කටට සැරට අන්නාසි තෙම්පරාදුවක් රසට හදමු.. 

අන්නාසි කියන්නෙ මොනවද? 

අපි ගොඩක් දෙනෙක් දන්නෙ අන්නාසි රසම රස පළතුරක් කියන කාරණාවනේ. 

රස විතරක් නෙමෙයි, විටමින් C, මැංගනීස් වගේ පෝෂක අඩංගු අන්නාසි ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, තුවාල ඉක්මණින් සුව වෙන්න වගේම පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්නත් හැකියාව තියෙන නිසා අන්නාසි කියන්නෙ පෝෂණයත් පිරුණු පළතුරක් කියල හඳුනාගන්න පුළුවන්. 

හැබැයි අපි වැඩිපුර අන්නාසි කන්නෙ පළතුරක් විදිහට එහෙමත් නැත්නම් ජෑම් හරි චට්නි හරි හදලනේ. ඔන්න අද අපි ආවෙ නම් ඊට වඩා වෙනස් විදිහකට අන්නාසි හදන විදිහ ඔබට කියල දෙන්නයි. 

සුදු බත්, ෆ්‍රයිඩ් රයිස්, කහ බත් මේ ඕනෑම විදිහකට හරි අපූරුවට ගැළපෙන උදේ, දවල්, රෑ කෑම වේලට, කාර්‍යාලයට අරන් යන බත් මුලට වගේම විශේෂ අවස්ථාවකට වුනත් බය නැතුව ඉක්මණින් පහසුවෙන් හදාගන්න පුළුවන් අන්නාසි තෙම්පරාදුවක් හදන විදිහ මොකක්ද කියල එහෙනම් අපි අද බලමු.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

බාගෙට ඉදුණු අන්නාසි ගෙඩියක් 

පොල්තෙල් 

අබ මේස හැඳි 01 ක් 

සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩියක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 

අඟලක පමණ කුරුඳු පොතු කැබැල්ලක්

කරදමුංගු / කරාබුනැටි 02 බැගින් 

කරපිංචා ඉති 02 ක් 

රම්පෙ කැබැල්ලක් 

සිහින්ව ලියාගත් උම්බලකඩ මේස හැඳි 02 ක් 

කෑලි මිරිස්

ලුණු කුඩු 

මිරිස් කුඩු

කහ කුඩු තේ හැඳි ½ ක් 

සීනි

වතුර  

දැන් අපි බලමු කොහොමද අන්නාසි තෙම්පරාදුව හදාගන්නෙ කියල?

සාදාගන්නා ආකාරය 

මුලින්ම අන්නාසි ගෙඩියේ පොතු ඉවත්කර කුඩා කැබලි වලට කපාගන්න. 

භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැඳි 01 ½ ක් 02 ක් පමණ එකතු කර තෙල් රත්වීමට තබන්න. 

තෙල් රත්වූ පසු එයට අබ එකතු කර අබ ඇට පිපිරුනු පසු සිහින්ව ලියාගත් ලූණු, අමු මිරිස්, කරදමුංගු, කරාබුනැටි, උම්බලකඩ, රම්පෙ සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු මැලවුනු පසු එයට ඔබේ රස අනුව කෑලි මිරිස්, මිරිස් කුඩු සහ ලුණු කුඩුත් කහ තේ හැඳි ½ ත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

විනාඩියක් පමණ තබා කපාගත් අන්නාසි කැබලිත් මේ මිශ්‍රණයට එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

විනාඩියක් පමණ තබා වතුර අඬු කෝප්පයක් සහ සීනි තේ හැඳි 1 ½ ක් පමණ එකතු කර නැවත හොඳින් කලවම් කර භාජනයේ පියන වසා විනාඩි 05 ක් පමණ හොඳින් තම්බාගන්න. 

දැන් භාජනයේ පියන විවෘත කර නැවත හැඳි ගා විනාඩියක් පමණ තබා ඉස්ම සිටින සේ භාජනය ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න දැන් අපි සැරට කන්න පුළුවන් අන්නාසි තෙම්පරාදුව හදාගෙන ඉවරයි. 

ඔබේ අතින්ම පිරිසිදුව පහසුවෙන් එහෙනම් හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles