~ ~ ~ වර්තමානය ~ ~ ~
මහේල අරන්දර පැවසූ කිසිවක් මගේ මනසට පැහැදිලි වූයේ නැත. පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මොනවාදෝ පැහැදිලි කලේය. එහෙත් මට ඒ කිසිවක් පැහැදිලි වූයේ නැත.
මට අවැසි වූයේ මගේ ජීවිතය ඔහුගේ ජීවිතයේ තියන්නට යන තැන ගැන දැන ගැනීම විය හැකිය. එනිසා මම ඉන්නේ පියවි සිහියෙන් එපිට වනවාද විය හැක.
“අසේකා ?..”
තිගැස්සි ගියෙමි. මම ඔහු දෙස බලා සිටින්නේ එතරම්ම විමතියකින් බව ඔහුගේ මුහුණෙන් පෙනුණි.
” මොකද්ද අදහස? …”
ඔහු ඒ බවක් ගණනකට නැතිවා සේ විමසුවේය. මට පවසන්නට යමක් වූයේ නැත. අවසාන වශයෙන් මතකයේ වූයේ ” The ChOcO ManIA ..” ලෙසින් වන නමක් පමණි. මම මහේල දෙස බලා උන්නෙමි. වායුසමීකරණය කරන ලද කියුබිකල් එක තුළ මගේ ගෙල දෙපසින් දහඩිය වැල් දෙකක් ගලා යමින් තිබුණි.
මහේල අරන්දර ගේ කෝපය පිට වන්නේ කෙලෙසදැයි වූ පෙර අත්දැකීම් සිහි විය.
“සොරි සර් .. මට… පැහැදිලි වුණේ නෑ…”
” හරි .. මං ආයේ කියන්නම් … වතුර එක බීලා ඉන්න …”
මගේ දෑස් විසල් විය. ඔහු මෙතරමේ ඉවසීමක් තිබූ අයෙකු නොවේය. මහේල අරන්දර, ඔබ මෙතරම් වෙනස් වීද ? ඔබ මේ පෙන්වන්නේ මගෙන් දුරස්ව ඔබ ගෙවූ සයවසේ ඔබ පත් වූ පරිණත පරිපූර්ණත්වයද ?
මම වතුර වීදුරුවමම බිවෙමි. උදෑසන ආහාරය නොමැති වූ අඩුව දැන් දැනෙමින් පවතී. පසුගිය සය වස පුරාම ගැස්ට්‍රයිටිස් තත්වයෙන් ගැලවීමක් වූයේ නැත. රෝහල් ගත ව සිටින්නට වූ වාරද අනන්තය.
” ඔයාගේ මානසික ආතතිය වැඩියි දරුවෝ.. ඒකයි අසනීප සනීප නොවෙන්නෙ ? “
මගේ කතාව අසා සිටි කාරුණික වෛද්‍යවරයකු කීවේය. එහෙත් මා ආතතියෙන් මිදෙන්නට හැකි ක්‍රමයක් දැන උන්නේ නැත. හැම දවසකම, සියල් තත්පර වල මහේල අරන්දර නම් වූ මිනිසාට ද්‍රෝහි වන්නට ගිය පාපයෙන් මා දැවෙමින් තිබුණි.
” හරි .. මං ආයේ කියන්නද දැන් ?”
මහේල විමසුවේය. මම හිස සැලුවෙමි.
” මං බලාපොරොත්තු වෙන්නේ අසේකා කොකෝවා ඇටේ ඉඳන්ම ලංකාවෙන් අරගෙන මේ වැඩේ කරන්න .. මට ටෙක්නොලොජි තියෙනවා .. ඒ ගැන සැකයක් තියාගන්න උවමනා නැහැ …
ඒ වගේම අපිට ඕනි ප්‍රඩක්ශන් වලට කොකෝවා සප්ලයි එකට මෙහෙ ප්ලාන්ටේශන් විස්සක් ෆන්ක්ශන් වෙනවා.. මම ස්මෝල් ස්කේල් ප්ලාන්ටේශන් සීයක් වෙනුවෙන් දැනට ඩිසකශන් එකක් කරමින් ඉන්නේ….
දැනට ෆැක්ට්‍රි එකට ඕනි කරන එක්විප්මන්ට් හාර්බර් එකේ දැනට තියෙනවා .. රිලීස් කරගන්න සති දෙක තුනක් යාවි … මම මාපලාන කැම්පස් එකේ ග්‍රැජුවේට් කිහිප දෙනෙක්ව ඉන්ටර්වීව් කලා…. මනුර ඇමතිතුමා මගේ යාලුවෙක්.. ඌ සෙට් කලේ…. ඒ නිසා බේසික් වැඩ හරි…. අපි කට්ටිය ට්‍රේන් කරගන්න ඕනි …. ඊළඟට මිඩ්ල් ලෙවල් වලට කට්ටිය ගන්න ඕනි.. ඒකත් මම වී ටී ඒ එක එක්ක කතා කරලා තියෙන්නේ.. ඇග්‍රීමන්ට් එකක් එක්ක කිහිප දෙනෙක් ගන්න පුළුවන් එතකොට….
අකවුන්ට්ස් එක සෙට් …. මාර්කටින් පැත්ත අසේකා බලන්න ඕනි …. මනුෆැක්චරින් මම බලාගන්නවා…. “
මහේල අරන්දර ඉතා විශ්වසනීය අයුරින් පවසන්නේය. මම උන්නේ කිව යුතු දෙය ගලපාගන්නට නොහැකිවය.
” ඊළඟට ….”
මහේල අරන්දර යළි කතාව ඇරඹුවේය.
” කිරිබත්ගොඩ ටව්න් එකේ හෑන්ඩ් මේඩ් චොකලට් ශොප් එකේ… මාත් එක්ක අසේකා ඉන්න ඕනි එතැන … අපි ඒ බ්‍රෑන්ඩ් එක කිරිබත්ගොඩ ටව්න් එකෙන් පටන් ගන්න ඕනි ?”
“ස ර්.. එතකොට … අරහේ …?”
” එතැනින් මෙතනට ට්‍රාන්සර් වෙනවා… දෙකම මගේ නේ ? මුකුත් ප්‍රශ්නයක් ද ?”
” ඒත් සර් … ? මම .. එතන …අවුරුදු හයක් වැඩ…….”
මහේල අරන්දර සිනාසුණේය. මට ඒ සිනහව වැටහුණේ නැත. ඒ සමඟම මට නවතාගන්නට නොහැකි වූ ඔක්කාරයක් නැගුණේය. උගුර පිළිස්සීගෙන නැඟුණු යමක් මට නවතාගන්නට ඉඩක් නොලැබීම මුවින් ගිලිහුණේය.
“අසේකා …අසේ…කා…”
මහේල අරන්දර මා වෙත නැගිට එනු පෙනුණි. ඔහු මා වත්තම් කරගන්නවා දැනුණි. ඔහුගේ ඉතා වේගයෙන් ගැහෙන පපුවට මා තුරුළු වූ වග හැඟුණි. සියල්ල එතැනින් නැවතෙනවා නම් ……,
මට සිහිය ලැබුණේ කොහිදැයි මට අදහසක් වූයේ නැත. හිස ඔසවා බැලීමට උත්සාහ කලෙමි.
” දඟලන්න එපා …”
මහේල අරන්දර ක්ෂණයකින් මතු වූවේය. ඔහු උන්නේ සැහැල්ලු කමිසයක් ඇඳගෙනය. එය කලිසමට යට කර දමා නොතිබුණි.
මට කුමක් සිදුවූයේද ? ඔහුගේ ඇඳුම් වෙනස් වන්නට සිදුවූයේ කුමක්ද ?
” උදේට කෑවේ නැද්ද ?”
මහේල ගුගුරමින් කඩා පැන්නේය. මම හිස සැලුවෙමි. ඒ සමඟ සියල්ල සිහි විය. මට ඔක්කාරය නැඟි වමනය පාලනය කර ගත නොහැකි විය. මහේල අරන්දර කමිසය මාරු කර සිටින්නේ ඒ නිසාය. මම වහා මඟේ ඇඳුම් දෙස බැලුවෙමි. ඒවාද මාරු කර තිබුණි.
මම කෙලින් වී හිඳ ගත්තෙමි. සිටින්නේ රෝහලක බව දැන් පැහැදිලි ය.
” උදේට කෑවාද ඇහුවම ඔව් කිව්වේ ? බොරු කියන පුරුදු තවම අතෑරිලා නෑ නේද ? …”
කිඹුලා කන එක ඉවසිය හැක, එහෙත් කොහිල කටු ඇනෙන එක ඉවසාගන්නට නොහැක. ඔය ඇණුම්පදය මීට අවුරුදු හයකට පෙර යම් දිනයක් උදෙසා සූදානම් වෙමින් සිටියදී ඔහුට පැවසූ යමක් සිහි කරමිනි.
මම කිසිවක් නොකීවෙමි.
” අසේකා නොකා නොබී කාගෙන්ද පලි දරන්නේ ?” …”
“වෙලා තිබුණේ නැහැ කන්න … මං මෙච්චර කල් නොකා නොබී නෙවෙය්නේ ජීවත් වුනේ …?”
මම කඩා පැන්නෙමි. ඉන් මහේල අරන්දර තිගැස්සෙණු දුටු මට ඒ ස්වරය ආපසු හරවන්නට අවැසි විය. මා පවසන යමක අර්ථ දෙකක්, ස්වර දෙකක් ඇතිනම් හැමවිටම ඔබ වෙනුවෙන් වෙන් වන්නේ එහි ඔබට නොරිදන පැත්ත බව මට මහේල අරන්දර ට පවසන්නට අවැසි විය.
එහෙත් එය පවසන්නට හැකි වූයේ නැත.
” කට ගහගෙන එන්න නම් දන්නවා.. කෑවද ඇහුවම කෑවා ගෑවේ මොකද ?”
” මං මෙතනට ආවේ ජොබ් එකකට සර්.. කකා බිබී ඉන්න නෙවෙය්නේ … ඒකයි කෑවා කිව්වේ.. මට උදේ ලේට් වුණා… කන්න වුනේ නැහැ…”
මහේල ඉන් සැලුණේ නැත
” හොස්පිට්ල් බිල් එක පඩියෙන් කපනවා…”
“ඇයි අපිව ඉන්ශුවරන්ස් කරලා තියෙන්නෙ රෙස්ටෝරන්ට් එකෙන්…”
” ඒකට කමක් නෑ.. මට මේ සල්ලි තමුන්ගේ පඩියෙන්ම කපලා ගන්න ඕනි …”
මහේල අරන්දර තරහ පිරිමහන පාසැල් වයසේ කොල්ලෙකු සෙයින් කීවේය. මට සිනහ නැඟුනි. එහෙත් මම සිනහව ගිල ගත්තෙමි.
යම් සැහැල්ලුවක් දැනේ. ගතටද සිතටද නැවුම් බවක් දැනේ. ටික වේලාවකට පෙර මහේල අරන්දර ගේ පපුවේ රස්නයට ගුලි වූ ප්රහර්ශය මේ සියල්ලටම හේතුව වනවා විය හැක.
” රෙස්ට් කරන්න … මම ටිකකින් එන්නම්..”
ඔහු එවර කීවේය. මම හිස සැලුවෙමි.යන්නට හැරුණු මහේල යලි මා දෙස බැලුවේය.
” මාව මුණ ගැහෙන්න ආව බව කවුරු කවුරුද දන්නේ ?”
” කාටවත් කිව්වෙ නෑ..”
” ගුඩ් … මම බෑග් එකෙන් කී එක ගත්තා ..ඇනෙක්ස් එක අස් කරලා මම බඩු ටික ගේනවා…”
“ස ර්.. කොහේටද ? ඒකට මම ඉස්සරහ අවුරුද්දටම සල්ලි ගෙවල තියෙන්නේ … “
“නටන් නැතුව ඉන්නවා… සල්ලි ගෙවුවේ තමුන් නෙවෙය්නේ …”
එසේ කියා මහේල අරන්දර පිටවූවේය. මම උහතෝකෝටියක ගිලුනෙමි. නවාතැන වෙනුවෙන් හැම අවුරුද්දේ ම මුදල් ගෙව්වේ තාත්තාය. නැත්නම් නිර්මලී නැන්දාය. එහෙත් මහේල අරන්දර ඒ වගක් දන්නේ කෙලෙසද ? තාත්තා සහ ඔහු අතර පහුගිය කාලයේ වූ සම්බන්ධතාවය කුමක්ද ?
යලි අභ්‍යන්තර දැවීමක් ඇරඹුණේය.
මා නොදන්නා යමක් මා වටා සිදු වන්නේද?
මහේල අරන්දර මගේ ජීවිතය පාලනය කරන නූල් ඔහු අතේ රඳවාගෙනද?
| අපේක්ෂා ගුණරත්න |