ප්‍රේමයේ මන්දහාසිනි 11

ආදරය නමින් වන යමක් වේ නම්,    ඉබේම සිතක පිළිසිඳිය යුතුය. නිදහස් නිස්කාංසුවක  පීදිය යුතුය.  කටෝර දවස් වල පවා එවන් ආදරයක් සිහි වීමෙන්ම නිවීමේ සනිපය දැනිය යුතුය. වේදනා, සෝකාලාප, දුක් ගිනි නිවෙන තරමට ආදරය නිවුම්කාරී විය යුතුය.

ඉතින්, එදා රැයින් පසු මගේ ජීවිතයේ වූයේ එවන් ආදරයකි. සැනසීමකි. නිවීමකි. 

අම්මා සහ අය්යා මගේ ජීවිතය තුළ නැතැයි මට කිසිඳු හිස් තැනක් නොදැනුණි. මහේල අරන්දර ගේ නිවසේ මට ආදරයද, සෙනෙහසද අඩු නැතිව තිබුණි.  

” ඔයාට හිතෙන්නේ නැද්ද අසේකා තාත්තා ව මුණ ගැහෙන්න “

දිනක් මහේල අරන්දර විමසුවේය. එය මා එවෙලෙහි ඔහුගෙන් බලාපොරොත්තු වූ යමක් නොවේය. 

මම හිස සැලුවෙමි. තාත්තා අප හැර ගියේ අන් ස්ත්‍රීයක නිසා වග අම්මා පවසා ඇත. එවිට මම උසස්පෙළ පන්තියට ඇතුල් වුනා පමණි. අම්මා  තාත්තා ට සාප කරමින්  හඬා වැටුණු  හැටි මට මතකය. අය්යා තාත්තා  සහ ඒ ගැහැණිය මරා දමන  බවට තර්ජනය කරන තුරුම ඇගේ හැඬුම් නැවතුනේ නැත. අවසානයේ අම්මා තාත්තා අත් හැරියාය.  තාත්තා ගේ හිස් තැන මට කිසිදින පිරුණේ නැත. එහෙත් අම්මාට එහෙම හිස් තැනක් තිබුනේද නැත.  ඇය ජීවිතයේ මා සිහිනෙකින් හෝ නොසිතූ දේ කරමින් උන්නාය. මට ඒවාට එරෙහි වන්නට හෝ ගැටෙන්නට උවමනා නොවූ නිසා මම ඒ කිසිවක් නොදැක්කා සේ සිටින්නට තීරණය කරෙමි. 

ඉන් පසුව මහේල අරන්දර මගෙන් තාත්තා ගැන කිසිවක් විමසුවේ නැත. 

අප ආදරය කරන්නට පටන් ගත් පසු එළඹුණු මගේ උපන්දිනය දා මහේල මට වටිනා ජංගම දුරකථනයක් තෑගි කලේය. මා සතු වූ ජංගම දුරකතනය අඩපණව ගිය පසු මම නව ජංගම දුරකතනයක් ගැනීම පසෙකට දැම්මේ එවෙලෙහි අනවශ්‍ය වියදමක් බව සිතමිනි.  එනිසාම මට එවැන්නක් අවැසි නැති බව පවසද්දී පවා ඔහු නැවතුනේ නැත. 

” මේ තියෙම සල්ලි අපි දෙන්නගෙම… ඉතින් ඔයාට ඕනි දෙයක් ගන්න ළමයෝ …”

ඔහු අවධාරණය කලේය. මට මුදලින් පලක් වූයේ නැත. මහේල අරන්දර ගේ අසීමාන්තික ප්‍රේමය මා උන්මාදනීය කාලයකට ඇද දමා තිබුණි.  එලෙසම පවුලක ආදරය අඩු නැතිව මා වෙත ලැබෙමින් තිබුණි.

ජංගම දුරකතනය ලැබීමෙන් පසු මම ෆේස්බුක්  ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් ආදී සමාජ මාධ්‍ය ගිණුම් වෙත නැවත පිවිසියෙමි.  ජීවත් වන්නට අවැසි වූ සැහැල්ලුව මා මත ඕනෑවටත් වඩා ඉහිරෙමින් තිබුණි. 

එහෙත් එක් දිනයක උදෑසන මැසෙන්ජර් ගිණුමට අය්‍ යාගෙන් පණිවිඩයක් තිබුණි. මම එය විවෘත කලේ අඩවන් වූ දෙනෙත් සමඟ නිදිමතිනි. 

” මට ලක්ශ පහක් ඕනි… තමුසෙගේ මිනිහාගෙන් ඉල්ලලා දෙනවා…”

ඉන් නින්ද නිම විය. මම ඇහැරුණේ ලේ රත් කරගෙනය. ගෙවුන අවුරුද්ද පුරාවටම අම්මාගේ ගිණුමට මුදල් බැර කලේ වියදම් වෙනුවෙන් තබා ගන්නටයැයි පවසමිනි. මට අවම පඩියක් ලැබුණ මාස තුනේ පවා අම්මාගේ ඇමතුම් වලට ප්‍රතිචාර ලෙසින් මුදල් යොමු කරන්නට මම සැලකිලිමත් වූයෙමි. ඒ පිළිබඳ කිසිවක් මහේල දැන් සිටියේ නැත. ඔහු මේ වන තුරු ඒ ගැන විමසාද නැත. 

අය්‍ යලා නංගිලා වෙනුවෙන් අනේක  කැපකිරීම් කරන  ලෝකයක මගේ අය්‍ යාගේ කල්කිරියාව ගැන වේදනාව ඔබට සිතා ගත හැකිද ? අඩුම තරමේ මේ අවුරුද්දක කාලය පුරාවටම ඔහුගෙන් මට ඇමතුම් කිහිපයක් පමණක් එන්නට ඇත. ඒ හැම ඇමතුමකටම  පදනම් වූ එකම හේතුව මුදල්ම පමණක් ය. අඩුම තරමේ මා සුවෙන්දැයි අසන්නටවත්, අවශ්‍ය විටෙක ඔහු සිටිනවායැයි වචනයෙන් හෝ පවසන්නටවත් ඔහුට ඉඩක් තිබී තිබුනේ නැත. 

මම මැසෙන්ජර් පණිවිඩය නොදැක්කා සේ බැහැර වුනෙමි. මහේල අරන්දර වට්සැප් පණිවිඩයක් එවා තිබුණි. ඔහු අලුයම පහ ට පමණ නැගිට ඇති බව ඉන් පෙනුණි. 

මම වහා ඇමතුමක් ගත්තෙමි. සැනින් පිළිතුරු ලැබුණි.

” සුබ උදෑසනක් වේවා අසේකාවිය ….” 

දවසම පුරවා තබන්නට තරමේ වන හඬ ඇසුණි. මම  ජනේල රෙද්ද පසෙකට කර ජනේලය හැර දැම්මෙමි. හිරු රැස් මා වසා ගත්තේය.  මම හිරු එළියෙන් තෙමී හිඳිමින්ම මහේල ඇමතුවෙමි. 

” සුබම වේවා . උදේ පාන්දර නැගිටගෙන මොකද ? වැඩක් නෑනේද අද ? ඔයා කිව්වේවත් නෑනේ …”

“නෑ ළමයෝ නෑ.. අද වැඩක් නෑ.. මං යාලුවෙක්ගේ වැඩකට එලියට ආවා… උදෙන්ම ඉවර කරගෙන ආවම ලේසියි .. මම හවස වෙලා ඔයාව බලන්න එනවා හොඳේ …”

“ඔයා කොළඹින් දුරද ?”

“නෑ නෑ.. එච්චර දුර නෙවෙයි …”

“හ්ම්…”

” තව ටිකක් නිදාගන්න අසේකා… ඇහැරිලා නාලා, කාලා, බීලා මේල් එක චෙක් කරන්න … ඔයාට මේල් එකක් තිබුණා.. අපි හවසට ඩ්‍රාෆ්ට් එකක් ගහමු …කලබල වෙන්න එපා ඒකට හරිද ? ඒක මම ඔයාව ප්‍රොමෝට් කරන්න කලේ…..” 

මම එයට හිස සැලුවෙමි. ඒවා මහේල අරන්දර ට පෙනෙන්නේය. අපට හිමි ප්‍රේමයක් එතරමින්  අපව  කියවාගැනීමේ ප්‍රහර්ශය ඔබද විඳිය යුතුය. තනිව ගෙවූ ජීවිතයකට මෙතරමින් ඇලෙමින් ප්‍රේම කරන පිරිමියෙකු පැමිණි පසු ජීවිතය අරුමැසියක් බවට පෙරලේ. ඇබ්බැහි වීම හැරුණ කොට අන් යමක් ජීවිතයේ නැතැයි සිතේ. 

මහේල ට සමුදෙද්දී යලි අය් යාගෙන් මැසෙන්ජර් පණිවිඩය කිහිපයක් විය.

” අද හවස් වෙනකොට ඩිපොසිට් කරනවා ඈ….”

“අම්මගේ අකවුන්ට් එකටම දානවා…අවුලක් නෑ… මම ගන්නම්…”

“ලක්ශ පහක් ඕනි හො‍ඳේ..  දැන් ඉතින් තමුසේගේ ළඟත් ඉතිරි ඇතිනේ…. දැන් මාර්කටින් මැනේජර් නෙහ්….”

“මේ… තමුසේගේ නාඩගම් මම දන්නවා ඈ.. ඒ නිසා මට සල්ලී දානවා…”

ඉන් එහා තවත් ඉවසා සිටිය යුතුයැයි මට සිතුනේ නැත. මම මැසෙන්ජර් ඇමතුමක් ගත්තෙමි. සැනින් ඇමතුම සම්බන්ධ විය.

” මොකද ඕයි කෝල් ගහන්නේ….? ඉක්මනට කියනවා …?”

අය් යා කඩා පැන්නේය.

” මොකටද ඔයාට සල්ලි ?”

මමද දැනුණු කෝපයෙන්ම ඇසුවෙමි. අය් යාට උපයා දෙන්නට තරමේ වන ණයකින් මම ඔහුට බැඳී නැත. අඩුම තරමේ සහෝදර කමක්වත් දැනෙන්නට හරිනවා  නම් මේ මුදල් ගැන වගක් නැතිව මම අත් හරිමි. එහෙත් ඔහුට මා දැනෙන්නේ දාසියක ලෙසිනි එසේත් නැතිනම් මුදල් උපයා ඔහු ට යැපෙන්නට ඒ මුදල් ලබා දිය යුතු මැෂිමක් ලෙසිනි. 

” ඒකෙන් තමුසේට වැඩක් නෑනේ අසේකා.. කියපු එක කරනවාකෝ…”

අය්‍ යා නොරිස්සුමකින් කීවේය. අම්මාගේ හඬද මට ඇසුණි. ඉන් වූයේ මගේ කෝපය දෙගුණ වීමය.

” මං ගාව සල්ලි නෑ….”

“තමුසේ ගාව නැති වුනාට තමුසේගේ මිනිහා ගාව තියෙනවා..  උගෙන් ඉල්ලලා දෙනවා….”

අය්යා කඩාපැන්නේය. මම සිනාසුනෙමි. ඉන් අය් යාට කෝපයට පත් වූයේය. ඔහු මට බැණ වැඳුණේ මා ඔහුට මහා වරදක් කල අයෙකු ලෙස දමමිනි. අම්මාද දුරකතනය ගෙන මට බැණ වැදුණාය. වෙනදා නම් එහෙම ඇමතුම් මැද මට ඇඬෙන්නේය. මැරෙන්නට සිතෙන්නේය. එහෙත් මම ගලක් සේ උන්නෙමි 

මහේල අරන්දර ගේ ආගමනය සහ ඔහු මා වෙත වත් කරමින් සිටින ප්‍රේමයෙන් මා කෙතරම් සවිමත්ව නැගී ඇතිදැයි ඔබට පෙනෙනවා නොවේද ? 

අසේකා පණ්ඩිතරත්නට ඇගේ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින අයිතියේ මාවත පෙන්වා දුන් තැනැත්තා මහේල අරන්දර ම පමණි. 

” මට පිට මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න බෑ අය්‍ යේ… අනෙක මට පඩිය කියලා මහගාණක් ලැබෙන්නේ නෑ…බෝඩිමට දීලා, කාලා බීලා ඉවර වුණාම අතේ ඉතුරු නෑ… මං මෙච්චර කල් ඔයා ඉල්ලල ඉල්ලන වතාවට සල්ලි හොයලා දුන්නනේ.. දැන් මට මුකුත් කරන්න විදියක් නෑ…”

මම නොබියව කීවෙමි. අය් යා වෙනුවට මට බැණ වැඳුනේ අම්මා ය.

” ඔයා වගේ අම්මා කෙනෙක් ගැන මට හිතාගන්නවත් බෑ අම්මේ.. හරි නම් ඔයා සතුටූ වෙන්න ඕනි මම තට්ට තනියම මේ ගහන ගේම ගැන .. ඔයාගේ වියදමට මම ගානක් දෙන එක ගැන … මට ඔයා සලකන විදියට මට හිතෙන්නේ ඔයා මගේ අම්මා නෙවෙය් කියලා … ඇත්තටම… ඔයාට අය්‍ යා විතරනේ දරුවා ඔය බලාගෙන යන විදියට …”

” උඹට ඔයගහලා තියෙන්නේ අර අරන්දර පොඩි කොල්ලාගේ ඌෂ්ණේ අසේකා… වැඩි කාලයක් උඹට ඌත් එක්ක නටන්න තියන්නේ නෑ මම… අන්න ඒක මතක තියාගනින් …. උඹ ඉන්න ඕනි උඹට අයිති තැන ..උඹ තව තව පිම්බිලා බලපං .. ඒ වගේම  මම ඔය බැලුම පුපුරලා දාන හැටි බලාගෙන  හිටපං …. … “

අම්මා එලෙස පවසද්දී නම් මට රිදුණි. මම හඬා වැටෙමින්ම ජංගම දුරකතනය විසන්ධි කලෙමි. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles