“උඹ දැන් රමිත් එක්ක කතා කරන්නෙත් නැද්ද??” කුමිල ඇහුවේ උදෑසන වැඩට යන අතරවාරයේය. විවාහය බිඳ වැටී මෙනුක යලි ඔස්ට්‍රේලියාව බලා ඇවිදින් දැන් මසක් ගත වී ඇතත් මෙනුක සහ රමිත් අතර පෙර තිබූ සබඳතාවය කෙසේ වෙතත් මිතුදමක්වත් නැති බව කුමිල ඇතුලු අනෙක් මිතුරු මිතුරියන් සියල්ලන්ම දැන උන්නහ. එයට හේතුව ද දැන උන්නද කල යුත්තේ කුමක් ද කියා පැහැදිලි අදහසක් කාටවත් තිබුනේ නැත.
“හිත හදන් කතා කරන්න පුලුවන් කමක් නෑනෙ” මෙනුක කියන්නේ ඕනෑවට එපාවටය. “උඹ එහෙම ඇහුවෙ ඌ ඇවිල්ල මොනව හරි කිව්වද?”
“දන්නවනෙ ඉතින්, ඌ ඇඟපතෙන් ලොකුවට පෙනුමට හිටියට හිතෙන් හෙන බොලඳ විදියට හිතන ඩයල් එකක් කියල”
“බොලඳ විදියට නෙවෙයි ඌ මහ තුට්ටු දෙකේ වැඩ කරන්නෙ. එහෙම නැත්තම් ඌ කවදාවත් මට මෙහෙම දෙයක් කරාවිද?”
“උඹ දැන් උගේ පිටේ සම්පූර්ණ වරද දාන්න හිතුවට ඇත්තටම උගෙ පැත්තෙන් ගත්තොත් ඌත් පව් නේද?”
“උඹ ඇයි එහෙම කිව්වෙ?”
“උඹම හිතපන්කො, උඹ ලංකාවෙ වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙකා ඉද්දි ඒකිව බඳින්නත් ඉද්දි උඹ මෙහෙ ඇවිල්ල ඌත් එක්ක නිදාගන්න ගත්තම ඌට දුක හිතෙන එක සාදාරණයිනෙ. ඌ කොල්ලෙක්නෙ කියල හිතල උඹ මේක සාදාරණීකරණය කරන්න එපා. එහෙම බැලුවොත් මචං දෙපැත්තටම ලොකුම බොරුව කරල තියෙන්නෙ උඹ”
කුමිල කියූ වදන් සහමුලින්ම ඇත්තක් බව දැන උන්නද මෙනුක උන්නේ ඒ වචන පිලිගන්න බලාපොරොත්තුවකින් නොවේ.අරුණලී ලංකාවේ සිටියදී තමා රමිත් සමග මෙහිදී එක කාමරයක කාලය ගෙවූ බව ඇත්තකි. එහෙත් ලාංකික කොල්ලන් දෙදෙනෙකුට කිසිම දවසක එකට ජීවත්වන්නට, විවාහ වෙන්නට ඉඩක් ලාංකික සමාජයෙන් නොලැබෙන බව තමා මෙන්ම රමිත් වුවත් පිලිගත යුතු නොවේද?
කුමිල මෙනුක සමග මෙසේ කතාකරමින් ඉද්දී රමිත් උන්නේ සැබෑවටම හිත රිද්දාගෙනය. රමිත් මෙනුක සමග ශාරීරිකව හැසිරෙන ඒ වීඩියෝව ගත්තේ මෙනුකට රහසෙනි. ඒ ඔහු කිසිසේත්ම අරුණලීව අමතක කරන්නේවත්, විවාහය අවලංගු කරන්නේ හෝ තමා සමග එක්ව ඉන්නට තිරණය කරන්නේත් නොමැති බව තේරුම් ගත් පසුවය. මුලින් අදහස තිබුනේ ඒ වීඩියෝව අරුණලී වෙත යවන බව පවසමින් මෙනුකව බිය වැද්දීම පමණක් වුවත් මෙනුක උන්නේ තමා එවන කෙටි පණිවිඩයකට හෝ පිලිතුරු නොදෙන තැනක බව තේරුම් ගැනීමම වීඩියෝව අරුණලී වෙත යවන්නට තමාට හේතුවක් වූ බව රමිත් නැවත නැවත සිතුවේය.
මෙනුක සහ රමිත් ජීවිතය විසින් දෙපා ඉදිරියට ගෙනවිත් තැබූ අවුල් වියවුල් මැද සිර වී හිඳිද්දී අරුණලී උන්නේ ඒ අවුල් වියවුල් එකින් එක ලෙහා දමමින් ජීවිතය හෙමින් සැරේ නිස්කලංක කරගන්නට උත්සහ දරමිනි. විවාහය අතරමැද බිඳ වැටීමෙන් පසුව අරුණලී නිවසින් එලියට බැස්සේ රැකියාව සඳහා යන්නට පමණකි. ඒද කිසිවෙකු පාරේ හිඳිනවාදැයි පරිස්සමෙන් බලා කිසිවෙකුත් නොමැති නම් පමණකි.
“කවද වෙනකම් ඔහොම මූණ හංග ගෙන ඉන්නද අක්කෙ?”
සඳලිනී එසේ ඇසුවේ සැම දිනකම උදෑසන අරුණලී කරනමේ හැංගිමුත්තන් සෙල්ලමෙන් පෙනුන අසරණ කම දරාගන්නට බැරිම තැනකය.
“මිනිස්සුන්ට හැමදේම අමතකවෙනකම් නංගි”
“මිනිස්සු ඕව අපි හිතනතරම් ඉක්මනටවත් ලේසියෙන්වත් අමතක කරන්නෙ නෑ අක්කෙ. අනික මිනිස්සු මොනව හිතුවත් අක්ක වරදක් කලේ නැති එකේ අක්කා ඔච්චර බයවෙන්න උවමනාවක් නෑ නේද?”
“මං වරදක් නොකලට මිනිස්සු එහෙම හිතන්නෙ නෑනෙ. වෙඩින් එක බ්රේක් උනේ බඳින්නකලින් උනාට මිනිස්සු හිතන්නෙ මම නිකන් ඩිවෝස් උනා කියල. ශ්‍රීනි නැන්දත් එහෙම කතානෙ කියන්නෙ. මිනිස්සු හිතන්නෙ මම මෙනුකව රවට්ටල ඒව අහුවෙල මෙනුක කසාදෙ කැඩුව කියලනෙ. කවද්ද නංගි මේ රටේ ගෑණියෙක් අසරණ උනාම තව ගෑණියෙක් ඒ ගෑණිවෙනුවෙන් කතා කරේ”
ඇඳුමෙන් පැලඳුමෙන්, හැඩ වැඩ කිරීමෙන් පෙර පුරුදු අක්කා පැමිණ උන් බව දකින්නට ලැබුනද අක්කා තාමත් ඉන්නේ හිතෙන් බය වී ලැජ්ජ වී බව සඳලිනීට තේරුම් ගන්න අපහසු නැත.
“ඒවයින් කමක් නෑ, අපි නෙක්ස්ට් වීක් යනව සීතාවක් බොටනිකල් ගාඩ්න්ස්. අක්කත් එන්නකො. අපේ කෙල්ලො ඔක්කොම යනවා”
“අනේ මට බෑ නංගි, කවුරුහරි දැක්කොත් හිතාවි මට වෙච්ච දේවල් කිසිම ගාණක් නෑ කියල. අනික මට ඇත්තටම මූඩ් එකක් නෑ නංගි යන්න. ඔයාගෙ යාලුවො උනත් දන්නවනෙ මම මැරි කරන්න ඉඳියෙ කියල. ඒ මිනිස්සු මං දිහා නිකන් බැලුවත් මට අන්තිමේ අප්සෙට් යාවි. ඒ නිසා ඔයාලා යන්න”
අරුණලී එසේ කියා කාමරයෙන් එලියට ආවේ කාර්යාලය කරා යන්නට වාහනයට නගින්නට සිතාගෙනය. කිසිවෙකුත් දකින්නට පෙර වාහනයට නැග ගන්නට පුලුවන් වුවද ජීවිතය මෙයාකාරයෙන් වෙනස් කරන්නට සමත් වූ අතීතය මෙලෙස තනිවන නිමේශයක අරුණලීව කිසිසේත්ම තනිකලේ නැත. සියුම් කටුවකින් හදවත හූරමින් ඉරි අඳින්නක් මෙන් ඒ වේදනාව නැවත නැවත අලුත් වෙමින් අරුණලීව දවාලන්නට වූවාය.
කලු වලාකුලු අස්සේද රිදීඉරි ඇති බව පවසමින් කෙස් ශැම්පු බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් අරුණලී නමෝ විත්තියෙන් කල කැම්පේන් පිච් එක සේවාදායකයාගේ හිත ඉහලින්ම දිනාගෙන තිබුනි. මුහුණින් මහ ලොකුවට නොපෙන්වුවද කිමල් වීරවර්ධන උන්නේ සතුටකිනි. මෙය යැයි කියා වචනයෙන් කියන්නට නොහැකි තමන්ගේ කමකින් අරුණලී ගැන සිතමින්, ඒ නිසාවෙන්ම නිහතමානීව ඇය ගැන ආඩම්බර වෙමිනි.
අරුණලීගේ හිතට මෙය සතුටක් ගෙන දුන්නද ඉස්සර දවසක වූවානම් මේ සතුට මුලින්ම බෙදා හදාගන්නේ මෙනුක සමග බව අරුණලීට අමතක නැත. අද මෙනුකගේ සෙවණැල්ලක්වත් තමා ලඟ නැත. අම්මා සහ තාත්තාට මෙවන් වෘත්තියමය ජයග්‍රහණ ගැන ලොකුවට අදහසක් නැති එකේ ඔවුන්ට මේ බව කීම තේරුමක් නැති දෙයකි.
තමා ඇතුලු සමස්ත ඩිජිටල්.මාකටින් කණ්ඩායමම මේ ගැන සන්තෝසයෙන් උන්නද මද සිනාවකින් හැඩවුණු අරුණලීගේ මුහුන යට කුමක් හෝ තේරුම් කරවන්නට අපහසු වේදනාවක් ජායාවක් ඇති බව කිමල් නොදැක්කා නොවේ. එහෙත් ඒ බව ඇයගෙන් අසා විමසිය හැකිද?
“දැන් එහෙනං ඔන්න අද ට්‍රීට් එක අරුණලී ගානෙලු”
කේශිනී පැවසුවේ අරුණලීගේ කරට අත දමා ඇයව බදා වැලඳගනිමින් සතුට ප්‍රකාශ කරමිනි.
“හරි හරි හවසට මොනව හරි ගෙනත් දෙන්නම්කො”
අරුණලී අපහසුවෙන් මෙන් සිනාව විසල් කරගනිමින් කේශිනී වෙත නැඹුරු වී කිව්වාය.
“අහ් මේ මේ එහෙම මේ ඔය පොඩි පොඩි කේක් පාටි දාල හරියන්නෙ නෑ සුදෝ මෙහේ. අපි ඇචීව්මන්ට්ස් සෙලිබ්රේට් කරන්නෙ අපේම විදියට එහෙම නේද?” කියා කේශිනී සෙසු මිතුරු මිතුරියන් වෙත හැරී බල කියමින් ඇසක් ගැසුවාය. ඩිජිටල් මාකටින් අංශයේ ක්‍රියේටිව් ටීම් එකේ සියල්ලන්ම එය භාරගත්තේ හුරේ හඬක් දමමිනි.
“අපි සෙලිබ්රේට් කරන්නෙ නංගි වෙනම විදියට. හවසට කියන්නකො. වැඩි සල්ලි ඕන නෑ. පොඩි ගාණක් තිබ්බ නම් ඇති” කියමින් සිනාසෙමින් තමන්ගේ වැඩ මේසය වෙත කට්ටියම කට්ටිය ඇවිද යද්දී කිමල් තමන්ගේ කුටිය වෙත ගියේ අරුණලීට එහි එන්න යැයි පවසමිනි.
කිමල් වීරවර්ධන ගැන මේ වෙනතුරුත් අරුණලීගේ හිතේ තියෙන්නේ බියක් මුසු හැඟීමකි. කාර්යාලයේ අන් සියල්ලන් සමගම හොඳින් හිනා වී කතා බහ කරන මේ මිනිසා තමාට අරුම පුදුම නපුරුකමකින් සලකන්නේ ඇයිද කියා කොතෙක් සිතුවද එයට උත්තරය සොයාගන්න හැකියාවක් අරුණලීට තිබුනේ නැත.
“පලවෙනි පිච් එකම ගොඩ දාගත්ත එකම ලොකු දෙයක් තමයි. හැබැයි ඉතින් ඒකෙන් උඩ යන්න හිතන්න එපා ඔයිට වඩා වැඩ්ඩො හිටිය මෙහෙ, අන්තිමේ පස්සෙ පස්සෙ මෙලෝ දෙයක් කරගන්න බැරි උනා. ඒ නිසා ඉස්සරහ වැඩ ටිකත් ශේප් එකේ කරගෙන යන්න”
වෙනදා තරම්ම ඒ වදන් බැණුමට බර නොවුවද එහි තිබුනේ සුපුරුදු සමච්චල්සහගත හැඟීම බව අරුණලී ඇඳිනුවාය.
“තැන්ක්යු ෆො යුවර් ගයිඩන්ස් සර්”
ඒ වචන එක්කහු කරගත්තේ අපහසුවෙන් වුව ඒ වදන් ත්මා කිමල් වෙනුවෙන් වැය කල යුතු බවම අරුණලී සිතුවාය. මොන දේ උනත් මේ පලවෙනි කැම්පේන් එකම සාර්තක කරගන්නට කිමල්ගෙන් ලැබුන ගුරුහරුකම් උපයෝගී වූ බව අමතක කරන්නට නොහැක.
“මම ඔයාට තව කැම්පේන්ස් දෙකක් භාරදෙන්න ඉන්නෙ. ඔයා කැමති බියුටි කැටගරි එකේ ඒවම හැන්ඩ්ල් කරන්නද එහෙම නැත්තම් මම හොඳ ඒව ටිකක් බලල දෙන්නද?”
“සර් බලල දෙන්න සර්”
“ඕකේ නව් යූ කැන් ලීව්”
“තැන්ක්යු සර්”
අරුණලී ආපසු හැරී කිමල්ගේ මේසය අසල හිඳ දොර දෙසට හැරී ආවද ඒ එන්නට ලැබුනේ අඩි දෙක තුනක් පමණි.
“අරුණලී”
කිමල් ගේ කටහඬ ඇවිත් සවන් පත් මත තැවරුණි. අරුණලී හැරුනේ සෙමිනි. කිමල්ට දැනුනේ ඒ මොහොත චිත්‍රපටයක ස්ලෝ මෝශන් මෝමන්ට් එකක් මෙනි. වායු සමීකරණයෙන් ආ සුලඟ කාමරය ඇතුලේ මවා තිබුනේ සිහිලසකි ඒ සිහිලස චිත්‍රපටයක ස්ලෝ මෝශන් මෝමන්ට් එකකට අපූරුවට ගැලපෙන බව සිතෙද්දීම අරුණලී ආ පසු හැරී තමා දෙසම බලා හිඳින්නේ තමන් ඇයට කතා කල නිසා බව කිමල්ට හදිසියේම මතක් වුනි.
“සර්?” ඇය බලා ඉන්නේ ඒ ප්රශ්නය දෙනෙත් මතත් දෙතොල් මතත් ලියා ගෙනය.
“ම්ම් නෑ, මුකුත් නෑ, යූ කැන් ලීව්”