ලෝකය මතින් විවිධ ඍතු ගෙවී යන්නේ ය. කුණාටු, සුළි සුළං, ටර්නාඩෝ, සුනාමි සේ ම කටුක ඉඩෝර ද සාගත හා වසංගත ද පැමිණෙන්නේ ය. යම් කිසි කාලයක් දරුණු පීඩා සිදු කරනා නමුදු, වසන්තයකට සේ ම කුණාටුවකට ද එක තැන නතර වී සිටිත නො හැකි ය. පැමිණියහොත් ඒවා යළි නික්ම යා යුතු ම ය. ආවොත් නොයා සිටිය නො හැකි ය. ඉතින් සාගත වසංගත ඉඩෝර හෝ දීර්ඝ ශිශිරයන්හි දී ද නො නැසී පැවතීම වඳ වී නො යන ජීවියෙකුගේ වැදගත් ම ලක්ෂණයයි. ජීවිතය අභියසට පැමිණෙන කවර තත්වයක් යටතේ වී ද විනාශ නොවී අල්වා ගෙන සිටීම මගින් විශ්වීය පැවැත්මක් උදා වේ.
රන්මුතු ද දිවාකර ද උදාරි ද එසේ ජීවිතයේ දුෂ්කර ම සමයන්හිදී අත් නො හැර ජීවිතය අල්වාගෙන සිටි අයයි. ඔවුන් ගේ දරුවන් වන සමනල් හා තඹරු ද ඒ අල්වාගෙන සිටීම අත්දැකීමෙන් ම උර ගා බැලූ අයයි.
කුණාටු වුව හමා ගිය පසු ලෝකය යළි සන්සුන් වන්නේ ය. සාමකාමී වන්නේ ය. හැඩි වූ සුන් බුන් ඉවත් කොට අස් පස් කොට ගත් විට, තිබුණාටත් වඩා ලස්සනට මල් පිපෙනා වසන්ත සමයකට දොර විවර වන්නේ ය. පරණ කැඩුම් බිඳුම් රිදුම් තුවාල කබොළු වල සලකුණු අතීතය තුළ තිබුණේ වී ද ජීවිත උයන්තෙර මල් පාත්ති දමා මල් පිපෙන වසන්තය දීර්ඝ කර ගැනීම ගැන මතු බලාපොරොත්තු තබාගත හැකි වන්නේ ය. හුඟක් දුක් වින්දාට පස්සේ නිවී සැනසිල්ලේ ගිමන් නිවනා ජීවිතයක් හැම මිනිසෙකුට ම උරුම විය යුතු ය!
උදාරි තව දුරටත් නේවාසික රෝගියෙකු වූයේ නැත. මානසික ප්‍රතිකාර වලින් ඇගේ මානසික මට්ටම නිරවුල් කිරීමෙන් පසු ඇය ඉතා ඉක්මනින් ප්‍රීතිමත් ගැහැනියක වන්නට වූවා ය. විශේෂයෙන් ම ඇතෙක් වගේ තනි මංසල බයක් නැතිව යා හැකි, කොතක් වගේ සතර දිගට පෙනෙනා පුත් කුමරෙකු ගේ මව් පදවිය ලැබීම තරම් ජීවිතයේ දී ලද හැකි වෙනත් උසස් තනතුරක් ස්ත්‍රියකට නැත. දශකයක් ඉක්ම ගිය කාලයකට පසු දෛවය නැවත ඒ අවස්ථාව ඇය වෙත උදා කොට දී තිබේ.
දිවාකර ට අහිමි වී තිබුණේ ඇවිද ගැනීමේ හැකියාව පමණක් ම නොවේ. දිවාකර ප්‍රකාශන අයතනයත් එක්ක ම ඔහු ගේ ආත්ම අභිමානය ද දෙපා මුල බිඳ වැටී අළු දූවිලි වී ගොස් තිබිණ. නමුත් සමනල් දිවයුරු රණසිංහ විසින් ඒ අභිමානය නැවත ද ඔටුන්නක් සේ ඔහු ගේ හිස මත පැළඳවූයේ ය.
සිය පුරුෂයා දෙපා අවසඟව යහනකට සීමා වී ද නො සැලී ඔහු ජීවත් කළ හැකි ස්ත්‍රියක බව රන්මුතු විසින් ඔප්පු කොට පෙන්වා බෝ කල් ය. නමුත් දිවාකර යළි දෙපයින් සිට ගනිත්දීත්, අහිමි කොට දමනා ලද සියල්ල නැවත ඔහු ට හිමි වෙත්දීත් ඇය තරම් සතුටු වූ ගැහැනියක නොවේ. අන් කිසිත් නොව ඔහු තමන් ගැන කලකිරීමකින් තොර ව අභිමානයෙන් යුතුව ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමනු දකින්නට ලැබීම ඇයට මහමෙරක් අගනේ ය. ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි මෝටර් රියක් ගේ ඉදිරියේ නතර වී, සැමියාත් දියණියත් එහි නැගී නික්ම යනු බලා සිටින එක තරම් ප්‍රීතිමත් දසුනක් මෑත කාලයේ ඇගේ ජීවිතයේ තිබී ම නැත.
මාස කිහිපයකට පසු ඩිලන් රණසිංහ කෝමා තත්වයෙන් මිදුණේ ය. එය කිසිවෙකු බලාපොරොත්තු නොවූ තත්වයක් කීවොත් අතිශයෝක්තියක් නොවේ. සමනල් වුව සිතුවේ මේ පියාගේ දිවියෙහි අවසන් දින කිහිපය වනු ඇති බවයි. සිහි ලැබුව ද, අනතුරින් ඩිලන් රණසිංහ ගේ මධ්‍ය ස්නායු පද්ධතියේ චාලක ප්‍රදේශයට සිදු ව ඇති හානිය හේතුවෙන් ඔහු ට කිසි දා දෙපයින් සිටගත නො හැකි වනු ඇති බව වෛද්‍ය නිගමනය විය. ඔහු ව ගෙදර ගෙන යාම සඳහා රෝහලෙන් නිදහස් කළ ද වසර ගණනාවක් ඩිලන් සමගින් ජීවිතය බෙදාගත් ගයාත්‍රි ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත. ඒ අනුව ඩිලන් ට යන්නට වූයේ ඔහු ගේ ගෙදරට, නීත්‍යාකූල බිරිඳ හා සමනල් වෙතට ය. ඩිලන් ට සිහිය තිබිණ. ඔහු ට සිය අතීතයේ හැම අහු මුල්ලක් ම ඉතා හොඳින් මතක තිබිණ. අතීතයේ දී නො මැරෙන මිනිසෙකු ලෙස කළ සියලු නොපනත්කම් රාක්ෂයින් සේ දත් විලිස්සාගෙන ඔහු ඉදිරියේ පෙනී සිටින්නට විය. ඔහු ට නින්දක් ලබන්නට හැකි වූයේ නැත. යන්තම් ඇහැ පියවීගෙන ආව ද ගැස්සී කෑගසාගෙන අවදි විය. උදාරි සාත්තු සේවිකාවක සේ සැමියා ගේ උවටැන් කළා ය. ඔහු බලාකියා ගත්තා ය. ඩිලන් ට ඇය අමතක ව තිබුණා නොවේ. නමුත් ඔහු හැසිරුණේ ඇය නොදන්නා කෙනෙකු සේ ය. ඔහු කතා කරනා වචන ප්‍රමාණය ඉතා සීමිත විය. නමුත් හිත හැම මොහොතක ම යකා ගේ කම්මළ සේ ඝෝෂාකාරී වූයේ ය. ඩිලන් හැම මොහොතක ම ජීවිතය විඳවූයේ ය. ක්‍රමයෙන් ඔහු තනිව දොඩවනා තත්වයකට පත් විය. ස්නායු පද්ධතියට සිදුව ඇති හානි හා ස්නායු සෛල මිය යාම මත ඔහු ගේ මතකය ද ක්‍රමයෙන් ගිලිහී යන බවක් පෙනෙන්නට තිබිණ. පස්සෙ පස්සේ ඩිලන් දෙඩවූයේ අතීතයේ ඔහු ගේ ජීවිතයට සම්බන්ධ දේවල් පමණකි. වර්තමානය ඔහුගෙන් ගිලිහී ගියේ ය. ඒ සියල්ල සිදු වන්නට මහ කාලයක් ගත වූයේ නැත. ටික කාලයක් අසීමිත ව ලෙඩ ඇඳේ දුක් විඳ, එක අළුයමක ඔහු අවසන් සුසුම් හෙළුවේ ය.
“කොච්චර කාලයක්හරි එයාව බලාගෙන හැම දේම කරන්න මට පුළුවං. ඒත් තාත්ත ඒ තරං විඳවනව බලන්න බෑ පුතේ. එච්චර ජීවිතේ විඳවන්න එයා පව් කරල තිබුණ වුණත්…තාත්ත ඒ දුකෙන් නිදහස් වුණ එක හොඳයි”
ඇස් වලින් කඳුළු වැගිරෙත්දී උදාරි සන්සුන් ලෙස සමනල් ට කීවා ය. අවසන් කටයුතු ඉතා සරල ලෙස නිහඬ ව සිදු විය. තුන් මාසේ දානයෙන් පසු සමනල් තඹරු එක්ක අපාට්මන්ට් එකක ගෙයක් බලන්නට ගියේ ය. එය සියලු නවීන පහසුකම් වලින් සමන්විත සරල නිවස්නයකි. තමන් හොයනා සැනසීම දැනට එහි වන බවක් සමනල් ට දැනිණ.
“ඔයා මේකට කැමතිද…”
තඹරු ගේ උරහිස් දෙක මත දෑත් රඳවාගෙන ඇගේ මූණට එබී ඔහු විචාලේ ය.
“ඇයි මේ හදිස්සියෙ මෙහෙම තැනක් බලන්න ආවෙ…”
“මට හරි මහන්සියි තඹරු”
ඒ වෙහෙස ඔහු ගේ ඇස් මත මැනවින් සනිටුහන් ව තිබිණ.
“මටත්”
ඈ ඔහු ගේ උරහිසත් පපුවත් අතරේ හිස තියා ගත්තා ය. සැබවින් ගෙවී ගිය කාලය පහසු නැත. ළමා වියෙන් පසු, නව යොවුන් වියේ සිට ම ඇය බැරි අසීරුවක් දරා සිටියා ය. මෑත වසරක කාලය ඊටත් වඩා මානසික වශයෙන් අසීරු විය. නමුත් ඕ අත් නො හැර අල්ලාගෙන ම සිටියා ය. දැන් අත්හැරීමක් අවශ්‍ය ය. අත්හැර නිදහසේ ඔහේ සිටින්නට අවශ්‍ය ය.
“ඒ ගෙදර ඉන්න බෑ තඹරු. අවුරුදු දහයකට වැඩිය අම්මට හිර ගෙදර වුණ ඒ ගෙදර…තාත්ත අන්තිම හුස්ම හෙළපු ඒ ගෙදර..මන්ද මට ඒ ගෙදර ඉද්දි හිතට කිසි සැනසීමක් නෑ. ඒක විකුණල දානව. අපි මේක ගමුද…දැනට…තවත් කාලෙ නාස්ති කරන්නැතුව මට ඔයා ළඟින් ජීවිතේ පටන්ගන්න ඕන කියල හිතෙනව තඹරු. මේ තනිකම හරි අමාරුයි. දැන් අම්ම ඉන්නව තමයි. අම්මව හොඳට බලාගන්නව. ඒක මං මටම වෙන පොරොන්දුවක්. එයා ගොඩක් දුක්විඳපු ගෑනියෙක් කියල ඔයා දන්නවනෙ. තමන්ගෙම ගෙදර හිරකාරියක් වුණ ගෑනියෙක්. ජීවිතේට ලොකු වෙනසක් ඕන කියල හිතෙනව තඹරු. උදේට නැගිටිනකොට ඇඳේ පැත්තකින් ඔයා ඉන්නවනං කියල හිතෙනව. මං දන්නව කොහොමත් ජීවිතේ පැත්තකින් ඔයා ඉන්නව කියන එක…”
තඹරු ගේ අතැඟිලි වලට සමනල් ගේ කමිසයේ බොත්තමක් හසු විය. නො පියවූ බොත්තම් අතරින් රදතර තබා ඒ පපුව සිපගන්නා ගමන් ඇය දෑතින් ම ඔහු ගේ ගෙලෙහි එල්ලුණා ය.
“මටත් දැන් ඇති. ඔයා ළඟට එන්න ඕන. ඔයා ළඟින් ඉන්න ඕන”
ඔහු දෑතින් ම ඈ වැළඳ ගත්තේ ය.
“දැනට මේක ගමු. පස්සෙ ඔයා වෙනුවෙන් ලස්සන ගෙයක් හදන්නං. ගෙවල් හදල ඔයාව ගේන්න තරං කල් බලං ඉන්න බෑ වගේ දැං”
ඒ වූ කලී ලස්සන එකඟතාවයකි. ඔවුන් යළි මෝටර් රථය වෙත පැමිණියේ තෝරාගන්නා සීමිත ගෘහ භාණ්ඩ ටික ස්ථානගත කරනා තැන් ගැන පවා කතා කරගෙන ය.
“මේක හරි ලස්සන ගමනක් වගේ පෙනුනට එච්චර ලස්සනවත් එච්චර ලේසිවත් නෑ කියල අපි දන්නවනෙ..නේ…”
පහළට එත්දී විදුලි සෝපානයේ දී ඔහු ඇසුවේ ය. දෙතොල් තෙරපා සිනහ වෙන ගමන් හිස සලා ඕ සමනල් ගේ අතක එල්ලුණා ය.
“අපි පුළුවන් තරං වරද්දගන්නැතුව ඉමු…අමාරුවෙන් දිනන දේවල් තමයි වටින්නෙ…”
“මං ඔයාව දිනාගත්තෙ කොච්චර අමාරුවෙන්ද කියල දෙයියොවත් දන්නෑ”
කම්මුලක් ඔහු ගේ අත් ගොබයට තද කොට තඹරු කිකිණි සිනහවක් පෑවා ය. සමනල් ගේ ඇස් වල වූයේ වචන කොට කියන්නට ඔහු කිසි දා නො දන්නා ආදරයකි.
ට්‍රම්පට් හඬක් ඇසෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා ම රියට නැගීම මඳක් පමා කරමින්, ඉදිරියට ඇදමින් තිබූ ට්‍රක් රථය දෙස බැලූහ. ඒ හඬ ඔවුන් දෙදෙනා ම වසර දෙකකින් අතීතය දෙසට විසි කොට දමන්නට සමත් විය. වසර දෙකක් ඉක්ම ගොස් තිබේ. ඒ සිදුවීම් සිනමා පටයක රූප රාමු සේ හරි ඉක්මනින් හිතේ පෙළගැසෙන්නට විය. තඹරු ගේ තොල් කොනක් සිනහවකට ඇද වීගෙන ආවේ ය. සමනල් ඇගේ මුහුණ දෙස ම බලා සිටියේ ය.
“තඹරූ…”
අතීතයෙන් නොවේ. ඒ හඬ නැගී ආවේ ඔවුන් ට පේන මානයේ වන මිග් මැච් පැරේඩ් ගිය ට්‍රක් රථයෙනි. තඹරු ඒ රිය හැඳින්නා ය.
“ඔයාගෙ ජිප් එක නේද…”
ඇගේ දෑස් පවා සිනහ වන්නට විය.
“ඒකට යනවට වැඩිය ඔයත් එක්ක මේකට එන එක වැදගත්නෙ. බිග්මැච් ෆීවර් මේ ටිකේම තියනවනෙ”
“ඒයි බිම්තඹරූ…කොහොමහරි කොල්ලගෙ නහය විදල ලණුව දාගත්ත නේද…”
කොල්ලෙකු කෑගැසුවේ ය. ඇගේ මුහුණේ ආඩම්බර මඳහසක් රැලිති නැගුවේ ය. කොල්ලන් රෑන රියෙන් බිමට පැනගති. තඹරු සමනල් ගේ උරහිසට මුවහ වූවා ය. ඔහු යන්තමින් ඇගේ ඇඟිලි තුඩු අල්වා ගත්තේ ය.
“එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක රෑනේ උපන් ලෙසේ කළ ආරක්ෂා…නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා…”
ට්‍රම්පට් සංගීතය සමග කොල්ලෝ ගයන්නට වූහ. ඔවුන් එතැනින් නික්ම ගියේ සමනල්ටත් තඹරුටත් ලොකු වදයක් දීමෙන් පස්සේ ය.
සමනල් ගෙන් සමුගෙන ගෙදර ගිය ඉක්බිති ද තඹරු ගේ දෙඅදර අද්දර මඳහස සරැලි නැගුවේ ය. රෑ හඳපානේ ඈ කේක් ඇන්ඩ් කොෆී මිදුලේ ප්ලාස්ටික් පුටුවක හිඳ කහ මාර ගස දෙස බලා සිටියදී රන්මුතු ඈ වෙත ආවා ය.
“කවදහරි මේ මාරගහ කැපුවොත්නං අම්මි…මට පිස්සු හැදෙයි. පාරට කහ මල් වැටිච්ච මේ සීනරි එක මගෙ මතක වල ගැඹුරුම තැනක ඇඳිල තියන එකක්”
රන්මුතු ලොකු හුස්මක් ගනිමින් දියණිය ආසන්නයේ අසුන් ගත්තා ය.
“ඉතින්…මොකද වෙන්නෙ බබූ…සමනල් මොකද කියන්නෙ…”
අම්මාට දිවැස් තිබෙනා බව තඹරු නො දන්නවා නොවේ. අම්මාගෙන් වහන් වී කවදාවත් ඇයට හුස්මක් හෝ ගත හැකි වූයේ නැත.
“එයාට මහන්සිලු. හරි තනියිලු. අපාට්මන්ට් එකක් බලන්න ගියා. ඉක්මනට අපි මැරි කරමුද ඇහුව”
“හ්ම්”
“මට ඕගොල්ලො නැතුව ඉන්න හරි අමාරුයි. එයා කිව්ව ටික දවසක් දෙන්නලු. අපි ඔක්කෝටම ඉන්න ලොකු ගෙයක් හදනවලු”
“ඒව පස්සෙ බැරියෑ. වැදගත්ම දේ ඔය දෙන්න එක තැනක එක ජීවිතයක් පටන් ගන්න එක. බබූ දන්නව හැමදේම. අම්මි මුකුත් අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ. බබූ…පවුල කියන්නෙ ලෝකෙ තියන වටිනම දේ. අනිත් හැමදේම තියෙන්නෙ ඊට පිටින්. ඒක නිසා පවුල ආරක්ෂා කරගෙන හැමදේම කරන්න ඕන කියල මතක තියාගන්න”
“අම්මි හැම මොහොතෙම මාත් එක්ක ඉන්නව කියල මං දන්නවනෙ”
“කවදහරි අම්මිට ඕගොල්ලො ළඟ ඉන්න බැරි කාලෙක වුණත්…අම්මිගෙ ජීවිතෙන් ඉගෙනගත්ත දේවල් ඔයාගෙ පපුවෙ තියාගන්න. ඔයාට වරදින්නෑ බබූ…”
“අම්…මි…”
තඹරු රන්මුතු වටා දෑත් යවා ඇයට තුරුලු වූවා ය. සතුටත් දුකත් එකට මුහු වූ විට මැවෙන්නේ වෙනම ම මිහිරකි. කාපට් පාරට කහ මල් වැටී මැවුණු මල් පලස පින්තූරයක් සේ නො සැලී තිබේ. හෙට අනිද්දා මල් වැරුවත් යළි කහ මාර ගස සොයා වසන්තය එන්නේ ම ය!
-සමාප්තයි..මෙතෙක් ඔබ දුන් ආදරයට ද සහයෝගයට ද ස්තූතියි!