(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මට ඇත්තටම දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. මම මොනතරම් ආදරේ කරත්, මොන වරදට සමාව දුන්නත් ආයෙ ආයෙ රැවටුනා මිසක මට කවදාවත් ආදරේ හන්ද සන්තෝසයක් ලැබුනෙ නෑ. මටම මාව තිත්තයි. ඒකයි මම මෙහෙම තීරණයක් ගත්තෙ. මේ තීරණේට වෙන කිසිම කෙනෙකුගෙ බලපෑමක්වත් සම්බන්ධයක්වත් නෑ”
කොළ කෑල්ලක එහෙම ලිව්ව මෙවින්දි අතට ගත්තෙ ලැබ් එකෙන් පන්නගෙන ආව බෝතලේ. මේ බෝතලේ තියෙන දියරෙ උගුරට හලාගත්තට පස්සෙ උගුර පිච්චෙන බව, මාරාන්තික වේදනාවක් දැනෙන බව දන්නව උනත් ඒ තාවකාලික වේදනාව මේ එදා ඉඳන් විඳවන විඳවිල්ල ඉවරයක් වෙන්න හේතුවක් බව දන්න හන්දම මෙවින්දි දෙපාරක් නොහොත බෝතලේ උගුරට හලාගත්ත.
මරණාසන්න වේදනාව එක්කම දෑස් පියාගනිද්දිත් ඒ ඇස් අස්සෙ ඇඳිල තිබුණෙ විනෝද්ගෙ බොඳ වෙච්ච රූපෙ.
“අනේ ඇයි විනෝද් ඔයා මට මෙහෙම වේදනාවක් දුන්නෙ?” කියල හිතුනා. වටපිටාවම කලු උනා. එච්චරයි මතක තිබුනෙ.
වේදනාව මෙතනින් අහවරයි කියල හිතුවට වේදනාව ඇත්තට අහවර වෙලාතිබුනෙ නෑ. මැරෙන්න හිතාගෙන වස බිව්වත් ආයෙත් ජීවත්වෙන්න වාසනාවක් මෙවින්දිට තිබිල තිවුනා. ඒත් මෙවින්දි ඒක දැක්කෙ තමන් කියන්නෙ මැරෙන්නවත් වාසනාවක් නැති කෙනෙක් විදියට.
“අෆෙයාර් එකක් බ්‍රේක් අප් උනා කියල මෙච්චර උගත්, මෙච්චර හොඳ ජොබ් එකක් කරන ලමයෙක් සුයිසයිඩ් කරගන්න ඕනද? හරි මෝඩයිනෙ” කියල මෙවින්දිව “කවුන්සලින් අරගෙන යන්න” කියල කිව්වෙත් මෙවින්දිට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා.
මෙවින්දි මගෙ ලඟට ආවෙ අන්න එහෙම.
“ඉතින් ඇයි කියන්නකො මෙහෙම දෙයක් කරගන්න හිතුවෙ?” මං කතාව පටන්ගත්තෙ හීන් සැරේ. මෙවින්දි ඉඳියෙ Mentally severe depressed තත්ත්වයක. ගොඩගන්න බැරි නොවුනත් ගොඩගන්න ලොකු උත්සහයක් දරන්න ඕන රෝගී තත්ත්වයක.
“මං විනෝද්ට සෑහෙන ආදරේ කරා. මං හිතන්නෙ මම මටත් වඩා විනෝද්ට ආදරේ කරන්න ඇති. එයා වෙනුවෙන් මම නොකල දෙයක් නෑ. මම මොනතරම් එයාට වියදම් කරල තියෙනවද?
ඒ කොච්චර කරත් විනොද්ගෙ ලෝකෙ කිසිම දවසක priority එකක් මට ලැබුනෙ නෑ. එයා මාව කොයිතරම් වාරයක් රවට්ටල තියෙනවද? ඒ හැම වෙලාවකම මම එයාට සමාව දීල තියෙනව. එයා අඬාගෙන එන හැම වෙලාවකම මම සමාව දීල ආයෙම එයාව භාරගෙන තියෙනව. ඒත් මේ වතාවෙත් එයා මාව රවට්ටල කියල දැනගත්තම මට ඇත්තටම හිතුනා මම තවදුරටත් ජීවත් වෙලා වැඩක් නෑ කියල.
කවද වෙනකම් රැවටෙන්නද? කවද වෙනකම් බොරුවලට අහුවෙන්නද? කවදා වෙනකම් මෙහෙම දුක් විඳින්නද?
ඒකමයි මම දෙපාරක් නොහිත එහෙම තීරණයක් ගත්තෙ”
විනෝද් ට වඩා මෙවින්දි අවුරුදු දහයක් විතර බාලයෛ. ඒත් මෙවින්දිගෙ ආදරේට ඒ වයස ගැප් එක නම් එහෙම ලොකුවට බලපෑවෙ නැතිම තරම්. මුල්කාලෙ විනෝද් මෙවින්දිට පන ඇරල වගේ ඉඳියට කාලෙ යද්දි තමයි කොටියගෙ පුල්ලි පේන්න පටන් ගත්තෙ.
මෙවින්දිගෙන් මහ මෙරක් තරම් වටින ආදරයක් ලැබුනත් විනෝද්ට ඇත්තටම ඒ ආදරේ වටිනකමක් තිබුනෙ නෑ. මුල් මාස කීපයේ මෙවින්දි එක්ක හොඳින් සන්තෝසෙන් ඉඳපු විනෝද් පස්සෙ පස්සෙ මෙවින්දිට හොරෙන් තව ගෑණු ලමයි කීප දෙනෙක් එක්කම සම්බන්ධකම් තියාගෙන මෙවින්දිගෙ අතටම අහුවුනා.
“අනේ මාට සමාවෙන්න මෙවී. මම දන්නෙ නෑ ඇත්තටම මට මොකද්ද වෙලා තියෙන්නෙ කියල. ඔයා වගේ හොඳ කෙල්ලෙක් ඉද්දිත් මම මෙහෙම කරන්නෙ මගෙ තියෙන ජරා ගතිය නිසා. අනේ මාව දාලා යන්න එපා මෙවී” කියාගෙන ඒ හැම වතාවකම විනෝද් අඬාගෙන එද්දි මෙවින්දි සමාව දුන්න. සමාව දෙන වාරයක් පාසා ආයෙ ආයෙ රිදුණ, කඩං වැටුනා. ඒත් විනෝද් පොඩ්ඩක්වත් වෙනස් උනේ නෑ.
ඒත් මේ වතාවෙත් එහෙම කරන්න විනෝද්ට පුලුවන්කමක් ලැබුනෙ නෑ.
උපදේශනය අතරවාරෙ ඉගෙන ගත්ත දේවල් එක්ක තමන්ගෙ ජීවිතේ කොච්චර වටිනවද කියන එකත්, අනුන්ගෙ ජීවිත වල Priority එකක් නොවුන කියල දුක් වෙනව වෙනුවට කරන්න ඕන තමන් තමාව Prioritize කරගන්න එක බවත් මෙවින්දි ඉගෙන ගත්ත.
“මං හින්ද ඔයා මෙච්චර දුක් වින්ද කියල මම හිතුවෙ නෑ මෙවී. අනේ මට සමාව දෙන්න. මගේ වැරදි හදාගන්න ඉඩක් දෙන්න” කියල විනෝද් ආයෙ අඬාගෙන ආවත් මෙවින්දි ආයෙමත් විනෝද්ව තමන්ගෙ ජීවිතේට ගන්න තරම් මෝඩ උනෙත් නෑ.
හිත හදාගන්න කල් යයි ඒත් මෙවින්දි දැන් වැටිල ඉන්නෙ හරි පාරට්
අපිට ජීවත්වෙන කාලෙ ඇතුලත ආදරේ කරන අය අනන්තවත් හම්බෙනව. අපි එයාලා එක්ක ආදරෙන් බැඳෙනව. ඒත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙනව, සම්බන්ධයක් හදාගන්නව කියන එක ලොකු Responsibility එකක් බව.
තව කෙනෙක් එක්ක එකතුවෙද්දි එයාගෙ විශ්වාසය රකින්න අපිට ලොකු වගකීමක් තියෙනව. අපි සමහර වෙලාවට හරි සරලව කෙනෙක්ව රවට්ටන්න හිතනවා.
ඒත් ඒ සරලයි කියල අපි හිතන රැවටීම ඇතුලෙ අනික් පාර්ශ්වය මොනතරම් වේදනාවක් විඳිනවද, මොන වගේ අසීරු තීරණ ගන්නවද කියන එක අපිට කවදාවත් හිතිල නෑ. අපි හිතලත් නෑ.
ඒ වගේම තමයි මොනතරම් ආදරේ කරන කෙනෙක් ඔයා ලඟ හිටියාත් ඔයාගෙ ජීවිතේ පාලනය කරන රිමෝට් එක තියෙන්න ඕන ඔයා අතේ. අඬනවද හිනාවෙනවද දුක් වෙනවද සතුටු වෙනවද කියල තීරණය කරන්න ඕන ඔයා. 100% තව කෙනෙක් මත ආදරේ නිසාවත් Depend වෙන්න යන්න එපා.
අපේ ගෙවල්වල කොච්චර වටින දේවල් තියෙනවද? අපි කොහෙහරි යද්දි ගේ දොර වහල යන්නෙ ඒ වටින දේවල් හොරුන්ගෙන් පරිස්සම් කරගන්න. එකපාරක් හොරෙක් පැන්න කියල අපි ගෙදර දොරවල් ඇරදාලා යන්නෙ නෑනෙ.
ඉතින් ජීවිතෙත් ඒ වගේ. සමහරවෙලාවට ආදරේ මුවාවෙන් හොරු එනවා. එකපාරක් සතුට හොරකම් කරන් යනව. හැබැයි දෙවනි පාරත් ඒ හොරාට හිතට එන්න ඉඩ දෙනවනම් ඒක ලොකු මෝඩකමක් සහ වැරැද්දක්.
ඔයාගෙ ජීවිතේ වැඩිපුරම වටින්නෙ ඔයාට.
ඉතින් ඒ වටින ජීවිතෙ පරිස්සම් කරගන්න ඕන ඔයාමයි!