සංසලා ඉස්කෝලේ ආවේ නෑවිත් බැරි කමට. ඊයේ දවල් ඉඳන් හරි හැටි කෑමක් නැතුව, ඒ මදිවට දවස තිස්සේම නංගිලා දෙන්නා එක්ක ඔට්ටු වෙලා සංසලාට දරාගන්න බැරි වෙහෙසක් තිබුණේ.
සංසලා ගෑණු ළමයි තුන්දෙනෙක් උන්න පවුලේ වැඩිමලා. මේ අවුරුද්දේ සංසලා හයේ පන්තියට සමත් වෙලයි ඉන්නේ. සංසලාගේ අම්මයි තාත්තායි තේ වත්තේ වැඩට ගිහින් තමයි ජීවිකාව සරි කරගත්තේ. ඒත් නොහිතපු විදියට සංසලාගේ තාත්තා රිය අනතුරක් නිසා එක් තැන් වුනා. සංසලාගේ තාත්තා ට තේ වත්තේ හිමිකරුවන්ගෙන් යම් ආධාර මුදලක් ලැබුණා. ඒත් රැකියාව අහිමි වුනා.
සංසලාගේ තාත්තා ගෙදර ට වෙලා ඉරටු සුද්ද කරා. ලණු ඇඹරුවා. පුළුවන් පුළුවන් විදියට දේවල් වගා කලා. ඒත් ඒ කිසිම දේකින් ගෙදර ආර්ථිකය හදා ගන්න නම් පුළුවන් වුනේ නැහැ.
ඒ අතරේදී සංසලාගේ අම්මා තවදුරටත් තේ වත්තේ වැඩට යන්න බැහැ කියලා නැවතුනා. ඒ ගැන සංසලා ට නම් තිබුනේ කෝපයක්. ඒත් තාත්තා නම් අම්මට වචනයක් වත් කියලා බැන්නේ නෑ කියලා සංසලා දැක්කා. සංසලාට තාත්තා එක්කත් තරහ හිතුණේ දවසට වේල එක දෙක බඩගින්නේ ඉන්න වෙනකොට. ඊට පස්සේ සංසලාගේ අම්මා ගමේ තියෙන එක එක වැඩ වලට ගියා. උයන්න, මුං නෙළන්න, කුඹුරු වල වල් නෙලන්න, අහින්න…… නේක විධ දේවල් ..
ඒ අතරෙදී දරාගන්න බැරි උණක් හැදිලා සංසලාගේ අම්මා ගෙදර නැවතුණා. අම්මට ඇඳෙන් නැගිටගන්නවත් බැරිව ගියා. සංසලා තාත්තා එක්ක එකතු වෙල ඉව්වා. නංගිලාව සෝදවලා කෑම කවලා ඒ දෙන්නව බලාගත්තා. දවල්ටයි රෑටයි දෙකටම සංසලා ට කන්න කෑම ඉතුරු උනේ නෑ. ඒ නංගිලා දෙන්නාට බඩගිනි කියලා අඬන්න ගත්ත නිසා සංසලාගේ කෑම පිඟානත් ඒ දෙන්නට කවපු නිසා. සෙනසුරාදා ඉරිදා දවස් දෙක එහෙම ගෙවුණා.
අද සඳුදා.
සංසලා මේසෙට ඔලුව ගහගෙන හිටියේ. නිදිමතයි, කුසගින්නයි දෙකම. විවේක කාලෙට කන්න දෙයක් තිබුනෙත් නැහැ.
මහිමා සංසලාගේ මේ වෙනස ගැන ඇහැ ගහහෙන හිටියේ. විවේක කාලේ පටන් ගන්නකොටම මහිමා සංසලා ලඟට ආවේ කැම්ම පෙට්ටියත් අරගෙන.
මහිමාගේ අම්මා බාලක පාසැලේ ගුරුවරියක්. තාත්තා විදෙස් ගත රැකියාවක් කරන්නෙ.
” සංසලා.. අද මට කෑම ගොඩක් තියෙනවා ..පි කමුද ?”
සංසලා මහිමා දිහා බැලුවේ එහෙම කමක් නැද්ද කියලා අහන්න වගේ. මහිමා පිලිවෙල ට හදලා තිබුණ කෑම පෙට්ටිය සංසලගේ පැත්තටත් වෙන විදියට ඇරලා තිව්වා.
සංසලාට වැඩිපුර කන්න ඉඩ හදලා මහිමා අඩුවෙන් කෑවා.
“අම්මේ.. ඊළඟ දවසේ ඉඳන් මට තව ලන්ච් බොක්ස් එකකට කෑම දාලා දෙන්නකෝ..”
මහිමා අම්මට කිව්වේ විස්තරේ නොකියාම. මහිමාගේ අම්මා විස්තරේ අහලා , මහිමාව අගය කරලාම ඒ දේ කරලා දුන්නා.
එදා ඉඳන් සංසලා විවේක කාලයට බඩ පිරෙන්න කෑම කෑවා. සමහර කෑම නම් සංසලා ඉතිරි කරගෙන ගෙදර ගෙනිහින් අම්මලා එක්කම කෑවා.
කාලය හෙමින් ගෙවුණා. සංසලා උසස්පෙළ සමත් වෙලා වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවා. මහිමා විදෙස් ගත වුණා. ඒ උසස් අධ්‍යාපන සහ රැකියා කටයුත්තක් වෙනුවෙන්.
ඒ වෙනකොට සංසලාගේ තාත්තා ගෙදරම පොඩි වඩු මඩුවක් දාගෙන හිටියේ. අම්මාත් ඒ වැඩ කටයුතු වලට උදව් කරා. සංසලාග්‍රෙ නංගිලා දෙන්නාත් හොඳින් ඉගෙන ගනිමින් හිටියේ.
වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවට සංසලාට ඒ තීරණය ක්‍රියාත්මක කරන එක ගැන හිතේ සැකයක් තිබුණා.
” ෆැකල්ටි ගියා වගේ නෙවෙයි මහිමා.. සල්ලි ඕනි වෙනවා.. මං කොහොමද අම්මලගෙන් සල්ලි ඉල්ලන්නේ..?”
සංසලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාස්පතා මුදල් එවන්න මහිමාට පුළුවන් වුනා. මහිමා රැකියාව කරලා උපයන මුදල් ඒ විදියට යවන්න සූදානම් වෙන බව දැනගත්තට පස්සේ මහිමාගේ තාත්තා අවශ්‍ය මුදල් වලින් කොටසක් මාස්පතා යවන්න පොරොන්දු වුණා.
සංසලා ඉතාම දක්ෂ විදියටා වෛද්‍ය උපාධිය අවසන් කලා.
” තේ වත්තක , තේ කුඩයක් එල්ලගෙන දලු කඩන්න හිටිය මගේ කරේ මෙ ස්ටෙත් එක එල්ලුවේ මගේ යාලුවා මහිමා… මගේ අම්මයි, තාත්තායි, නංගිලයි මට ආදරේ කර තරමටම, මං වෙනුවෙන් කැප කිරීම් කල තරමටම මහිමාත් මං වෙනුවෙන් වෙහෙසුණා.
මම වෛද්‍ය පිඨයට ආවම මහිමා මට මාස්පතා මුදල් එව්වා. එයා කිව්වේ ඒ මුදල් ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික පිරිස් සුභසාධන කටයුතු වෙනුවෙන් එකතු කරන ඒවා කියලා … ඒත් මම පස්සේ දැනගත්තා, ඉගෙන ගන්න ගමන් මහිමා කරපු පාර්ට් ටයිම් ජොබ් එකෙන් තමායි ඒ මුදල් එව්වේ කියලා .
මහිමා තරමටම මට මහිමාගේ අම්මවයි තාත්තාවයි මතක් කරන්න ඕනි… හය වසරේදි ඉන්ටවල් එකේ කන්න නැතුව හිටිය සංසලාට ලොකු, රස කෑම එකක් එවපු අම්මව… මහන්සි වෙලා උපයන සල්ලි වලින් කොටසක් හැම මාසේම මං වෙනුවෙන් වැය කරපු තාත්තා ව… මම මේ තැන ඉන්නේ කල්‍යාණ මිතුරු කම නිසාමයි…
මගේ අම්මා , තාත්තා , නංගිලා වෙනුවෙන් මට මහිමාව බඳාගෙන ආදරේ කියන්නයි ඕනි..”
සම්මානය පහක් එක්ක වෛද්‍ය උපාධිය ලබා ගත්ත දවසේ සංසලා මුහුණු පොතේ එහෙම ලියලා තිබුණා. ඒ ගැන හැමෝම කතා කලා.
” දෝණි.. ඔයාගේ ක්ලාස් එකේ නේද ඉන්නේ ආච්චිලාගෙ වත්තේ ඉන්න සිරිපාල මාමගේ දුව ….?”
“ඕ අම්මා..”
“අනෙක් දවසේ එයාටත් එක්ක දවල්ට කෑම එකක් ගෙනියන්න … සිරිපාල ට වෙලාවක් නැතිව ඇති උදේට උයන්න… නිමලා ඉන්නේ ලෙඩ ගානේ නේ…”
” අම්මා එහෙනම් සිරිපාල මාමට කියන්න, කෑම එවන්න එපා කියලා .. නැත්නම් තරිනිට ලැජ්ජ හිතේවි නේ..”
“මං කියන්නම් …”
මහිමාගේ අංකුර පැල වෙන්නත් පටන් අරගෙන තිබුණා.
| අපේක්ෂා ගුණරත්න |