්ට නොසිතෙනවා නොවේද? මිය යනවා හැරෙන්නට වෙනත් උත්තරයක් නැති බව තමන්ට හිතෙනව නොවේද? ඒ හැඟීම කෙතරම් නම් සාදාරණද කියා හිත කියනවා නොවේද?

“අරුණලී මගෙ එක කෝල් එකකටවත් මැසේජ් එකකටවත් රෙස්පොන්ඩ් කරන්නෙ නෑ බං” 

කුමිල උන්නේ මෙනුකගේ දුක්ඛ දෝමනස්සයන් වලට සවන් දෙන අතරම අත රැඳි බියර් වීදුරුව ඇඟිලි තුඩු වලින් කරකවමිනි. මෙනුකට සුපුරුදු පරිදි තමන්ගේ ගෙදරදී නිදහසක් දැන් නොලැබෙන බව කුමිල නොදන්නවා නොවේ.

“අම්මයි අක්කයි මහ අමුතු විදියට බං බලන්නෙ. තාත්තා නම් වෙනසක් නැතුව කතාකරනව. ඒ උනට ඉන්න අමාරුයි” කියා මෙනුක කුමිල සොයා ආවේ අද උදයේය. 

“සාදාරණයිනෙ බං ඉතින්” කියා බියර් ටවර් එකෙහි කරාමය හැර වීදුරුව රන් පැහැ බියර් ද්‍රාවණයෙන් පුරවාගත්තේය. 

“උඹට වෙන කෙල්ලෙක් ඉන්නව කියල දැනගත්ත නම් සමහරවිට උන් උඹට සමාවක් දෙන්න තිබුනා. ඒ උනාට මේ අවුරුදු ගාණ පුරාවටම උඹ මෙහෙම මනුස්සයෙක් කියල දැන් දැනගත්ත එක උන්ට උඹව දිරවන්නෙ නැති වෙන්න හේතුවක්”

“යකෝ ඒ මගෙ පවුලෙ උන්.පවුලෙ මිනිස්සු එහෙම කරනවද තමන්ගෙ පවුලෙ මනුස්සයෙක්ට එහෙම උනාම?”

“උඹ හැමදේම් හංගගෙන ඉඳල නොහිතපු වෙලාවක ඒක එලියට ආව එකයි ඔක්කොටම හේතුව. අනික ඔය පිරිමියෙක් ගේ හරි ගෑණියෙක් ලෙස්බියන් හරි වෙන එක එහෙම නැත්තම් බයි සෙක්ශුවක් වෙන එක ගැන එල්ජීබීටීකිව් කට්ටිය ගැන අපේ මිනිස්සු සෝශල් මීඩියා වල ලොකුවට කතාකරාට, සෝශල් මීඩියා වල ඒක ඇක්සෙප්ට් කරා ඇත්ත ජීවිතේ එහෙම වෙයි කියල හිතන්න එපා බං. අපේ අම්මල කියන්නෙ මේ තාම අවුරුදු නැකැත් හරියට කලේ නැත්තම් කෙලවෙනව කියල හිතන් ඉන්න මිනිස්සු. ඉතින් එහෙම මිනිස්සුන්ගෙන් උඹ මේ වගේ සිටුවේශන් එකකදි වෙබස් රියැක්ශන් එකක් බලාපොරොත්තු වෙන්න එපා”

“අම්මාට ඔක්කොටම වඩා හිත රිදිල තියෙන්නෙ අරුණලී මං හින්ද ලැජ්ජ වෙච්ච එක. අපේ නෑයන්ගෙන් අම්මලට කතා අහගන්න වෙච්ච එක”

එදා මංගල දිනා දවසේ සියල්ල හෙලි වූ පසු තමාත් මෙනුකත් අරුණලී වෙනුවෙන් වෙන් කල කාමරයේ දොරටුව ඉදිරිපිට සිටගෙන ඉද්දී අරුණලීගේ දෙනෙතේ ලියැවී තිබුණ කතාව කුමිලට මතකය.

ඒ අප්‍රසන්න බැල්මකින් මුහුණ වසා ගෙන බව කුමිල දුටුවාය. එහෙත් එහි පුදුම වෙන්නට දෙයක් නැත. අරුණලීත් මෙනුකත් බොහෝ කාලයක් ප්‍රේමවන්තයින් වී උන්නද ඔවුන්ට එකිනෙකා ඇසුරේ කාලය ගෙවන්නට වූයේ ඉතාම අඩුවෙන් බව මෙනුකගෙන් ඔවුන්ගේ ආදරය ගැන දැන ගෙන් උන් කුමිල දැන උන්නේය. උසස් පෙල අවසන්ව මෙනුක ඔස්ට්‍රේලියාව බලා ඒමත් සමග මෙනුකටත් අරුණලීටත් ආදරය කරන්නට වූයේ බොහෝ විට දුරස්තවය. 

එහෙත් මෙනුකට මෙවන් අසම්මත යැයි සැලකෙන බැඳීමක බැඳෙන්නට එය හේතුව විය හැකිද කියා තමා සිතූ වාර අනන්ත බව කුමිල දනී. තමා ඒ බව, මේ සියල්ල අරුණලීගෙන් රහසක්ව තබා ගැනීම ඇයගේ පැත්තෙන් කෙතරම් සාධාරණද කිය කියන්නට නොහැකි නමුත් මිතුරුදම් හමුවේ එය සර්ව සාදාරණ නොවේද?

“උඹ බයිසෙක්ශුවල් වෙලා ඉන්න එක උඹේ අෆෙයාර් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?” කියා තමා මෙනුකගෙන් ඇසුවේ නොසිතූ විලසින් අනපේක්ශිතව මෙනුක සහ රමිත් අතර වූ සබඳතාවය දැනගත් දින බව කුමිලට අද මෙන් මතකය. 

“මට කවදාවත් අරුණලී එක්ක සෙක්ශුවල් රිලේශන්ශිප් එකක් තිබිල නෑ මචං.මම එහෙම දේකට එයාට කතා කරලවත් මට එහෙම උවමනාවක්වත් තිබුනෙ නෑ. මම කවදාවත් හිතුවෙවත් නෑ බං මට එහෙම කොල්ලෙක් ගැන ෆීලින් එකක් එයි කියල”

“ඉතින් ඇයි උඹ තව දුරටත් ඒක අරුණලීගෙන් හංගගෙන ඉන්නෙ? පිස්සුද බං? කොච්චර පව් ද ඒ කෙල්ල?”

“මං කොහොමද බං අරුණලීට මෙහෙම දෙයක් කියන්නෙ? එහෙම දෙයක් කියල මම කොහොමද ආයේ ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්නෙ?”

“එතකොට උඹ හිතනවද ඕක මුලු ජීවිත කාලෙම හංගගෙන ඉන්න පුලුවන් කියල? එහෙම කරල උඹට මුලු ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්න පුලුවන් කියල? ඕක අහුවෙච්ච දවසට උඹ කොහොමත් ජරා මිනිහෙක් කියල හංවඩු ගැහෙනව ව්තරක් නෙවෙයි අවුරුදු ගාණක්ම අහිංසක කෙල්ලෙක්ව රවට්ටපු ජරා පප්පෙක් කියලත් අහුවෙනව”

එදා කොතෙක් අදහස් පැහැදිලි කරදුන්නද අවසානයේ මෙනුක තමන්ගේ අතටම ඔහුගේත් අරුණලීගේත් විවාහ මංගල ඇරයුම් පත ගෙනත් දුන් මොහොතේ කුමිල ඇසුවේ එකම එක දෙයක් පමණි.

“උඹ දැන්වත් එක්කෙනෙක්ව තෝර ගෙන ඇති කියල මම හිතනවා. හැබැයි මෙන්න මේක මතක තියා ගනින්. කවදහරි උඹ හොරෙන් නටන මේ නාඩගම අරුණලීට අහු උනොත් තරහ වෙන්න එපා මචං මං එදාට ඒකිගෙ පැත්තෙ හිටගන්නවා”

එහෙත් මිතුරුදම් හමුවේ, මිතුරෙකු ජීවිත ගමනේ අපහසුතාවයකට පත් වූ මොහොතේ ඒ වචන වලම රැඳී ඉන්නට අපහසු බව කුමිල දනී. සම්පූර්ණ අසාධාරණය වූයේ අරුණලීට බව දන්නවා වුවහ් තමා මෙනුක අසල මේ මොහොතේ රැඳී උන්නේ ඒ මිතුදම නිසා බව කුමිල දනී.

“රමිත් උඹට කතා කරේ නැද්ද?”

කුමිල ඇසූ ප්‍රශ්නයට දිය යුතු පිලිතුර කුමක්ද කියා මෙනුකට අදහසක් නැත. අරුණලී සහ තමන් අතර වූ විවාහය බිඳ වට්ටවන්නට සමත් වූ ඒ වීඩියෝව එවනු ලැබුවේ රමිත් විසින් බව දන්නා නමුත් රමිත් අමතා ඒ ගැන අසන්නට, බැණ වදින්නට හැකියාවක්, හයියක් තමාට නැති බව දන්නේ තමා පමණකි.

එයට හේතුව තමන් අරුණලීට මෙන්ම රමිත්ටත් ආදරය කිරීමද? 

“අපි ආයෙ එකම එක වතාවක් අරුණලීව හම්බෙලා කතා කරමුද?”  කුමිල ඇසුවේ ඒ නිහඬතාවය මැදින්‍ ය. 

“උඹ හිතනවද අරුණලී මාත් එක්ක කතා කරන්න කැමති වෙයි කියල? අනික් අතට මම හිතන්නෙ නෑ ඒ ගෙදර මිනිස්සු කීයටවත් මට අරුණලී එක්ක කතා කරන්න ඉඩ දේවි කියල”

“ඒ ප්‍රශ්නෙ එන්නෙ පස්සෙනෙ. ඉස්සෙල්ල උඹ කියපන්කො උඹ කැමතිද කියල ආයෙ වතාවක් මේ ගැන ඒකි එක්ක කතා කරන්න?”

“උඹ හිතනවද කතා කරන එකෙන් අරුණලී වෙනස් වෙයි කියල?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here