ප්‍රේමයේ මන්දහාසිනි 09

අසුනේ හිඳ ගත් රුව දුටු මගේ හද ගැස්ම අසාමාන්‍ය ඉහළ යෑමකට වැටුණේය. එහෙත් ඒ බවක් නොපෙන්වා සිටින්නට මම අසුනේ හරි බරි ගැහුණෙමි.  ඔහු ජංගම දුරකථනය මත වූ දෑස් මා වෙත හැරෙව්වේය. 

ඔබට කිව යුතුය. ඒ දෑස් තිගැස්සුණි. ඔහු මා හැඳින්නේය.  ඔහු ගේ තිගැස්සුණු දෑස් ඉන් පසුව විමතියෙන් පිරුනේය. අදහා ගන්නට නොහැකි ලෙසින් මා දෙස වඩා හොඳින් බැලුවේය. 

ඔහුගේ නළළෙහි වෙලුමක් විය. එක් අතක් බෙල්ල වටා රැඳවූ රැඳවුමකින් එල්ලා උන්නේය.  ඔහු ඇවිද ආවේද යම් අපහසුවකින් බව මට සිතුණි. මේසය මත වූ අනෙක් අතේ වැලමිට හරියේද යම් වෙලුමක් විය. 

ඉතින්, මේ සියල්ල අසේකා පණ්ඩිතරත්න නිසා සිදුවුණ දේවල් ය. ගැටලුව එය නොවේය. එදා මා නිසා ඔහු අනතුරට පත් වූවාට පසුව මම ඔහු හැරදමා කිසිත් විමසා නොබලා පැන ගැනීමය.  එතැන රැඳී සිට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට ඕනෑ තරම් ඉඩ තිබියදී එතැනින් පැන දිවීමේ වරද මා ඉදිරියේ උන් තරුණයාගේ ඇස් වලින් මට මොනවට පෙනෙමින් තිබුණි.

මම නොසන්සුන්කම සඟවමින් සිනාසුනෙමි. එහෙත් ඔහු උන්නේ විමතියෙන්මය. මම උන්නේ එතැනින් ඉවත්ව යන්නට අවැසි මානසිකත්වයකය.  තවදුරටත්  මෙහි රැඳී සිටිය නොහැකිය.

” සර්.. මේ අසේකා ..”

යළි කිසිවෙකු අමතන හඬ ඇසුණි.

” ආහ් ..ඕකේ… හරි….”

ඔහු මගේ ෆයිල් කවරය දිග හැර ගත්තේය. මගේ හද ගැස්ම ඔහුට ඇසේවියැයි මට දැනුණ බිය නිසාම මම අසුනේ පසුපසටම වී උන්නෙමි ඔහු එහි  වූ අනෙකා සමඟ මොනවා හෝ කතා කලේය. මට ඇසුනේ නැත. 

” හෙට ඉඳන් එන්න …”

මගේ දෑස් විසල් කරමින් ඔහු කීවේය. මම නුවර පාරට පැන ගත්තේ අඩියට දෙකටය. එතැනම නොබෝ දුරකින් වූ අයිස්ක්‍රීම් හලකට වැදුණෙමි. මතකයේ තිබු පලමු අයිස්ක්‍රීම් බඳුනම ඇණවුම් කර එය ඉතා වේගයෙන් ගිල දැමුයෙමි. මට අවැසි වූයේ මා අභ්‍යන්තරයේ වන ගින්න නිවා දැමීමය. එහෙත් නිවෙන ගින්නට පෙට්‍රල් ටිකක් වත් කර අවුලවා, එයට පිදුරු දමන්නට හැකි ඇමතුමක් ඊළඟට ජංගම දුරකථන තිරයේ මැවුනේය.

“හෙලෝ..අසේකා ?”

“ඔව්…”

“මහේල අරන්දර හියර් … චමත්කාර ෆ්ලෝරා ඩිරෙක්ටර් බෝර්ඩ් එකෙන් ….”

“ඔ ..ඔව් සර් …”

” ඔෆර් එක නොගෙන ජොබ් එකට නෑවිත් ඉන්න හිතාගෙන ඉන්නවා නම් මේ වෝර්නින් එකක්… හෙට අනිවාර්යයෙන් නවය වෙනකොට මගේ ඉස්සරහ ඉන්න ඕනි ..  එහෙම නොවුනොත් දහය වෙනකොට මම පොලිසිය එක්ක තමුන්ගේ ගෙදර ඇති …”

වායුසමීකරණය කර තිබූ අයිස්ක්‍රීම් හල තුළ මා පිච්චෙන්නට ගත්තේය. අම්මලා ගෙන් නිදහසක් ලබන්නට උත්සාහ කෙරූ මම අන් උගුලක සිරවී ඇත. 

” හෙලෝ..”

“ඔව් සර්…”

” ඔව් සර් නෙවෙයි .. කියපු එක පැහැදිලි ද ?”

“ඔව් සර්…”

“ගුඩ් …. සී යූ …”

ඇමතුම විසන්ධි විය.  කල යුතු දේ මට සිතා ගත හැකි වූයේ නැත.  මම කොටුවී ඇති බව පමණක් වැටහුණි. 

උපදෙසක් ගන්නට කියා මිතුරෙකුවත් නොමැති පීඩනය වඩා හොඳින් දැනුනේ එදින රැයේය. අම්මා සහ අය්යා උස් හඬින් කතා බහකය. ඇතැම්විට ඒ සවස මා පැවසූ රැකියාව පිළිබඳව අම්මා අය්යාට පවසනවා විය යුතුය. 

” දැන් තමුසේ ඒ ජොබ් එකට යනවද?”

අය්යා එක් වරම කාමරයට කඩා පැන්නේය

“ඔව්…”

 මම නොසිතාමා කිව්වේමි.

” ගොං ගහක්.. අර ලක්ශ දෙකක පඩියක් අතෑරලා තුට්ටු දෙකට කඹුරන්න යනවා… “

අය්යා බැණ වැදුනේය. මම එයට කිසිවක් නොකීවෙමි. 

“දැන් එතකොට නවතින්න වෙනවද ?”

” ඔව්…”

“ආයේ මගෙන් නම් සල්ලි ඉල්ලන්න එපා ඕවට…”

අය්යා එලෙස පවසමින් කාමරයෙන් පිටතට් ගියේය. මට සිනහ නැඟුණි. ඒ සමඟම ඇඬුණි. අය්යලා මෙහෙමද ?  

පසුදින මම චමත්කාර ෆ්ලෝරා හි පෙනී උන්නෙමි. ඔහු මට පෙර පැමිණ උන්නේය. 

” මේ සතියේම ගෙදර ඉඳන් ඇවිල්ලා විකෙන්ඩ් එකේ නවතින්න තැනක් හොයා ගන්නවා…”

මගෙන් කල විමසීමකට කීවෙමි. ඔහු කිසිවෙකු කැඳවා යමක් පැවසුයේය. ඉන් පසුව මට හිඳගන්නට කීවේය. මම හිඳගත්තේම වචන ගලපාගෙනය. 

” මට සමාවෙන්න සර් .. අනේ මං එදා ලොකු කලබලයක හිටියේ.. මං ජීවිතේ ලොකු තිරණයක් අරගෙන හිටීයේ… අම්මා එක දිගටම කෝල් කරලා තිබුණා.. මම ඒ ෆෝන් එක ආන්සර් කරන සිහියෙන් පාරට ආවේ… අනේ මට සමාවෙන්න .. කට්ටිය කෑ ගහනකොට මං කලබල වුණා.. එතනම බස් එක නවත්තපු නිසා මම බස් එකට නැග්ගා.. මම වැරදි යි … මට සමාවෙන්න .. ප්ලීස්..” 

මම එක දිගටම කියවාගෙන ගියෙමි. මට ඇඬුණි. මම දෑතින්ම කඳුළු පිසදැම්මේ කුඩා එකියක ලෙසිනි.

ඔහු කලබල වෙමින් උන්නේය. මගේ හැඬුම් නවතන්නට උත්සාහ කරන්නට මෙන් ඔහු අසුනෙන් මා වෙතට නැඹුරු වූයේය.

” මගේ තාත්තා මා එක්ක නෙවෙයි ඉන්නේ.. අම්මයි අය්යයි එක්ක මම ඉන්නේ..  ඒත් ඒ දෙන්නට මම වදයක් විතරයු.. කොටින්ම මට ඒ ගෙදර ඉන්න පවා ඉඩ තිබුණේ මං කලින් කරපු ජොබ් එකේ සැලරිය ලොකු නිසා.. අය්යාට නිතරම සල්ලි ඕනි … එයා සල්ලි ඉල්ලලා මා එක්ක රණ්ඩු කරනවා.. මං නොදුන්නොත් ගහනවා.. ඊට පස්සේ එයා ගෙදරින් යනවා.. අම්මා මට බනිනවා.. අඬනවා..සාප කරනවා… ඊට පස්සේ මම කොහෙන් කොහොම හරි අය්යට සල්ලි හොයලා දෙනවා.. මගේ සැලරි එකෙන් ඒ ණය ගෙවනවා.. මට ඒ ජීවිතේ එපා උන නිසයි මම ජොබ් එකෙන් අයින් උනේ.. මට ගෙදරින් එලියට එන්න ඕනි වුන නිසයි  මම නවතින්න පුළුවන් දුරකට යන්න හදන්නේ… ප්ලීස් …”

මම එක හුස්මේම කිවේමි. නන්නාදුනන මිනිසෙකු ඉදිරියේ මගේ ජීවිතය අයිතිය උරගා බලන්නට මම තීරණය කලෙමි

ඔහු  මගේ අතක් අල්ලා ගත්තේය.  ඒ වැලමිට අසල වෙලුමක් තිබූ අතිනි. 

” හරි අසේකා  .. ඔක්කොම හරි.. අර වොශ් රූම් එකෙන් ෆ්‍රෙශ් වෙලා එන්න … ඔයාව මම ප්ලේස්මන්ට් කරන්නම්….”

මහේල අරන්දර කිසිත් නොපවසා මා පිළිගත්තේය. මා කීවාට වඩා යමක් මගෙන් විමසන්නටද ඔහු උත්සුක වූයේද නැත. 

එදයින් පසු ඇරඹුණු මුල් මාස හය මම කාලයකට පසු සැහැල්ලුවෙන් ගෙවූ කාලයක් විය. මහේල අරන්දර මට රුපියල් හැට දහසක වැටුපක් ලබා දුන්නේය. මල් සැකසුම් සැකසීමේ ප්‍රවීණත්වයට පත් වන තරමේ පුහුණුවක් චමත්කාර ෆ්ලෝරා තුළින් මම උකහා ගත්තෙමි. උපාධිය ප්‍රායෝගිකව යොදවන අවස්ථා ගැන වටහා ගන්නට මහේල අරන්දර ඉඩ දුන්නේය. ඇතැම් තීරණ වැරදුණි. එහෙත් ඊළඟ  මාස  හය ඇතුලත මල් සැකසුම් ශිල්පිනියක ගේ සිට ව්‍යාපාර කළමණාකාරවරියක දක්වා ගොඩ නැංවෙමින් උන්නෙමි.

අම්මාගේ  සහ අය්යාගේ බලපෑම් වලින් සෑහෙන්නම දුරට මිදෙන්නට ඉඩ ලැබුනද අම්මා මුදල් අවශ්‍යතා වෙනුවෙන් මා ඇමතීමේ අඩුවක් වූයේ නැත. කලකිරිමෙන් වුවද මම හැකි  සෑම විටම අම්මාට මුදල් යැව්වෙමි.  

සැහැල්ලුවෙන් ගෙවමින් උන් ජීවිතය තුළට මහේල අරන්දර රිංගා ගනිමින් අතිශය ආරක්ෂිත දෙබාහු අතර මට ඉඩ හැදුණේ ඉන් පසුවය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles