සඳක් කළ සක්මන් – 22

මේ අවසාන මොහොත යයි මම සිතා ගතිමි. නෙරංජලා ගුරුගේ වූ කලී නූගත් ගැහැනියක නොවේ. ඇය රවටන්නට සිතීම ම අප අප ව රවටා ගැනීමකි. මා බිය වූයේ මේ මොහොතෙත් මට උදව්වක් ලෙස මා ගෙදර කැටිව යන්නට ඉදිරිපත් වූ ඇය ගේ සිත් හි සැකයේ බීජයක් පැළ වේවි කියා ය.

“ඇයි මං රංජි අංකල්ගෙං අහගෙනනෙ තිබුණෙ තැන”

ආකාශ් එක්වන ම කීවේ ය. ඒ පිළිතුරෙන් ගුරුගේ මැතිණිය සෑහීමකට පත් වේ දැයි නො දැන මම නිසොල්මනේ බලා සිටියෙමි. නමුත් හිත ඇතුළේ නම් කුණාටුවක කැළඹීම විය.

“අනිත් එක මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක මං දන්නව. එන ගමං මං පූජාට මැසේජ් කළානෙ කොහොමත්….ලොකේෂන් එක ශෙයා කරන්න කියල”

නිදහසට කාරණා මේ තරම් පවසන්න ට යාම තුළ ම ආකාශ් දෙස සැකයෙන් නො බැලෙන්නේ ද? මා සීතල වී සිටියේ රියෙහි වායු සමීකරණ තත්වය නිසාවෙන් ද කියා නො දනිමි. කෙසේ වෙතත් මගේ තොල් ඒ සීතලට ගැහෙමින් තිබිණි.

“හ්ම්”

නෙරංජලා සිය පුතණුවන් ව පිළිගත් බව හඟවන්නට හෝ නො පිළිගත් බව හඟවන්නට හෝ අකුරු දෙකක නො පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූවා ය. 

“බහිමු නේ…”

ආකාශ් කිසිදු වෙනසක් නැති නොදරුවෙකු සේ රියෙන් බැස්සේ ය. ඔහු ගේ ඒ හැසිරීම මා තුළ ම සිනහ නංවන සුළු විය.

“නෙළුම් මල් ගමු පූජා”

කියමින් නෙරංජලා මල් විකුණන්නන් වෙත හැරුණා ය. ආකාශ් හෙමිහිට මට ලං ව සවනට මිමිණුවේ ය.

“තව ඩිංගෙං මේ වැවට පැනල මාළුන්ට කියල කොටවගෙන මැරෙනනයි වෙන්නෙ”

දෙතොල් තද කොට සිනහ වෙමින් මම ඉවත බලා ගතිමි.

“හිනා තමයි. මෙයා ඒ වෙලාවට ඉන්නව ගොළුව වගේ. මාව බිල්ලට දීල”

“මං මොනා කියන්නද…ඔයාගෙන්නෙ ඇහුවෙ”

“අනේ ඇත්තට ඉඳල ඉඳල අපිත් යාළු කර ගත්ත කෙල්ලො”

“ඉඳල ඉඳල…ඉඳල ඉඳල මාව අල්ලගන්න කලිං තව හත් අට දෙනෙක්වත් ඉන්න ඇති”

“එහෙම වෙන්නැති ආස නේ…”

නෙරංජලා තෙල් මල් ගෙන අප වෙත ආවෙන් ඒ කතා බහ නැවතිණ.

ඇතැම් මොහොතවල් තිගැස්මක් ගෙන ආව ද ඒ දවස පුරා මා හිටියේ අමුතු සතුටකිනි. සමහර හැඟීම් වලට, මෙන්න මේක යයි ඇඟිල්ල දිගු කොට පෙන්වන්නට තරම් හේතු නැත්තේ ය. ආකාශ් සමගින් නුවර අහස යට තනි ව සිටි දවසකටත් වඩා, ඔහු හා නෙරංජලා යන දෙදෙනා ම සමග ගත වූ හෝරා කිහිපය සැනසුම් සහගත විය. අප ගෙදර පැමිණියේ රෑ බෝ වී ගෙන එත්දී ය.

ගෙට ගොඩ වෙත්දී ම එහි මහත් අපිළිවෙලක් මට දැනිණ. මා ගෙදර සිටියදී නම් හැම දාක ම ගේ අස් පස් කොට අතු ගෑවේ මා ය. අපේ තනි කාමරයේ මුලින් නම් කිසිදු සිත් ඇද ගන්නා යමක් නොවී ය. නමුත් ඒ පරණ ඇඳත් පුටු දෙක තුනක් හැකි තාක් පිළිවෙලට තබා මම ගේ අතු ගෑවෙමි. මිදුල වටේත් අතු ගා පිරිසිඳු ව තබා ගතිමි. නමුත් මා ගෙදර නො සිටි මාසයක් ඉක්ම ගිය කාලයේ දී ඒවා ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූ බවක් පෙනෙන්නට නො තිබුණේ ය.

කොහොමටත් අම්මා සිය පෙනුම ගැන මිස ජීවත් වෙන තැන ගැන සිතූ තැනැත්තියක නොවේ. අශෝභන ගුබ්බෑයමක සිට හෝ හැඩ වැඩ වී පිටතට යාම පමණක් ඇගේ ක්‍රමය විය. ඒ නිසා ගෙදර අවුල් සහගත බව ගැන මම ඇය සමග කිසිත් කතා කරන්නට නො ගියෙමි.

අම්මා ගේත් තාත්තා ගේත් ඇඳුම් තිළිණ කිරීමෙන් පස්සේ, තාත්තා ට නො පෙනී මම නංගිට ගත් ත්‍යාගය අම්මා අත තැබුවෙමි.

“මං ඉද්දි නංගි ආවෙ නැති වුණොත් එයා ආව වෙලාවක අම්මා දෙන්න”

“එයා එයි. ඔයා ම දෙන්නකො”

ඇය සිනහ වී කීවා ය. මට ඇගේ සිනහවේ අමුත්තක් දැනිණ.

“තාත්තා ඉන්න වෙලාවටත් දැං නංගි  එනව. තාත්තා කතා කරන්න යන්නෙනං නෑ”

මගෙන් සුසුමක් ගිළිහිණ. දරුවන් කවර වරදක් කළත් දෙමාපියන් ඒ ගැන කේන්ති ගන්නේ ඒ වෙලාවට විතර ය. ඔවුන් කළ වරදක් වෙනුවෙන් ජීවිත කාලය තුළ ම පළි දරනා දෙමාපියන් අල්ප ය. තාත්තා ගැන මට දුකක් මිස පුදුමයක් දැනුණේ නැත. කොහොමටත් ඔහු කියනා දේවල් ක්‍රියාවෙන් කොට පෙන්වන කෙනෙක් නොවේ. තෙසේ වෙතත් ඉතා ළාබාල දැරියක ලෙස පිරිමියෙකු සමගින් නික්ම ගිය නංගී තව දුරටත් ගෙදරත් එක්ක සම්බන්ධතා පවත්වන එක හොඳ යයි මට සිතිණ. ඇය තවමත් ජීවිතය ගැන අංශු මාත්‍රික අවබෝධයක් නැති දැරියක වන නිසාවෙනි.

උදේ නංගී ගෙදර ආවා ය. තුන් වේල ගෙදරින් කා රෑට කන්න අජිත් ට කෑම ටිකක් ද ගෙන ඇය අජිත් ගේ ගෙදරට යන බව මම දැන ගතිමි.

“අයියෝ…අක්ක ඉස් ඉස්සල්ලම ගත්ත පඩියෙං මට මෙච්චරද අප්ප ගෙනාවෙ…”

මා ගෙන ආ ගවුම අතට ගෙන බැලීමෙන් පසු ඈ නැගුවේ ආඩපාලියකි. මගේ මුහුණ වෙනස් වී ගිය බවක් අම්මා දකින්නට ඇත.

“අක්ක තියන විදිහටනෙ පොඩ්ඩි ගෙනත් තියෙන්නෙ. අනිත් එක අපි කී දෙනෙකුට ගේන්නද…අනිත් එක මහ ලොකු පඩියක් අරගෙනයැ”

“නෙරංජලාලටනං අක්ක සෑහෙන්න තෑගි ගෙනත් දෙන්න ඇති”

“ඒ මනුස්සයට මං පොඩි ඇන්තූරියන් මල් පැළයක් විතරයි අරං දුන්නෙ. හැබැයි මහ මෙරක් ලැබුණා වගේ සතුටු වුණා”

මා එය කීවේ තරමක නො රිස්සුමකිනි. නංගී තවමත් ලද දෙයින් සතුටු නො වන්නී ය. අනුන්ට ලැබුණ පංගුව ගැන සිතන්නී ය. ඇය ජීවත් වන්නට කවදා කොතැනකින් ඉගෙන ගනීවිද කියා සිතා ගත නො හැක. 

“දැං අජිත් රස්සාවක් කරනවද…”

ඒ ගැන විමසීමේ අයිතියක් මට තිබෙනවා කියා මම සිතමි. ඇය මගේ නංගී ය. එසේ ම ඇය බාල වයස්කාර ය. දැනුවත් ව හෝ නො දැනුවත් ව ඇය වරදක් කර ගත්තා ය. ඒ වරද හැකි ලෙස සකසා ගනු මිස ඒ නිසාවෙන් ඇගේ අනාගතය විනාශ වන්නට ඉඩ හැරිය නො හැකි ය.

නමුත් නංගී නො සැලකිලිමත් ලෙස ඉවත බලා ගත්තේ මා මට අදාල නොවන කාරණයක් ඉස්මතු කළා ලෙසිනි.

“රස්සාවල් කොහෙද එහෙම තියෙන්නෙ…දැං ඔයත් ඔච්චර දුර ගිහිං ඉන්නෙ ඒකනෙ”

නංගී ගේ වචන වල නො රිස්සුම තැවරී තිබිණ. ඇය එය මගෙන් සඟවන්නට උත්සාහ කළේ ද නැත.

“දුරක හරි රස්සාවක් තියෙනවනං එයාට ගිහිං කරන්න කියන්න. මොකද අත ළඟින් හම්බ වෙනකල් ඉඳල බෑනෙ දැං”

“ආ…හරි ශෝක්. දුර ගිහිං කොහොමද…”

“ගෙදරට කරල තියං ඉඳල කන්න බොන්න කොහෙන්ද…හැමදාම ඔය දෙන්නටත් එක්ක තාත්ත ද එතකොට හම්බ කරල ගෙනත් දෙන්න ඕනෙ…”

මගේ කෝපය ඉස්මතු වෙමින් තිබිණි. 

“ආ…මේ බලන්නකො අම්මෙ මෙයා. අපි මෙහෙංම කයි කියල ඒ ගමන මෙයා බය වෙලානෙ. ඔයා බය වෙන්න එපා. කෑවත් අපි තාත්තා ගෙන්නෙ කන්නෙ. ඔයා හම්බ කරන ඒව නෙවෙයිනෙ”

“හරි හරි දෙන්නම දැන් නවත්ත ගන්න”

අම්මා දුර්වල ලෙස මැදිහත් වූවා ය. එවිට මගේ කේන්තිය වඩාත් උත්සන්න විය. 

“දෙන්නම නවත්තගන්න කියල කියන්නෙ ඇයි….අම්ම එයාට නවත්තගන්න කියන්න. මොකද්ද දැං මෙතන මං කරල තියෙන වැරැද්ද…” 

මම අම්මා ට සැර වුණෙමි. නංගී තව දුරටත් ඇය කළ වරද අමතක කොට මේ ආකාරයෙන් හැසිරෙන්නේ අම්මලාගේ මේ බුරුල නිසා ය. අම්මා කිසි දවසක සිය දරුවන් ට ප්‍රබල ලෙස අවවාදයක් දී ඔවුන් යහ මගට ගන්නට තරම් දිරියක් තිබූ ගැහැනියක නොවේ.

කේන්තිය වැඩි කමට මම නැගිට ගුරුගේ මැදුර වෙත ගියෙමි. නෙරංජලා ගුරුගේ මල් පැළ වලට සත්කාර කරමින් සිටියා ය. මගේ මුහුණ දුටු ඕ එහි වෙනසක් දැක ගන්නට ඇත. කිසිවක් නො කියා ම කරමින් සිටි කාරිය නතර කළ නෙරංජලා අත් දෙක සෝදා ගෙන සිමෙන්ති ගල් ඇල්ලූ අඩි පාරට පිවිසියා ය.

“යං පූජා ඇතුළට”

ඒ වෙලාවට ආකාශ් ගෙදර නො වන බව මම දනිමි. ඒ නිසා ඔහු ගේ දඟකාර කමක් ගැන බිය සැක වන්නට කාරණයක් නැති ව මට එහි ඉන්නට පුළුවන. මේ වෙලාවේ එයත් හිතට පහසුවකි.

“ඊයෙ රෑ හදපු ෆෘට් සැලඩ් ඇති. අපි කමු”

ශීතකරණය හැර අප දෙදෙනාට ම කැටයම් සහිත වීදුරු අතුරුපස බඳුන් දෙකකට පළතුරු සලාද දැමූ ඕ, ඒ මතින් වැනිලා අයිස් ක්‍රීම් දැමුවා ය. ඉන් පසු එකක් මා ඉදිරියේ මේසය මතින් තබා, පුටුවක් ඇද හිඳ ගත්තා ය.

“අපේ අම්මටයි තාත්තටයි මොළේ නැද්ද කියල මට තේරෙන්නෑ ආන්ටි”

ඇය යමක් නො විමසා ම මා කතාව පටන් ගත්තේ හිත නිදහස් කර ගැනීමේ උවමනාවක් දැඩි ව මට දැනෙමින් තිබි නිසා වන්නට ඇත.  නෙරංජලා ප්‍රශ්නාර්ථයෙන් මදෙස බැලුවා ය.

“මොන විදිහකට හරි නංගි පිරිමියෙක් එක්ක ගියානෙ. දැං ඉතිං ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙ ජීවිත ගැන බලා ගන්න ඉඩ දෙන්න ඕනෙ. මේ ගොල්ලො කරන්නෙ ආයෙ නංගිව ගෙට ගෙන්න ගෙන තුන් වේලම කන්න දීල අර මනුස්සයටත් බත් එකක් ඔතල දීල යවන එකනෙ. මං කතා කරන්නෙ කන්න ටිකක් දෙන එක ගැන නෙවෙයි ආන්ටි. ඒත් මේගොල්ලො ඒගොල්ලන්ට පවුල් ජීවිතේ ගැන වගකීමක් දරන්න කියල දෙන්නෙ නෑනෙ ඔය වැඩෙං. අර මිනිහත් දිගටම ඔය විදිහට කාල ඉන්නම පුරුදු වෙයි. රස්සාවක් නොකර…”

මා කියවා ගෙන ගියේ හුස්ම ගන්නේවත් නැතිව විය යුතු ය. නෙරංජලා ගුරුගේ මා අනුමත කරමින් හිස සැලුවා ය.

“මමත් දැක්කා ඕක සිද්ද වෙනව. පූජා කියන කතාව හරියටම හරි. ඒත් ඔයා ඕව ගැන කලබල වෙලා ප්‍රශ්න ඇති කර ගන්නෙ නැතුව ඉන්න දරුවො”

ඇය කතා කළේ කරුණාවන්ත මෙහෙණක සේ ය. ආකාශ් ගේ මුණිවර හඬත් නෙරංජලා ගේ කතා විලාශයත් අතරේ සමාන කමක් හොයන්න ට මම ඒ අව් අස්සේ තැත් කළෙමි.

“දෙමව්පියො එහෙම තමයි. දරුවො මිනී මැරුමක් කරල ආවත්…වැරදි බව දැන දැන වුණත් බලන්නෙ ඒ දරුවව නිර්දෝශී කරන්න. දෙමව්පියො කියන්නෙ ඒ වගේ අයට”

මම අමාරුවෙන් අයිස් ක්‍රීම් බිඳක් ගිල ගතිමි.

“ඔය අජිත් කියන මනුස්සය ගැන නං කිසිම පැහැදීමක් ඇති වෙන්නෑ තමයි. බලන්නකො හැටි. මං හිතන්නෙ නංගිට වඩා සෑහෙන්න වයසත් ඇති”

මම සිනහවක් නගා ගතිමි. සිනහවකට වඩා එය ලං වූයේ ඉකි බිඳුමකට ය.

“තාත්තගෙ යාළුවොනෙ ආන්ටි”

“මටත් හිතුණා ඔය මනුස්සයට අංකල්ට කියලවත් මොකක් හරි රස්සාවක් හොයල දෙන්න. ඒත් බයයි පූජා. නැත්තං ඔයා වෙනුවෙං මට කරන්න බැරි දෙයක් නෑ”

පපුව මැද ම විදාරණයක් සිදු වූවා සේ ය. මම බිම බලා ගතිමි. මා වෙනුවෙන් කරන්න ට බැරි දෙයක් නැති බව ඇය කියයි. නමුත් සිය පුතනුවන් ව මට දෙන්නට ඇය ට හැකි වේද? ඇය එසේ නො කළත් කිසි දා ඈ ගැන ද්වේශයකින්, වෛරයකින් සිතන්නට මට හැකි වේ ද? මිනිසුන් ට කළ හැකි දේවල් තිබේ. මිනිසුන් ට කළ හැකි දේ වල සීමාවක් ද තිබේ. ඒ සීමාවෙන් ඔබ්බෙහි දේවල් ඔවුන් වෙතින් බලාපොරොත්තු වීම ද මිනිස් කමට කරනා නිගාවක් කියා මට සිතේ.

“ඒකට කමක් නෑ ආන්ටි. ඔය මනුස්සය මේ ගමේ කරල තියෙන දේවල් අපි දන්නවනෙ. හොරකම්ම කීයකට අහු වෙලා ඇද්ද…කී සැරයක් ඔය ඩ්‍රග්ස් ප්‍රශ්න වලටත් හිරේ වැටිල ඇද්ද…වැඩක් නෑ…ආයෙ එළියට ආවහමත් කරන්නෙ ඒවමයි. ඒ වගේ මිනිස්සු ජොබ් වලට දා ගන්න එක රිස්ක් එකක් ආන්ටි. මගෙ නංගි තමයි…ඒත්…”

නෙරංජලා මා සමගින් බොහෝ වේලා කතා කරමින් සිටියා ය. ඇගේ ලොකු ලේලිය ගැන මෙතෙක් හිතේ හිර කර ගෙන උන් වේදනාත්මක කතාවක් ද මේ අතරේ ඇය මා හා කීවා ය. 

“අපි දුක් විඳල පුතාල හදල හොඳ පවුල් වල ගෑනු ළමයි හොයල කසාද බන්දල දෙනව. ඒත් ඊට පස්සෙ ඒ අය හිතන්නෙ අපේ කොල්ලංගෙ පෙකණිවැල කැපුවෙත් එයාල කියලයි. මෙහෙම හිටියට මාත් හරි වේදනාවෙං ඉන්න අම්ම කෙනෙක් පූජා. ඒකයි ඔයාගෙ දෙමව්පියො නංගි ගැන හිතන විදිහ ගැන වුණත් උපේක්ෂාවෙන් බලන්න කියල මං ඔයාට කිව්වෙ”

හැම වෙලාවේ ම සිනහ වෙන, ජීවිතයේ සියල්ල උපේක්ෂා සහගතව ම භාර ගන්නා බවක් පෙන්වන නෙරංජලා ගුරුගේ ගේ ඇස් වලට කඳුළක් උනා ආවේ ය. ඒ කඳුළෙන් මම සසල වී ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles