ආතුරයන් මැද ආදරෙන් 24

“අපි අතුරුදහන් වුනේවත්.. පැනලා ගියෙවත් නැහැ ආන්ටි…අනික තාත්තා මොකටද හැමෝත් එක්කම කියලා මම ගැන ඇඬුවේ..තාත්ති දන්නවනේ අපි කොහෙද ගියේ කියලා…තාත්තිමනේ කිව්වේ අපිට යන්න කියලා… ආන්ටි කීයටවත් හිතනවද එදා රෑ මට ආපහු නවසීලන්තයට යන්න ෆ්ලයිට් එක තියෙනකොට .. මම කාත් එක්ක හරි පැනලා යයි කියලා…එච්චර නැරෝමයින්ඩ් කෙනෙක් හැටියටද ආන්ටි  මාව දකින්නේ…. ආන්ටි සිල් ගන්න ගිය දවසේ උදේ තාත්තා  හිටියෙ හරිම කලබල වෙලා.අර කවුද හමුදාවේ ලොක්කෙක් කෝල් කරලා කියලා තිබුණා මාව මරන්න ඕඩර් එකක් ඇවිල්ල තියෙනවා කියලා.අඩුම තරමේ මට ආන්ටිට කියන්නවත් වෙලාවක් දුන්නේ නෑ..
මහා පුදුම කලබලයකින් මාවයි ජාදුවයි මාතලේ පැත්තෙ දුර බංගලාවකට පිටත් කරලා ඇරියේ.
අපිට ෆෝන් එකක්වත් ගෙනියන්න දුන්නේ නෑ ඒ වල තියෙන සිග්නල් වලින් අපිව හොයාගනි කියලා. ඡන්දෙ ඉවර වෙච්ච ගමන් තාත්ති  එනවා කිව්වා අපිව ගෙනියන්න.. ඒ ආපු ගමන්ම මාව නවසිලන්තයට අරිනවා කියලා කිව්වා..  තාත්ති ගෙ ඡන්ද වැඩත් එක්ක මගේ ආරක්ෂාව ගැන හොයලා බලන එක මදි පාඩුවක් වෙයි කියලා තාත්තිට බය හිතෙනවා කිව්වා .ඒ හින්ද ඡන්ද කලබල ඉවර වෙනකන් අපි දෙන්නට ඒ ආරක්ෂිත තැන හැංගිලා ඉන්න කියලා තාත්තිම තමයි කිව්වේ.”..

වර්ණාසි  කතා කළේ ඇස් දෙක පියාගෙනමයි. මහා පඹ ගාලක හතර අතින් පැටලිලා ඉන්න බවක් වර්ණනාසිට තේරුණා .ඒ විදිහම හැඟීමක් නර්මදාටත් දැනුනා.ඇස් මද එළියට එන තරම් ලොකු වුනු ඇස් දෙකෙන් නර්මදා වර්ණාසි   දිහා බලාගෙන උන්නා. මේ ඇහුණු කතාවයි පහුගිය ටිකේ තිබුණු කතාවලයි පරස්පරය නර්මදාට ගලපගන්න බැරි වුණා.

“ආන්ටි  අද දිනේ මොකක්ද..”

” පෙරේදානේ පුතේ ඡන්දෙ තිබුණේ.. අද සැප්තැම්බර් දහ අට… අනේ පුතේ මට මේ මුකුත් හිතාගන්න බෑනෙ..හරියට හීනයක් වගේ.. කේසර හැමෝටම කිව්වේ එයාගේ ළඟම ආරක්ෂකයා වෙච්ච පණ වගේ විශ්වාස කරපු ජාදු  කියන පුද්ගලයා එයාව විනාශ කරන්න හිතාගෙන එයාගේ දුවව පැහැරගෙන ගියයි කියලනේ”

” ආන්ටී… වට්”…

“අනේ පුතේ.. තාත්තා කියලා එයා වැරැද්දක් කරනවා නම් මට එයාව හොඳ කරන්න කිසිම උවමනාවක් නැහැ.ඔයා මේ කියන්නේ ඇත්ත නම් අනේ මට හිතාගන්න බෑ නේ..
කේසර මාත් එක්ක කිව්වේ සමහර වෙලාවට ඔයයි ජාදුයි අතර එෆෙයා එකක් තියෙන්න ඇති.ඒ හින්ද ඔයාලා දෙන්නා පැනලා ගියාද දන්නෙත් නෑ..ඒත් මාධ්‍යට එහෙම කියන්න බැරි හින්දා දේශපාලන කුමන්ත්‍රණයකට ජාදු ඔයාව පැහැරගෙන ගියා කියලා කියන්න වෙනවා කියලා තමයි කිව්වේ..”

වර්ණාසි උඩ බිම බැලුවේ මේ මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් පීඩනයකින්.

“සමහරවිට පුතේ… ඕගොල්ලන්ට ෆෝන් අරවා මේවා ගෙනියන්න එපා කියලා කිව්වෙත් මට හිතෙන විදියට මේක විශාල ප්ලෑන් එකක්.චන්දෙ පහු වෙනකම් ඕගොල්ලන්ව සම්පූර්ණයෙන්ම මාධ්‍යයෙන් ඈත් කරලා තියන්න තමයි කේසරට වුවමනා වෙලා තියෙන්නේ…මං කියන්නද වැඩක්.ඔයා මගේ ෆෝන් එක ගන්න.ඒකෙන් පහුගිය ප්‍රවෘත්ති විස්තර ඔක්කොම බලන්න.එතකොට ඔයාට තේරෙයි මොකක්ද වෙලා තියෙන්නේ කියලා..”

නර්මදා වෙව්ලන කටහඬින් කියද්දී නර්මදාගේ අතේ තිබුණු ජංගම දුරකථනය වර්ණාසි අරගත්තා.වර්ණාසිලා ගිය දවසේ හවස ඉඳන් ප්‍රවෘත්තිවල පිරිලා ඉතිරිලා ගිහින් තිබුණේ වර්ණාසිගේ පැහැරගැනීම ගැනයි.හිතා ගන්න බැරි පුදුමාකාර මායාවකට අහුවුණු වර්ණාසි එකින් එකට ප්‍රවෘත්ති දිග අරිමින් බලන්න ගත්තා.

#ජනාධිපති අපේක්ෂක කේසර රණබාහු  හිටපු වරාය ඇමැතිතුමාගේ දියණිය ජාදු නැමැති පෞද්ගලික ආරක්ෂකයා පැහැරගෙන යයි.#

අද උදෑසන සිට ඔවුන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවත්, දුටු අයෙක් වේ නම් වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් එම මහතා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියි…

සෑම පැය භාගයකටම සැරයක් විකාශනය වන  ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තිබුණා.

අනෙකුත් පක්ෂවල ජනාධිපති අපේක්ෂකවරුන්,  හිටපු ජනාධිපතිවරුන්
හිටපු ඇමතිවරුන්
වෙන්න ඉන්න ඇමතිවරුන් … කේසරව වැළඳ ගනිමින් දුක බෙදාගන්න රූප වීඩියෝ පට  ප්‍රවෘත්තිවල  පිරී ඉතිරී තිබුණා.උදෑසන ප්‍රවෘත්ති පත්‍ර කියවන වැඩසටහන්වල විනාඩි දහය පහළොව වෙන් කරලා තිබුණේ මේ පැහැර ගැනීම ගැන කියන්නයි. වර්ණාසි හීනෙන්වත් නොහිතපු අලුත් අලුත් දේවල් එකතු කරලා වැඩසටහන විකාශනය වුණා.

දරු දුකින් වැළපෙන  ජනාධිපති අපේක්ෂක   කේසර රණබාහු මහතා මැතිවරණ වේදිකාවක ඉකි ගගහ අඬන්න ගත්තේ පටන් ගත්තු කතාව ඉවර කරගන්නත් බැරුව.

“මං  ජනාධිපති වුනොත් කිසිම දරුවෙකුට මෙවන් අපරාධයක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ. මෙවැනි අපරාධකරුවන් සියලු දෙනාටම දඩුවම්  දෙන්න මම බය වෙන්නෙත්  නැහැ.”

කේසර කඳුළු සලමින් වේදිකාවක කියයි. විවිධ හැඩයේ ඡායාරූප යටින් තිබුණු  මාතෘකා වර්ණාසි කියෙව්වා.

වර්ණාසි දියණිය වෙනුවෙන් රට පුරා ආගමික වතාවත්…

ඊයේ පැවති ජන හමුවකදී කේසර සමග මව්වරුන් වර්ණාසි දියණිය වෙනුවෙන් හඬා වැටෙයි…

” දියණියන් මල් වගේ”
වැඩසටහන කේසර මැතිතුමාගේ පදනමෙන් ආරම්භ වෙයි.ඒ සඳහා  මව්වරුන් එක්ව අත්සන් තබයි.

ජනාධිපති අපේක්ෂක කේසර මහතාගේ කතාවේදී මවුපියන් හඬා වැටෙයි…

වර්ණාසී ජංගමයා ඇඳ උඩට අත ඇරියා අත් දෙකෙන් මූණ වහගෙන ඉකි ගහන්න පටන් ගත්තා.

“අපි හැමෝම දැනගෙන උන්නේ ඔය විස්තරය තමයි පුතේ ..ඔයාගේ කටින් ඔය කියපු කතාව මට හිතාගන්නවත් බැහැ. මේ සිද්ධියෙන් කේසරට මුළු රටේම මිනිස්සු පුදුම විදිහට අනුකම්පා කරන්න පටන් ගත්තා ගත්තා. සමහර වෙලාවට නොහිතපු තරං ඡන්ද  කේසරට ඔය විදිහට ලැබෙන්න ඇත්තෙත් මිනිස්සු පුදුම විදිහට අනුකම්පා කරපු හින්දා වෙන්න ඇති.
අර එක සැරයක් රටේ හිටපු ජනාධිපතිවරියක් තමන්ගේ ජනාධිපතිවරණයට සතියක් තියෙනකොට බෝම්බයක් පිපිරිලා ඇහැට තුවාල වුණා මතකද..
ඒ වෙලාවෙත් මිනිස්සු අනුකම්පාවට කොයිතරම් ඡන්දෙ දුන්නද.මට නං හිතෙන්නෙ පුතේ මේකත් එහෙම සිද්ධියක්.”

නර්මදා කිව්වේ වර්ණාසිගේ ඇඳ ගාවින්  ඉදගන්න ගමන්.

” තාත්ති අපට කිව්වේ ඒ සති දෙක බොහොම පරිස්සමට ඒ ගෙදර  ඇතුලට වෙලා ඉන්න කියලා.ඡන්දෙ ඉවර වුණු සැණින් මාව පරිස්සමට ගෙනියන්න එන බවත් තාත්ති කිව්වා. ආපහු ගෙදර ආපු ගමන්   නියුසිලන්ඩ් යන්න චාන්ස් හදලා දෙනවා කියලා කිව්වා.ජාදු  යි මමයි සූදානම් වෙලා හිටියේ තාත්ති අපිව ගෙනියන්න එනකං…
අනේ ආන්ටි ප්ලීස් …මට කියන්න ජාදු කෝ..ඒ මිනිස්සු ගෙට පැන්නේ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ… ඒ මිනිස්සු ජාදු ට හොඳටම ගැහුවා.ජාදු  හැදුවේ මාව ආරක්ෂා කරන්න.අනේ ආන්ටි ඒ මිනිස්සු ජාදු ට  හොඳටම ගැහුවා..ජාදු  ලේ ගොඩක් මැද්දෙ ඇදගෙන වැටුනා ආන්ටි ..අනේ මට එයා වෙනුවෙන් මුකුත්ම කරගන්න බැරුව ගියා.”

වර්ණාසි පොඩි ළමයෙක් වගේ වැලපෙන විදිහ බලාගෙන හිටපු නර්මදාගේ ඇස් තෙත් වෙන එක නවත්තගන්න පුළුවන් වුණේ නැහැ.
වර්ණාසි අහන දේට තමන් ඊට පස්සේ උත්තර දෙන්න ඕනේ කොහොමද කියන එක නර්මදාට හිතාගන්න බැරුව ගියා.

“පුතා ඉතුරු නිවුස් ටිකත් බලන්න..
එතකොට මේ ගැට ලෙහාගන්න පුළුවන් වෙයි”.

නර්මදා කිව්වේ ඇස් වල පිරුණු කඳුළුත් එක්කමයි.එතනින් එහාට තිබුණු හැම වීඩියෝවක්ම තිබුණේ කේසර ජන හමු වල කතා කරන කතාබහ ගැන.ඒ අතර එක් වීඩියෝවක දර්ශන නැරඹුම් වාර මහා විශාල ගානක් තියෙනවා කියලා වර්ණාසි දැක්කා.ඒක විනාඩි පහයි තත්පර කිහිපයක දර්ශනයක් වෙලා තිබුණා. කේසර අන්තිමට පවත්වපු ජනාධිපති රැළියේ අන්තිම විනාඩි කිහිපය මේක ඇතුලට කැටි කරගෙන තියෙනවා කියලා වැටිලා තිබිච්ච මහජන අදහස්වලින්   වර්ණාසි දැක්කා.

පියෙකුගෙ කදුලු දරු දුක දැක ඉවුරු තලා
දුවකුගෙ සෙනෙහෙ පිය තේජස බැම්ම කඩා

කේසර  තමන්ගෙ අත් දෙකත් උස්සගෙන කඳුළු පිරුණු මූණෙන් මයික් එක ළඟ කතා කරන රූපයක් ඒ කවි පද දෙකත් එක්ක යූටියුබ් වීඩියෝ පටයක තිබුණා.

වර්ණාසිගේ අතේ ඇඟිලි වෙව්ලනවා කියලා වර්ණාසිට  දැනුනා.ඒ තරහටද වේදනාවටද කියන එක තේරුම් ගන්න බැරුව ගියා.කවි පද දෙක සිංහලෙන් තිබුණ නිසා නර්මදා හෙමිහිට කවි පද දෙක කියවල දුන්නා.  වීඩියෝ ව නැරඹීමට වර්ණාසි හිතට ශක්තිය ගත්තා. ජාදු ට  මොකද වුනේ කියන එක දැනගන්නකම් වර්ණාසිගේ පපුව පිහි තුඩකින් හාරනවා වගේ දැනුනා. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles