එපා වුණු ජීවිතේ ධනාත්මකව දකින්න , හිතන්න පුරුදු වෙමු

ජීවිතේ එපාවෙලාද? කිසිම ගතියක් නෑ, හරි බෝරින් කියල කවදහරි හිතිල තියෙනවද?

මෙහෙම දේවල් අපි ඕනම කෙනෙක්ට පොදු දේවල්. ජීවිතේ අපිට මූන දෙන්න වෙන ප්‍රශ්න නිසා, කරදර නිසා ජීවිතේ අපිට එපා වෙනව. අපි අපේ වටේ තියෙන දේවල්වලට බනිනව. ඉක්මනට තරහගන්න. ඒ නිසාම වැඩ වැඩි වෙනව. ඉතින් අපි හිතුවා අද ඔයාලත් එක්ක බෙදාගන්න එපා උන ජීවිතේ ගැන ධනාත්මක හිතන්න Tips කීපයක් අරගෙන එන්න.

1. තනිකමට ශාප කරන්න එපා

තනිකම කියන්නේ දාරගන්න අපහසු දෙයක්. නැත්තෙ නෑ. ඒත් ජීවිතේ හැමතිස්සෙම සැනකෙලියක්ම වෙන්නෙ නෑ. තනිකම කියන දේත් අපෙ ජීවිතේ ඇතුලෙ තැනින් තැනදි අපිට හම්බුවෙනවා.

සමහර මිනිස්සු මේ තනිකම “අයියෝ, ඇයි මට හැමතිස්සෙම තනිවෙන්න වෙන්නෙ?” කියල භාරගනිද්දි සමහර මිනිස්සු තනිකම භාරගන්නෙ “දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න මම තනියම” කියල. සමහර වෙලාවට ඒ වගේ ඕනම දෙයක් ධනාත්මකව භාරගන්න එක අපේ ජීවිතේ දිහා වෙනස් විදියට බලන්න අපිට උදව්වක් වෙනවා.

හුදකලාව කියන කාරනාව දිහා අපි බලන විදිය, අපි හිතන විදිය අපේ ජීවිතේට ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා තනිවීම එහෙම නැත්තම් මේ හුදකලාව කියන දේ දිහාත් ධනාත්මකව බලන්න පොරොන්දු වෙමු. එහෙමත් බැරි නම් අඩුමගානෙ හුදකලාවට ශාප නොකර ඉමු!

2. ධනාත්මකව හිතන්න මනස පුරුදු කරමු

ජීවිතේ දිහා ධනාත්මකව බලන්න අපිට අපේ මනස පුරුදු කරන්න වෙනවා. නෙගටිව් දේවල් ඔලුවට එන එක වලක්වගන්න අමාරුයි. මුල්ම අවස්තාවෙදිම ප්‍රශ්නයක් දිහා පොසිටිව් විදියටම බලන්න අපට හරිම අමාරුයි. හැබැයි අපි ප්‍රශ්නයක් එන හැම අවස්තාවකම ඒ ප්‍රශ්නෙ භාරගන්නෙ නෙගටිව් විදියටමනම් අපිට ජීවිතේ ගොඩයන්න හරි අපහසුයි වගේම සන්තෝසෙන් ඉන්නත් අපහසුයි.

ඒ නිසාම තමයි අපි ධනාත්මකව හිතන්න අපේ මනස පුරුදු කරන්න ඕන. අපිට හිතෙන දේවල් අනුව තමයි නොදැනුවත්වම උනත් අපේ ජීවිතේ හැඩගැහෙන්නෙ. ඒ නිසා කිසිම වෙලාවක ඔයාගෙ මනසට ඉඩ දෙන්න එපා හිතුමනාපෙ ඔයාව කන්ට්‍රෝල් කරන්න. ඒ වෙනුවට ජීවිතේට එන හැමදෙයක් දිහාම ධනාත්මක විදියට බලන්න සහ භාරගන්න ඔයා ඔයාගෙ මනස පුරුදු පුහුණු කරන්න.

3. ඔයා සතුටු වෙන්නෙ මොනව කරොත් ද?

ඔයාගෙ හිතට සතුටක් දැනෙනව මොන වගේ දේවල් කරද්දිද කියන දේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා කල්පනා කරල බලන්න.

ඒ කල්පනාව් පිටිපස්සෙ ඔයාගෙ සතුටට හේතු වන කාරණා විදියට ඔයා දකින්නෙ ලොකු ගෙයක්, කාර් එකක් වගේ දේවල් නම් මේ තමයි හරිම කාලෙ ඔයාගෙ ජීවිතේ සතුටට පත් කරන කාරණා ගැන ආයෙ වතාවක් හිතල බලන්න.

අපේ මිනිස්සු කරන ගොඩක් ලොකු වරදක් තමයි අපේ සතුටට හේතු වන දේවල්වලට ද්‍රව්‍යමය වටිනකමක් දෙන එක. භෞතික වටිනකමක් දෙන එක. ඒ දේ නැතිඋන දවසට ඒ සතුට අහෝසි වන බව අපි අමතක කරනව. එහෙම නේද?

සතුට කියන්නෙ ගමනාන්තයක් නොවන බත්, එය ද්‍රව්‍යමය දේවල් මත රඳා නොපවතින බවත් තේරුම්ගත්තොතින් ඔයාට ජීවිතේ සතුටෙන් ඉන්නත් ධනාත්මකව භාරගන්නත් පහසු වෙනවා.

සතුට පිට තැන්වල හොයන්න එපා. සතුට තියෙන්නෙ ඔයා තුලමයි. ඒක තේරුම්ගන්න.

4. අරමුණක් ඇතුව ජීවත්වෙන්න

ජීවිතයට අරමුණක් තියෙන්න ඕන. හැමදවසකටම අරමුණක් තියෙන්න ඕන. එහෙම නැති උනොත් තමයි ඔයාට ජීවිතය එපා වෙන්නෙ සහ කම්මැලි වෙන්නෙ.

හැම උදයකම නැගිටිද්දි ඒ දවසට ඔයාට අරමුණක් තියෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට කියනවනෙ “ජීවිතේ එන හැටියකට මූණ දෙනව” කියල. එහෙම ජීවිතේට ඉබාගාතෙ යන්න ඉඩ දෙන්න එපා. ජීවිතයට තියෙන්න පුලුවන් ඒකාකාරී බවක්. ඒත් ඔයාගෙ අරමුණු අනුව ඒ ඒකාකාරීත්වය වෙනස්වීමම ජීවිතේ සතුටෙන් භාරගන්න ඔයාට පුලුවන්.

අපි දෙයක් කරන්නෙ ඇයි කියන දේට හැමතිස්සෙම හේතුවක් තියෙන්න ඕන. අනිත් අය කරන නිසා කිසිම දෙයක් කරන්න එපා. ජීවිතයට පැහැදිලි අරමුණක් තියාගන්න. ඒ අරමුණට යන්න හැම දවසක්ම ප්ලෑන් කරගන්න

5. පැමිණිලි කිරීම් අඩුවෙන්

“අපෝ මට මේක කරන්න බෑ, මං කොහොමද මෙච්චර දේවල් කරන්නෙ, ඇයි මටම මෙහෙම්ම වෙන්නෙ” වගේ පැමිණිලි කිරීම් ඔයාගෙ ජීවිතෙත් තියෙනම් අදම ඒ දේවල් වලට නැවතුමක් තියන්න. ඒ වෙනුවට ඔයාගෙ ජීවිතේට ලැබිල තියෙන දේවල් ගැන සතුටු වෙන්න. ඒව අගය කරන්න.

අනික් කෙනා සමග ඔයාව සංසන්දනය කිරීම නවත්තන්න. මුලු ජීවිත කාලෙම පැමිනිලි කර කර ඉන්න බලාපොරොත්තු වෙනවනම් මතක තියාගන්න එහෙම කරල ජීවිතේට සතුට ලඟාකරගන්න අපහසු බව. නෙගටිව් විදියටම නම් ඔයා හැමදේම භාරගන්නෙ පොසිටිව් දෙයක් ලැබෙයි කියල බලාපොරොත්තු තියාගන්න බැරි බව අමතක කරන්න එපා.

නීරසයි කියල දෙයක් ජීවිතේ නැහැ. ජීවිතේට එන ඕනම දෙයක් රස වෙන්නෙත් නීරස වෙන්නෙත් අපි ඒ දේ ලබාගන්න විදිය අනුව. ඉතින් ජීවිතේට ලැබෙන දේවල් ඔයා භාරගන්නෙ රසවත්වද, නීරසවද කියන දේ තීරණය කරන්න ඕන ඔයා.

ඒ තීරණය මත තමයි ඔයාගේ ජීවිතයට සතුටට බර වෙනවද දුකට බරවෙනවද, නෙගටිව් වෙනවද පොසිටිව් වෙනවද කියන දේ තීරනය වෙන්නෙ!

Related Articles

Don't Miss


Latest Articles