මා හද තුළ ඔබ 45

ඩිලන් රණසිංහ දුටු සමනල් තුළ ඇති වූයේ නො රිස්සුමකි. සිය නවාතැන හොයාගෙන එක ගැන යමක් ඔහුගෙන් විමසිය යුතු නැත. ඔහු ට එය මහ කාරියක් නොවේ. නමුත් මේ විදිහට තාත්තා තව දුරටත් කටුවක් වාගේ සිය හදෙහි ඇනි ඇනී, පැටලි පැටලී ඉන්නා එකට ඔහු කැමති නැත.

“ඇයි…”

එය තරමක් රළු ප්‍රශ්නයකි. පියා දැකීමෙන් හටගත් සතුටක් ඔහුගෙන් විද්‍යමාන වූයේ ම නැත.

මෙහි ආවාට පමණකුදු නොව, යමක් කමක් තේරෙන්නට ගත් දා පටන් කොහොමටත් සමනල් ඔහු ට කැමති නැති බව ඩිලන් නොදැන සිටියා නොවේ. පුත්‍රයාගේ මුරණ්ඩු ගති නිසා පියා ද ඔහු නො රිස්සුවේ ය.

 “මූට තියෙන්නෙ අම්මගෙ ගතිමයි”

කියා ඉවසාගන්නට බැරි වෙලාවක කීවේ ය. කීවේ නැතත් දවසකට වතාවක්වත් එහෙම හිතන්නට හෝ හේතුවක් සමනල් විසින් නිර්මාණය කොට තැබුවේ ය. පියා හා පුතා අතරේ වූයේ සීතල යුද්ධයකි. ඒ වුණත් ඩිලන් සමනල් ට අතිශය ආදරය කළේ ය. ඔහු ට ඔහුගේමයි කියන්නට හිටියේ පුත්‍රයා පමණකි.

ඩිලන් ගේ ඇස් කුඩා ඇනෙක්ස් එක වටේට ම කැරකිණි. මේ කොල්ලා මේ විදිහට දුක් විඳිනා තත්වයට පත් කළේ දිවාකර පවුලය යන වෛරී අදහස ඔහු ගේ බොටුව මිරිකා මරා දමන්නට හැදුවේ ය. දිවාකර පවුල නිසා ඉදිරියේ දී රණසිංහලා ට තව බොහෝ දේ අහිමි වී යන්නට පිළිවන. ඒ නිසා මේ යන පිළිවෙළ වෙනස් කළ යුතු ය.

“බලනව මෙතන හැටි…ඉන්නෙ කොහොමද අයිසෙ මනුස්සයෙක්…ඒසී එකක්වත් නෑ. තමුසෙට පිස්සුද…”

“ඒසී රූම් එකකට වෙලා කූල් එකේ හිටිය කියල කරපු පව් පඩිසන් දෙන වෙලාවට දාඩිය දාන්නැති වෙන්නෑ”

එය තනිකර ම සමච්චලයකි. වචන අතරේ නොව සමනල් ගේ දෙතොල් මත්තේ ද මුහුණ පුරාවට ද ඒ සමච්චලය සරැලි නැගුවේ ය. ඩිලන් පුතාගේ මුහුණ මගහැර ඉවත බලා ගත්තේ ඒ බැල්ම දරාගන්නට බැරිවයි.

“පුතා සමනල්”

තමන්ගේ මාවත ට ගොඩ වීමේ අරමුණෙන් ඩිලන් පුත්‍රයා අමතමින් යහන කොනක හිඳගත්තේ ය. සමනල් ඔහු දෙස බලමින් ද නො බලමින් ද සිටියේ ය. අත් දෙක පපුව මත බැඳගෙන නො සන්සුන් ලෙස ඒ මේ අත සක්මන් කළේ ය.

“මේ අහනව. මට දැං හැමදේම තේරෙනව. ඔයාගෙ ඔළුව කාල තියෙන්නෙ කවුද කියල දැන් මං හොඳටම දන්නව. මං උදේ දැක්ක ඔයා දිවාකරලගෙ ගෙදර හරි සතුටෙන් වටමේස සාකච්ඡාව දාගෙන හිටපු හැටි. පුතා…දිවාකර කියන්නෙ අපේ හතුරා. ඔයා මගෙන් අහනව අම්ම කෝ කියල. ඒක අහන්න ඕනෙ ඔය දිවාකරයගෙන් තමයි”

සමනල් ක්ෂණික ගැස්මකට ලක් විය. නමුත් ඔහු පියා දෙස බැලුවේ රවාගෙන වාගේ ය.

“ඔය මිනිහ තමයි අම්මව රවට්ටගෙන හිටියෙ. අම්මත් එක්ක සම්න්ධයක් තිබුණෙ…කා…ල…කන්…නිය….අම්මව කොහෙහරි හංගං ඉන්නවනං ඕකා තමයි”

මේ වෙලාවේ සිය පැත්ත සාධාරණීකරණය කරගැනීමට ද දිවාකරලාගෙන් සමනල් ඈත් කිරීමට ද ඇදිය හැකි හොඳ ම තුරුම්පුව එය බව ඩිලන් දැන සිටියේ ය. ඔහු එය කීවේ සමනල් ගේ මූණ දෙස බලාගෙන ම ය. සමනල් ගේ මුහුණේ මාංශ පේශි ගැස්සිණි. හැකිලිණි. ලිහිල් විණි. කට කොනක් ඇද වී ගියේ ය. ඇස් අගිසි නැටුවේ ය. ඒ සියල්ලට වඩා ඔහු ගේ මොළය හිරිවැටෙන්නා සේ සමනල් ට දැනිණ. හැම කෙනෙකුට ම කතාවක් තිබේ. හැම කෙනෙකු ම කියන්නේ උපරිමව තමන් සාධාරණීකරණය කෙරෙනා ලෙසට තමන් වෙනුවෙන් කතාවකි. දිවාකර ද එසේ කළා විය නොහැකි ද?

“ඔය මිනිහ මගෙ සංසාර වෛරක්කාරයෙක්ද කොහෙද…මුලින් මට ගෑනි නැති කළා. දැං පුතාව නැති කරන්න යනව. ඕකාට ඔහොම වෙලා මදි”

ලෝකය තමන් කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වෙන්නා සේ සමනල් ට දැනිණ. තඹරු ගේ නෙළුමක් වන් ප්‍රියංකර මුහුණ ඔහු ගේ මනසේ ඇඳෙමින් මැකෙමින් තිබිණ. දෙපා අවසඟව ඇද වැටේයියි පණිවිඩයක් මොළයෙන් නිකුත් වූයෙන් ඔහු යහනේ කෙළවරින් හිඳගත්තේ ය. දිවාකර තවත් බොහෝ දේ කියවී ය. ඒ ඇතැම් ඒවා සමනල් ට ඇසිණ. ඇතැම් ඒවා ඇසුණේ නැත. ජයග්‍රාහී හැඟීමක් ඩිලන් ට දැනෙමින් තිබිණ. පුතා ගේ ඇනෙක්ස් එකෙන් ඔහු නික්ම ගියේ තුනී සතුටකිනි.

“මට ඉන්නෙ පුතා විතරයි. පිස්සු නැතුව ගෙදර එනව. මගෙ හැමදේම දවසක ඔයාට. ඒක දරාගන්න බැරුව මිනිස්සු අපිව බිඳවන්න හදනව. මොළෙං වැඩ කරනව. අර කෙල්ලගෙං අයිං වෙනව. උං ඉත්තො අදින්නෙ මොනා ඔළුවෙ තියාගෙනද කියල මටනං හිතාගන්න පුළුවන්. හ්ම්..මං යන්නං. ගෙදර එනව”

ඩිලන් සමනල් ගේ උරහිසකට තට්ටුවක් දමා බලයෙන් ම වාගේ ඔහු වැළඳගත්තේ ය. සමනල් සිටියේ රොබෝ යන්ත්‍රයක් බවට පත් වෙමිනි. ඔහු ගේ ඔළුව විකාර වී තිබේ. ඔහුට නො හිතෙනා දෙයක් නැත. නමුත් සිරුර මුළුමනින් අප්‍රාණික වී ය. අත පය වුව සොලවා ගත නො හැකි ව ඔහු යහනේ වැතිරීගෙන සිටියේ ය. පපුව ඇතුළේ මොනවාද වෙයි. ඒ කවරක් දැයි ඔහු දන්නේ නැත. සිරුර විටෙක ග්ලැසියරයක කිඳා බසින්නා සේ සීතල වෙයි. යළිත් යමහලක් සේ ගිනියම් වෙයි. අතුණුබහන් කැළතෙයි. කම්මුල් වල හකු රිදෙයි. උගුර කට වියළී යයි. දත් ඇඳි එකට ගැටී හැප්පෙයි. එතකොට දිව හැපී රිදෙයි. නමුත් ඔහු ට ඒ ගැන වගක් නැත. ඔහු ඔහේ යහනේ වැතිරී ගෙන සිටියේ ය. විටෙක කඳුළක් රූරා ආවේ ය. එකෙනෙහි එය වාෂ්ප වී ගියේ ය. මේ මරණාසන්න මොහොත ද කියා ඔහු ට නො සිතුණා නොවේ. එය එතරම් ම වේදනාවකි.

තඹරු බෝ වෙලා බලා සිටියා ය. සමනල් ඒ වෙලාවේ දුරකතනය තැබුවේ කලබලයෙනි. මිතුරෙකු පැමිණියා වුණත් පසුව ඒ බව කියන්නට ඔහු කතා නො කරන්නේ ඇයි? හෝරා කිහිපයකට පස්සේ බොහෝ සිතා ඇය ඇමතුමක් ගත්තා ය. දුරකතනය දිගට ම හැඬවිණ. දැන් දැන් ඒ හඬ මතු වේවියි ඇය ආසන්න බලාපොරොත්තු සහිත ව බලා සිටියා ය. නමුත් එය හැඬවී නිසල විය. තඹරු ගේ හදවත සසල වූයේ එතකොට ය.

ඔහු ඇයව නොසලකා හරින්නේ නැති බව ඈ දනී. මොන වැඩ රාජකාරී අතරේත්, කාර්යාලයේදී පවා ඔහු ඇයට මුල් තැන දුන්නේ ය. කවුරුන් සමග කවර මට්ටමේ පිළිසඳරක සිටිය ද කුටිය දෙසට ඇය බැල්මක් හෙළුවේ වී නම් හිසෙන් මන්දැයි විමසමින් ඇතුළට එන ලෙස ඉඟි කළේ ය. ඔහු සිය හදවතේ වැදගත් ම තැන ඇය තබාගෙන සිටිනා බව තඹරු දැන සිටියා ය. යම් හෙයකින් දුරකතන ඇමතුමක් අතපසු වී තිබුණොත් විනාඩි කිහිපයක් තුළ ඔහු ගෙන් පෙරළා ඇමතුමක් ලැබුණේ ම ය. එය එසේ නොවෙත්දී ඇය නැවත ද ගත්තා ය. ඒත් ඔහු නිහඬ ය. තඹරු වඩාත් කැළඹී ගියේ ඉනික්බිති යි. ඒ ආවේ කවුරුන් ද? ඔහු කෙටි පණිවිඩයක් හෝ එවා ඇයට යමක් දැනුම් නොදෙන්නේ ඇයි?

දුරකතනය හැඬවෙත්දී සමනල් උදාසීන බැල්මෙන් එදෙස බලා සිටියේ ය. තඹරු ගේ නම, ඔහු ගේ සන්තානයෙහි අපරිමිත රිදුමක් ඇති කරයි. ගැඹුරට හෑරුණ තුවාලයක් සේ දැවිල්ලක් දනවයි. ඇයට ඔහු බොහෝ පෙම් කළේ ය. සියල්ල අහිමි වී ගිය ඔහු ගේ ලොවෙහි යළි සියල්ල එක්කාසු කොට දෙන්නට පැමිණි දේව දූතිය සේ ඔහු ට ඇය පෙනිණ. ඉස්සර පුංචි ම කොලු පැටවෙකු කාලයේ අම්මා කියා දුන් කතාවක සුරංගනාවක සේ ය ඇය ආවේ. නමුත් සුරංගනා කතා වල පවා දරුණු බිඳ වැටීම් හා සිත් රිදීම් ඇති වන්නේ ය. තාත්තා කීවේ බොරුවක් යයි සිතන්නට සමනල් ට උවමනා ය. නමුත් දිවාකර කියන්නේ බොරුවක් විය නො හැකි ද? තඹරු යනු දිවාකර විසින් ඔහු අභිමමුවට එවනා ලද විෂ පෙවූ සුරංගනාවක විය නො හැකි ද? පියවි සිහියෙහි නොව සමනල් සැරිසැරුවේ ඉන් ඔබ්බෙහි ය. එය සිහිනයට ආසන්න තැනෙකි. ඒ අතරේ තඹරු ගින්නක දැවුණා ය. ඔහු ට නපුරක් කරදරයක් වී ද කියනා බිය ඇයට වද දුන්නේ ය. හදිසියේ කලබලයෙන් ම ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමූ සිදුවීම ලස්සන වසිලිස්සා කතාවේ රාක්ෂිය හා ඇගේ කුරිරු බළලුන් ද බිරියෝසා ගස් ද මෙන් යුවතිය බියපත් කරවූයේ ය. එය සහේතුක බියක් ද අහේතුක බියක් ද කියා ඇයට වැටහුණේ නැත.

වැස්ස තව තවත් දැඩි වෙමින් තිබිණ. හරියට කල්පාවසන නා කපන වැස්ස සේ ය. මුරුගසං වැස්ස මේ ද? ඇය භීතියක අඳුරු සෙවනැලි සරනා හදවතක් ඔසවා ගෙන කාමරයෙහි ඒ මේ අත සක්මන් කළා ය.

ඩිලන් කෙළින් ම ගියේ රාත්‍රී සමාජ ශාලාවටයි. මැදියම් රැයක් වනතුරු ම ඔහු මීවිත හා තනි වී සිටියේ ය. ආපසු යන ගමනේ දී බමන මත ද නිදි මත ද සමනල් ගේ හා දිවාකර ගේ ප්‍රශ්නය ද හිස තුළ සුළියක් සේ කැරකෙමින් තිබිණ. එන තත්පරයක දී සියල්ල ඔහු ගේ පාලනයෙන් මිදී ගියේ ය. මෝටර් රථය මහත් වූ හඬක් නගමින් පහන් පාලම් ඇන්දක හැපිණ. නැවත කැරකී ගොස් විදුලි පහන් කණුවක මහා හයියෙන් හැපී නතර විය. දෙකට මැද්දෙන් කැඩුණු කණුව මෝටර් රථය මතට වැටිණි. ඩිලන් සිහිසුන් වූයේ ය.

ඔහු ව රියෙන් පිටතට ගන්නට සැලකිය යුතු තරම් සටනක් කරන්නට සිදු විය. රිය දොර තැලී, ඔහු ඇතුළේ සිර වී ද සිටි බැවිණි. ජාතික රෝහල වෙතට පොලීසිය විසින් යොමු කෙරුණු ඩිලන් ව වහ වහා සැත්කමක් සඳහා ශල්‍යාගාරයට ගැනිණ. රිය තුළ තිබී හමු වූ ඩිලන් ගේ දුරකතනයෙහි, ඇමතුම් කිහිපයක් ගන්නට උත්සාහ කළ සමනල් ගේ දුරකතන අංකය ‘පුතා’ ලෙස ගබඩා වී තිබුණෙන්, පොලීසිය සහනල් ට කතා කළේ ය.

“ඩිලන් රණසිංහ කියන කෙනා ඇක්සිඩන්ට් වෙලා ජෙනරල් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කළා. දැන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට එන්න”

සිදු වූයේ කුමක් දැයි සමනල් ට සිතා ගත නො හැකි විණි. ඔහු ගේ සිහියට මුලින් ම ආවේ තඹරු ය. ඒ ඇමතුම එන විටත් ඇය සිටියේ ඔහු ට කුමක් සිදු වී දැයි සිතමින් නො නින්දේ ය. ඇය හී ගසක් සේ නැගී සිටිමින් දුරකතනය සවනට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles