ඔබට ආදරය කරන්න

ඔබේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට නම් ඔබ මුලින්ම කරන්නට ඕනේ ඔබටම ආදරය කිරීමයි. ඒ වගේම අන් අයට ආදරය කරන්න ට කලින් ඔබ ආදරය කල යුත්තේ ඔබටමයි. බොහෝ දෙනාට මග හැරෙන ඒත් මග නොහැරිය යුතු මේ කාරණාව ගැනයි අද අපි කතා කරන්නේ.

කොහොමද ඔබ ඔබට ආදරය කරන්නේ ? 

ඔබේ සියලු පසුතැවීම් සහ අතීත වැරදි අත්හරින්න 

ඔබ සැබැවින්ම ඔබට ආදරය කරන්නට නම් ඔබේ අතීතයේ දී ඔබට වැරදුණු තැන් , ඔබේ වැරදි තීරණ නිසා සිදු වූ දේවල් සහ පසුතැවීම් අත්හැර දැමිය යුතුයි. ඔබ ඒවා ගැන කම්පා වීමෙන් ඔබේ වර්තමානයේ හෝ අනාගතයේ දී සිදුවන කිසිවක් වෙනස් කරන්නට ඔබට බැහැ. ඔබට පාලනය කරන්නට පුළුවන් එකම දේ ඔබ වර්තමානයේ දී කරන දේවල් සහ ඒ අනුව ඔබේ අනාගතය හැඩගස්වා ගැනීමයි. අතීතය ගැන සිතා කම්පා වීමෙන් ඔබේ මනසේ වැඩිපුරම සෘණාත්මක සිතුවිලි පහළ වීමට පටන් ගන්නවා . එය කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න වන්නේ නැහැ.

ඔබ ඔබව පිළිගන්න 

ස්වයං ආදරය ආරම්භ වන්නේ ස්වයං පිළිගැනීමෙනි. ඔබ පරිපූර්ණ නොවන නමුත් ඔබ ඔබේ උපරිමයෙන් දේවල් සිදු කරන බවත් ඔබ පිළිගත යුතුයි.ඔබේ ආත්ම වටිනාකම තීරණය වන්නේ ඔබ කරන වැරදි මත නොවේ.ඔබ ඔබේ වැරදි සහ අඩුපාඩු  හඳුනාගෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන ආකාරයෙනුයි. ඔබ අන් අයගෙන් ගෞරවය සහ ආදරය අපේක්ෂා කරනවා නම් මුලින්ම ඔබ ඔබට ආදරය සහ ගෞරව කළ යුතුයි. ඔබේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් , ඔබට සමාව දෙමින් ඔබ ඔබව පිළිගැනීම ඔබට ආදරය කිරීමට හොඳම මාර්ගයයි.

ඔබව අන් අය සමඟ සංසන්දනය කිරීම නවත්වන්න 

ඔබ වටා සිටින පුද්ගලයන් සහ ඇසුරු කරන පුද්ගලයන් සෑම විටම ඔබ හා සමාන වන්නේ නැහැ. ඒ වගේම ඔබටත් ඔවුන් හා සමාන වන්නට බැහැ. ඒ නිසා ඔබ කිසිම විටෙකත් ඔබව අන් අය සමග සංසන්දනය කිරීම නැවැත්විය යුතුයි. කෙනෙක් අවුරුදු 25 දී ලබා ගන්නා ජයග්‍රහණ ඔබට අවුරුදු විසි පහේදී ලබා ගත නොහැකි වන්නට පුළුවන්. නමුත් එම නිසා ඔබ කම්පා විය යුතු නැහැ. ඊට වඩා යමක් ඔබට මේ වන විටත් ජීවිතයේ ලැබී තිබෙන බව ඔබ සිතන්නට ඕනෑ.

ඔබව සතුටු කරන දේවල් කරන්න 

ඔබ කොතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් ඔබව සතුටු කරන දේවල් වල නියැළෙන්නට අමතක කරන්න එපා. විශේෂයෙන්ම දවසේ කුඩා වේලාවක් හෝ ඔබ වෙනුවෙන් ඔබ වෙන් කළ යුතුයි. චිත්‍රපටයක් බැලීමට යාම, කැමති ආහාරයක් රස විඳීම , කැමති ආහාරයක් සකස් කිරීම , රූපලාවණ්‍ය සත්කාරයක් ලබා ගැනීම, කැමැති සංගීතයකට සවන් දීම ආදී සතුටු වන ඕනෑම ආකාරයේ කටයුත්තක නියැළෙන්නට වෙලාවක් වෙන්කර ගන්න. මේ ඔබේ ජීවිතය ප්‍රීතිමත් සහ සාමකාමී එකක් බවට පත් කරන්නට ඉවහල් වෙනවා වගේම ඔබ තුළින් ඔබව සොයා ගැනීමටත් ඔබට උදව් වෙනවා.

ධනාත්මක පුද්ගලයන් ඇසුරු කරන්න

ඔබ ඔබටම ආදරය කරන්නට පටන් ගන්නා විට ඔබ වටා සිටින්නේ කුමන ආකාරයේ පුද්ගලයන් දැයි යන කාරණාවත් අතිශයින්ම වැදගත් වනවා.ධනාත්මක හැඟීම් ලබා දෙන , ඔබව දිරිමත් කරන , ජීවිතය ගැන ඉතා හොඳ හැඟීමක් ඇති සහ ජීවිතය පිළිබඳව හොඳ අරමුණු සහ සිහින ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ඔබේ ජීවිතයට සහ මනසට ඉතා විශාල වටිනාකමක් එකතු කරනවා. ඔවුන් ඔබ සමඟ බෙදා ගන්නා අත්දැකීම් සහ අදහස් ඔබේ ජීවිතය කොතරම් දුරට වෙනස් කරනවාද යන්න ඔබටම දැනේවි.

ඔබ කැමති පරිදි ඔබේ ජීවිතය වෙනස් කරන්න

ඔබ තවදුරටත් ඔබේ ජීවිතයේ ප්‍රතිඵල ගැන සතුටු වන්නේ නැත්නම් ඔබට හිතෙන ආකාරයට ජීවිතයට අවශ්‍ය වෙනස්කම් සිදු  කරන්න පැකිලෙන්න එපා.ඔබ ගතකරන ජීවිතය ගැන ඔබ සතුටින් පසුවන්නේ නැත්නම් සහ ඔබට ඔබ ගැන ආඩම්බර වන්නට නොහැකි නම් ඔබට ඔබට ම ආදරය කළ හැකි වන්නේ නැහැ. ඔබේ ජීවිතයේ යම් පැතිකඩක් ගැන ඔබ තෘප්තිමත් නොවන බව ඔබට හැඟෙනවා නම් මදක් හිතන්න.වෙනස් කරන්න .

නිරෝගී සබඳතා ගොඩනගා ගන්න

ඔබ අන් අය සමඟ යහපත් සබඳතාවයන් පවත්වාගෙන යන විට ඔබට ආදරය කරන්නේ  කෙසේ දැයි ඔබට දැනගත හැකි වනවා.ඔබේ පවුලේ සාමාජිකයන් , මිතුරන් , ඇසුරු කරන සමාජයේ අය සහ ඔබේ සහකාරිය හෝ සහකාරයා ඔබට සබඳතා , ආදරය සහ ගෞරවය පිළිබඳව තේරුම් ගැනීමට උපකාර කරනවා. යම් අයුරකින් ඔබට සුළු වශයෙන් හෝ අගෞරව කරන පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඈත් කිරීමට අමතක කරන්න එපා. ඔබේ වටිනාකම තේරුම් ගනිමින් විෂ සහිත පුද්ගලයන් ජීවිතයෙන් කපා හරින්න.

ඔබට ලැබිය යුතු ජීවිතය නිර්මාණය කළ යුතු වන්නේ ඔබ විසින්මයි. ඒ සඳහා ඔබ ඔබටම ආදරය කිරීම අනිවාර්ය දෙයක්. ඒ සඳහා පහසුම මාර්ග ගැනයි අද අපි මේ ලිපියෙන් ඔබට කිව්වේ.

Related Articles

Don't Miss


Latest Articles