මහේල අරන්දර සමඟ අසේකා පණ්ඩිතරත්න ගෙවූ අතීතයටඔබ ආසක්ත වන වග දනිමි. එහෙත් ඒ අතීතය අවුස්සා දැමීමෙන් වර්තමාන කතාව ඔබට මඟෑරෙන්නේය. මට මෙවෙලෙහි අවශ්‍ය වර්තමානයේ සිදු වන සෑම සියළු අංශුමාත්‍රික නිමේශයක්ම ඔබ හා බෙදා ගන්නටය. එනිසා යළි අතීතයට යන්නට වෙන්නේ වර්තමානයේ සෑහෙන්නම වෙලා ගෙවා අවසන් කරය.
කොරිඩෝවේ කෙළවරට එනතුරුම මම මහා ආයාසයක් නැතිව ඇවිද ආවෙමි. එතැනින් පිටත එබී බැලූකල පෙනෙන්නේ හිස් ගෙඩිය. ඒ අතරේ අවන්හල් කාර්‍යමණ්ඩලය, අවන්හල් හිටපු පරිපාලනය, අවන්හලෙහි නිත්‍ය උදෑසන සාමාජික පිරිවර සිටින වග පළමු දෘෂ්ටියෙන්ම වටහා ගත්තෙමි.
අවන්හලෙහි දෙවන විවෘත ප්‍රදේශයේ මහේල අරන්දර පිළිගැනීම වෙනුවෙන් උදෑසන මේසය සැකසෙන බව දැන උන් නිසා, ඒ හිස් අස්සේ ඔහුද සිටින වග සැක නැතිවම තහවුරු කර ගත්තෙමි.
වසර හයකට පෙර විසි හය වියැතිව මා අවසන් වරට දුටු මහේල අරන්දර දැන් සිටින්නේ කෙලෙසකද ? සැබැවින්ම මට ඔහු හඳුනාගන්නට හෝ නොහැකිවේද ? ඔහුගේ දිගැටි, මැණික්මය දෑස් මට මඟ හැරේවිද?
පසුගිය වසරවල කොවිඩ් උත්සන්න වූ සමයේ අප මුව වැසුම් පැළඳීම දෛනික අත්‍යාවශ්‍ය අංගයක් සේ සිදු කල වග ඔබට මතක ඇතැයු සිතමි. ඒ කාලයේ, ඇස් වලින් පමණක් අප කාලයක් තිස්සේ මුණ ගැහුණ අයවලුන් පවා හඳුනාගත් බවට වන අත්දැකීම් ද ඔබට නැතිවා විය නොහැක.
එනිසා මගේ දෑස් පුරා සජීවීව ඇලවෙමින් තැවරෙමින් වසර හතරකටත් වැඩි කාලයක් ගෙවා දැමූ, ඉන් පසුව කතා කරන ඇස් ලෙසින් පින්තූර වල හිඳ මගේ ඇස් අස්සේ රිංගූ මහේල අරන්දරගේ ඇස් මට මඟ හැරෙන්නට කොහොමටත් විදියක් නැත.
මම කොරිඩෝවෙන් නික්ම අවන්හලෙහි විවෘත ප්‍රදේශය වෙත පිවිසියෙමි. බොහෝදෙනා අතර මා අතරමං වන වග දැනෙන්නට පටන් ගෙන ඇත.
වෙනදා අශ්ව වේගයෙන් එහෙට මෙහෙට දිවූ පොළව මත මට ලිස්සා වැටෙන්නේ නැතුව ඇවිදින්නට වාරුවක් නැති වගද සිතෙයි. මම උන්නේ කෙටි සායේ සාක්කු දෙකේ දෑත් සඟවාගෙනය. හෙරක මෙන් වටපිට බලමිනි.
“යමු යමු එන්න… “
කිසිවෙකු මා තල්ලු කරගෙනම ඉදිරියට යන්නට ගියේය. ඒ තල්ලුවෙන් මමද ප්‍රධාන මේසය අසලටම තල්ලුවී ගියෙමි. එහෙත්, මට මහේල අරන්දර දකින්නට ඉඩක් වූයේ නැත. මා ඔහු සිටින ඉසව්ව නිශ්චය කරගෙන එබෙනවිට ඔහු මට පිටුපාමින් පහල උද්‍යානය දෙසට ඇවිද යමින් සිටියේය. අවැසි වූයේ ඒ දිගැටි මැණික්මය ඇස් දෙක තත්පරයකින් අරික්කාලක තරම් ප්‍රමාණයකින් දකින්නටය.
“අසේකා… කිචන් එක බලන්න ළමයා…”
කිසිවෙකු ගේ විධානයක් ඇසුණි. වෙනදා ඉතා හුරු පුරුදුව ඉන් කාර්‍යමණ්ඩලය පවා මෙතරම් නුහුරුව දැනීම අරුමයකි. මේ සියල්ල අර මැජික්මය මිනිසා මහේල අරන්දර නිසාය.
මම ආපසු හැරී මූලුතැන්ගෙයට ගියෙමි. මුලුතැන්ගෙයෙහි උඩට නැඟී ඇති කිරි සුදු පැහැ බිත්ති වල මට මහේල අරන්දරගේ මුහුණ පෙනෙනවා සේ විය. මම නිල් පැහැ ඒප්‍රණය හැඳ ගත්තෙමි.
වේටර්වරියක පැමිණ කෝපි සැකසීම සඳහා වන ඇණවුමක් තබා තිබුණි. මම එය සකසා තැබුවෙමි.
” එක අතකට මහේල අරන්දර මඟ හැරෙන එකත් හොඳයි …”
මම එසේ සිතුවෙමි. මේ තරම් කාලයක් ඉතා අපහසුවෙන් ඉවසා උන් යමක කාල සීමාව ඉක්මවා යන බව ඔබද නොදන්නවා නොවේ. එහෙත්, මහේල දකින්නට තරම් සවියක් මට නැති වග තහවුරු කර දැන ගැනීමෙ පසු මට අන් යමක් සිතන්නට නොහැක.
මහේල අරන්දර සතු මේ මැජික්මය යම ගැන ඔබට කිසිවක් සිතාගන්නට නොහැකිවා විය හැක. ගැහැණුන් සතුයැයි කියන මායම් හැට හතර තරමේ වන මායම් පිරිමින් සතු නොවනවාද විය හැක. එහෙත්, ගැහැණුන් සතු නොවන මැජික්මය මායාවන් පිරිමින් සතු වන වග ඔබට විස්වාස කරන්නටම සිදුවේ. මායාකරුවන් සිය මැජික්මය යශ්ඨිය කරකවමින් අරුම පුදුම දේ කරන්නේ කෙලෙසද, මේ මිනිසා මහේල අරන්දර මා වටා උන් කාලයේ මා මායාවක සිර කර දමා අවසන් ඇත.
ඔහු හැර දමා ගියාටත් පසු හය වසකටත් දින කිහිපයක් වැඩිපුර ඒ මැජික්මය බන්ධනය මා වටා වූ වග දැන් මම ඉන්තේරුවෙන්ම දනිමි. එහෙව් කාලයකටද පසුව, පිරිමින් සතු මායාමය ශක්තීන් පිළිබඳව කතා නොකර සිටීම නම් විකාරයකි.
“සර් ගියා…”
අයෙකු එලෙස පවසාගෙන මුලුතැන්ගෙයට ඇතුලු විය. උන්නේ අමිලය.
මම ඔහු දෙස බලා උන්නෙමි. එසේනම් මහේල අරන්දර මට දකින්නට හෝ ඉඩක් නොදී සමුගෙනය. මම වහා ඉවතක් බැලුවෙමි.
දෙවියනේ.., මම මෙය කෙලෙස දරාගන්නද ? දිනයක්, දෙකක් නොව තව සෑහෙන කල් මේ තිගැස්ම දරාගනිමින්ම , කිසිඳු තිගැස්මක් නැති වග සියල්ලන්ටම පෙන්වමින් ගෙවන්නට ඇති ජීවිතය ගැන මට ආත්ම අනුකම්පාවක් ඉපදෙන්නේය.
“සර් මරු ඈ අසේකා… ඉස්සරහට එන්නෙපැයි….”
අමිල ඒප්‍රනය පැළඳ දෑත් සෝදාගන්නා අතරේ පවසනු මට පෙනිණි.
“මං ආවා. ආයෙ කිචන් එකේ කවුරුත් නැති නිසා මං මෙහෙට ආවා…”
මම අමිලගෙන් දෑස් සඟවාගෙන යලි කීවෙමි. මේ නම් පහසු සෙල්ලමක නොවන වගට සැක නැත.
“අඩෝ.. කිව්වා නම් මම ඉන්නවනේ.. උඹලෑ එපායැ බොසාට පේන්න යන්න …”
අමිල එවර යමක් කීවේය. මට එය එතරම් පැහැදිලි ලෙසින් ඇසුනේ නැත.
මම ඊළඟ ඇණවුම වෙනුවෙන් කෝපි සකසන්නට සූදානම් වූයෙමි. මහේල අරන්දරගේ සැලැස්ම කුමක්දැයි වැටහෙන්නේ නැත. ඔහු මෙහි පැමිණියාට වැඩි වේලාවක් රැඳී උන්නේද නැත. එහෙත් මෙහි පිරිස ඔහු පිළිගන්නට සූදානම් වූයේ ඔහු මෙහි දිනයක්ම රැඳී සිටින සෙයකිනි. මහේල අරන්දර පැය කිහිපයකින් පිටව ගොසිනි.
අනෙක් අතට මා මෙහි සේවය කරන වගක් ඔහු දන්නේද නැතිව මා මෙලෙසින් මනෝ කතන්දර ගොඩ නඟා ගැනීම උමතුවක් බව දැන් දැන් ඔබටද සිතෙනවා විය යුතුය.
දැන් ඔබේ නිගමනය කුමක්ද ?
අසේකා පණ්ඩිතරත්න, උමතු, උඩඟු, ද්‍රෝහි, චපල ස්ත්‍රියකැයි කියාද ?
ඔබ සිතන්නේ කුමක්දැයි මට වැදගත් නැත. මට ඔබට් කියන්නට අවැසි මෙපමන්නකි.
“අසේකා පණ්ඩිතරත්නගේ ජීවිතයේ මහා හිස් තැනක් විය. ඇය එය පුරවාගන්නට දැරූ සෑම උත්සාහයක් ම අවසන් වූයේ හිස් තැනෙහි ඉඩ වැඩි කරමින් මිස හිස් ඉඩ පිරවී නොවේ…එහෙත්, මහේල අරන්දර ගේ පැමිණීමේ පුවත සවනට වැටුණු මොහොතේ පටන්ම එම හිස්තැන පිරෙමින් පවති….. “
| අපේක්ෂා ගුණරත්න |