සැරිසරන්නී -21

සමරහ වෙලා වලදී ඉරණම කෙතරම් නරක ලෙස අපත් එක්ක සෙල්ලම් කරනවා ද කියා දැනෙනු ඇත. මට මේ එවන් මොහොතකි. සාමාන්‍යයෙන් මා බොරු කියන්නියක නොවේ. විශේෂයෙන් ම අම්මා ට තාත්තා ට බොරු කියන්නට හේතු මෙතෙක් මගේ ජීවිතයෙහි වූයේ නැත. මෙහෙම මොහොතකට ඉරණම මා ව තල්ලු කර ගෙන ගිය එක ගැන මා තුළ ඇති වූයේ දොම්නසකි.

“සුනෙත්…මේ අම්මට ඔයා එක්ක කතා කරන්න ඕනලු”

කියමින් මම දුරකතනය අම්මා වෙත පෑවෙමි. මගේ සිරුරේ සියලු සෛල, තන්තු පටක වේගවත් ගැස්මකට ලක් ව තිබිණි. 

“හෙලෝ…සුනෙත් පුතා…”

අම්මා ගේ කට හඬ වෙනදා සේ ම ආදරණිය වූයේ ය. ඇත්තටම ඇය මා කෙරේ සරකයකින් ක්‍රියා කළා නොව සුනෙත් ට කියන්න ට යමක් ඇයට වූ බව පෙනෙන්නට තිබිණි.

“හෙලෝ…හෙලෝ…සුනෙත් පුතා…”

“ඇයි…”

මගේ තොල් පැටලී ගියේ ය.

“නෑනෙ”

මම දුරකතනය ගෙන සවනෙහි තබා ගතිමි. එහා ඉමෙන් බිඳ වැටී තිබිණි.

“මං අම්මත් එක්ක කතා කර කර ඉන්න අතරෙ සුනෙත් ලයින් එක කට් කරන්නැති. ඉන්න මං කෝල් බැක් කරන්න”

මා ඔහු අමතන්නට ගියේ ඇත්තට ම ය. අම්මා එපා කියාවී කියා මා සිතුවත් එසේ වූයේ නැත. 

“මොකද අප්ප…චුට්ටක් ඇස් දෙක පියවේගෙන ආව විතරයි”

ඔහු ගේ හඬ අම්මා ට ඇසේවියි මම බිය වුණෙමි.

“මං ඔයත් එක්ක කතා කරන අතරෙ අම්මා ඇවිත් ෆෝන් එක ඉල්ලුව පණිවිඩයක් තියෙනව කියන්න කියල. මං දෙද්දි ඔයා කට් කරලනෙ. ඉන්න. අම්ම ඉන්නව”

නිදි මතේ සුනෙත් ඒ කෙසේ වටහා ගත්තා දැයි නො දනිමි. කෙසේ වෙතත් ඔහු මා බේරා ගනු ඇත යන විශ්වාසය මට විය.

“පුතේ. අම්ම කිව්ව ඇඳුම් වගයක් මහ ගන්න තියෙනව කියල. මේ දවස් වල ටිකක් වැඩ අඩුයි. දැන්ම ගේන්න කියන්න. නැත්තං ඉස්සරහට අවුරුදු නිසා ඔළුව උස්සගන්න බැරි වෙයි. හරි පුතේ. බුදු සරණයි එහෙනං…ඉන්න මං සනූට දෙන්නං”

අම්මා යළිත් දුරකතනය මවෙත පෑවා ය. මම එය කනෙහි ගසා ගෙන බැල්කනි බැම්මට බර වුණෙමි.

“මොකද්ද බං ඒ වුණේ…”

සුනෙත් විශ්මයයෙන් ඇසුවේ ය. 

“නූලෙං ගොඩ ගියා”

මම හොරැහින් පිටුපස බලමින් කීවෙමි. අම්මා රෙදි ටිකත් ගෙන පඩි පෙළ වෙත යමින් සිටියා ය. 

“රවීන් එක්ක කතා කර කර ඉද්දි ද අම්මා ආවෙ…”

“ඔව්නෙ. තාම මං හුස්ම ගන්නවද මන්දා. පිං ආ”

“අපිට ඉතිං ඒ වගේ දේවල් තමයි ලැබෙන්න තියෙන්නෙ”

සුනෙත් දියාරු හඬකින් කීවේ ය.

“හරි දැං ඔයාට මොනාද ලැබෙන්න ඕන…”

“නෑ නෑ මුකුත් නෑ. දැං මට ටිකක් නිදා ගන්න දුන්නනං හොඳට ම ඇති”

“නිදියනව එහෙනං”

කියමින් දුරකතන සම්බන්ධය බිඳ දැමූ මම තවත් එතැන නොරැඳී පහළට ගියෙමි. අම්මලා එක්ක මෙහෙම සෙල්ලමක් කරන්නට නො හැකි බව මට දැනෙමින් තිබුණේ ය. අනිත් අතට මා වූ කලී පාසල් සිසුවියක් නොවේ. පෙම් සබඳකමක් වුණත් එය ගෙදරට හංගා ගෙන සිටිත යුතු වයස පහු කොට විත් ටික කලක් ගත ව තිබේ. 

එක අතකට ඒ වයසේ ම සිටියා නම් හොඳ ය කියා ද දැන් මට සිතේ. එහෙම විණි නම් තාත්තා කියා දෙන කතන්දර අසමින් අම්මා කවන බත් ගුලි ගිලින්නට තිබිණි. ජීවිතය ගැන මෙහෙව් බරපතලක් නො සිතා, සුරංගනා කතාවක චරිතයක් වී කුමාරයෙක් අශ්වයෙකු පිට නැගී එන තෙක් බලා ඉන්නට තිබිණි. නමුත් හැබෑ ජීවිතය, අම්මා කී සුරංගනා කතා වලට ඔබ්බෙන් වන්නක් බව දැන් මම දනිමි.

මේ රාත්‍රිය ඉක්මනින් ගෙවා ගැනීම මගේ පරම පැතුම වී තිබුණේ ය. රවීන් ගේ ටයි පටිය හැකි ඉක්මනින් ගෙදරින් පිටමං කළ යුතු ය. බෝම්බයක් හංගා ගෙන ඉන්නා සේ එය මගේ හද ගැස්ම වැඩි කරයි. මා බිය පත් කරයි. නරක යමක් සිදු වෙතැයි ගැස්මකින් මා නො සන්සුන් කරයි. 

බස් එකක් එන තුරු ම රවීන් බස් නැවතුමට ආවේ නැත. මා ඒ බසයේ නැගෙන්නට යත්දී ඔහු ගේ රිය නලා හඬවනවා ඇසිණි. හැරී බැලූ මට රවීන් හිසින් කතා කළේ ය.

“බස් වල යන්න ඉන්න කෙල්ලන්ව කාර් නවත්තල මහත්තුරු දාගෙන යන්න ගත්තහම අපි මේ රස්සාව කරන් ජීවත් වෙන්නෙ කොහොමද දන්නෑ නේ..”

කොන්දොස්තර කොලුවා විහිළුවක් කරනු ඇසුණේ ය. මම එය නෑසුණා සේ රවීන් ගේ රියෙහි නැගුණෙමි. නැගුණ ගමන් බෑග් එක ඇද ටයි පටිය ගෙන කැබි හෝල් එකට දැමුවෙමි. රවීන් හඬ නැගෙන්නට සිනහ වුණේ ය. 

“ඇයි…”

මා හෙළුවේ ඇස් කුඩා කොට ගත් නෝක්කාඩු බැල්මකි.

“චණ්ඩි රැජිණ ඒ වුණාට. ටයි එක ගෙදරට අහු වෙයි කියල පණ බයේ. මේ සම්බන්ධෙ ගෙදරට අහු වුණ දාට කොහොම තියෙයිද…මට හොයා ගන්නවත් නැති වෙයි මං ළඟ ටික කාලෙකට මෙහෙම කෙල්ලෙක් හිටියද කියලවත්”

“එහෙම නෑ”

එසේ කීවාට මගේ හඬෙහි වූ දුර්වල බව මට ම දැනිණ. සැබවින් එහෙව් දිනක් කෙසේ වේවිද කියා සිතන්නට හෝ මට හැකි වූයේ නැත. එදාට අම්මා ගේ කෙසේ වතුදු මා තාත්තා ගේ මූණ බලන්නේ කෙසේ ද? මුළු පවුලෙන් ම හොඳ ම ගෑනු ළමයා ලෙස නමක් දිනා සිටි කෙල්ලකට මේ වගේ දෙයක් කෙසේ බලපානු ඇත්ද? ඒ අවමානය විඳ ගැනීම කෙසේ වතුදු තාත්තා ගේ එක බැණුමක් අසා ගන්නට තරම් මට දිරියක් ශක්තියක් තිබෙනු ඇත් ද?  මුළු ලෝකයෙන් ම සැඟවී ගනු වස් පොළොව යට වළක් හාරා ගන්නට මට සිදු වේවි ද?

මම හිස මඳක් සලා ඒ සිතිවිල්ල මගේ මනසෙන් ඈත් කොට දැමීමේ උත්සාහයක් ගතිමි.

විනෝද චාරිකාව සඳහා සහභාගි නො වන්නට ඔහු සිතා සිටිනා බවක් රවීන් කීවේ ය. මගේ සිත්හි පාළු ශෝකී බවක් ඇතිල්ලී ගියේ ය. කාටවත් නො පෙන්වා සිටියා ට මේ වතාවේ චාරිකාව ගැන මගේ හිත ඇතුළේ වූයේ වෙන කිසි දා ක නොවූ විදිහේ තිගැස්මක් සපිරි බලාපොරොත්තුවකි. ඊට හේතුව රවීන් බව මම දැන සිටියෙමි. ප්‍රේමයක් පිළිසිඳ ගත් සිතක ඇති විය හැකි එබඳු ස්වභාවික තත්වයන් යනු කිසිවෙකුට ආගන්තුක ඒවා නොවිය යුතු ය. 

“අනේ…යමුකො”

“යන්න පුළුවන්. ඒත් ඒක ලොකු අවදානමක් වෙන්නත් පුළුවන් සනූ. ඔයාට හිතේ නිදහසේ ඒ ගමන ගිහින් එන්න නැති වෙයි මං ආවොත්”

“ඔයා නාවත් එහෙම වෙයි”

අන්තිමට මගේ පෙරැත්තය නිසා ම ඔහු ආවේ ය. මේ පවුලේ චාරිකාවේ දී බස් රථයේ පිටුපස අසුන් අල්ලා ගන්නේ තරුණ ළමයින් ටික ය. මැද පෙළ වැඩිහිටි පිරිමි පාර්ශවය වෙනුවෙන් ද ඉදිරි අසුන් බවලත් උදවිය වෙනුවෙන් ද වෙන් වේ. පවුලේ කෙනෙකු නොවූවත් දැන් දෙවතාවක් පමණ සුනෙත් ද මේ ගමනට එක් වූයේ ය. හැම පවුලක හැම ළමයෙකු ට ම මිතුරන් වී ද ඔවුන් සුනෙත් වාගේ පවුලේ මිතුරෙකු ගේ තත්වයට පත් වූයේ නැත. අපේ පවුලේ කොයි ගෙදරක විශේෂ යමක් වී ද ඔහු පැමිණෙයි. 

“ජානාට පුතෙක් නැතුවට කමක් නෑ. දැන් ඔය එක පාරටම ලොකු වෙච්ච පුතෙක් හම්බ වෙලා තියෙන්නෙ”

නැන්දලා එහෙම කියන්නේ අම්මා ට ය. ජනරංජනී ලෙස උප්පැන්න සහතිකයේ නම සඳහන් අම්මා ට හැම කෙනෙක් ම කතා කරන්නේ ජානා කියා ය.

“ජානාට එක පුතෙක් නැතුවට මොකද දවසක පුතාල දෙන්නෙක්ම හම්බ වෙයි”

එතකොට ආච්චා කියන්නී ය. කොහොමටත් අම්මා පුතෙකු නැති කම නිසා තැවුණු බවක් මා දන්නේ නැත. මා සේ ම නංගී ද ඇයට එවන් අඩුවක් දැනෙන්නට ඉඩ නොතැබුවා කියා සිතමි. අම්මා අප ට දුවේ කියා සේ ම පුතේ කියා ද කතා කළා ය. 

“පුතෙක් ට දුව කියල කතා කරන්න බැරි වුණාට දුවෙක්ට ඒ නම් දෙකෙන්ම කතා කරන්න පුළුවන්නෙ”

අම්මා ඒ ගැන ආඩම්බරයෙන් කියන්නේ එවැන්නකි. 

සුනෙත් අම්මා ගේ හදවත දිනා ගන්නට කෙටි කලකින් ම සමත් වූවා කියා සිතමි. ඔහු ගේ සැහැල්ලු හාස්‍යොත්පාදක ගති ස්වභාවයට ඈ වඩාත් රිසි වන්නට ඇත. පවුලේ අය මා හා සුනෙත් අතර වන ඇසුර ගැන දරනා අදහස් ගැන වුව ඇය කලබල වූයේ නැත. මා සුනෙත් වැන්නෙකුට පෙම් කරන්නට නොපෙළඹෙනා බවට අදහසක් අම්මා තුළ වූවා දැයි නො දනිමි.

මේ වතාවේ චාරිකාවේ දී පවුලේ සාමාජිකයන් නො වනා දෙදෙනෙකු ඊට එක් වී සිටියහ. ඒ සුනෙත් හා රවීන් ය. ඔවුන් දෙදෙනා මීට පෙර සිට දැන හැඳින සිටි බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. කෙසේ වෙතත් මේ ගමනේ දී සුනෙත් හා රවීන් වඩාත් කුළුපග වූහ. රවීන් ගමනට හවුල් වීම ගැන මගේ හිතේ වූ ගැස්ම තුනී කරන්නට එය හේතුවක් විය. පවුලේ අයගේ ඇස් ගැන බියක් නැතිව, බස් රියෙන් බැස සැරිසරනා අවස්ථා වලදී මට රවීන් ගේ ඇසුර ලැබිය හැකි වූයේ සුනෙත් නිසා ය. සංචාරය තුළ දී මා හා සුනෙත් ද ලොකු අයියා හා රවීන් ද නිරායාසයෙන් එක කණ්ඩායමකට වැටී තිබිණි. නමුත් ලොකු අයියා අපේ ඇසුර ගැන නො දැන සිටීම මට අභියෝගයක් සේ ම සුන්දරත්වයක් ද ගෙන එන ලද හේතුවක් විය.

අපේ ගමනට ත්‍රිකුණාමලය වරාය, නිලාවේලි වෙරල, අම්පාර දිස්ත්‍රික්කයට අයත් බුද්ධංගල ආරණ්‍ය සේනාසනය ඇතුළු තවත් නැරඹුම් ස්ථාන රාශියක් ඇතුළත් ව තිබිණි. වෙනදා සේ මගේ මතකයේ ඒ ස්ථාන තැන්පත් වූවා දැයි සැක සහිත ය. මා හිටියේ රවීන් ගේ කාන්දම් ඇස් මානයේ වෙනම ම ලෝකයක ය. බොළඳ විය යුතු නැති බව මම දැන සිටියෙමි. නමුත් ආදර සම්බන්ධයක මුල් අදියර වූ කලී කිසි සේත් ඒ බොළඳ සුන්දරත්වයෙන් මිදී ගත නො හැක්කකි.

“මං රවීන් ට කැමතියි”

නිලාවේලි වෙරළේ දී සුනෙත් කීවේ ය.

“මොකක්…”

මම මුව අයා ගෙන ඔහු දෙස බැලුවෙමි. සුනෙත් හඬ නගා හිනැහුණේ ය. ඒ සිනා හඬ සයුරේ ඝොෂාවත් එක්ක ගසා ගෙන යන ලදී. ඒ නැතත් මා හා සුනෙත් අතරේ ඇති වන සිනා කතා ගැන අපේ පවුලේ අය ඒ හැටි උනන්දුවක් දක්වන්නේ නැත.

“මොකද්ද යකෝ හිතුවෙ…මං කිව්වෙ උඹ රවීන් ට කැමති වුණාට මං කැමතියි කියල”

“ඒක මිසක්. එ්ත් ඇයි ඒ…”

“නෑ…ඒකගෙ අවුලක් නෑ වගේ. කෙල්ලො අන්දන ඩයල් එකක් නෙවෙයි වගේ”

“එහෙම ඩයල් වලට අපි අහු වෙන්නෑ හරිද…”

ගමනේ යම් යම් අවස්ථා වලදී රවීන් තාත්තා සමගින් කතාවට වැටී සිටිනවා මම දුටිමි. ඒ වගේ දර්ශනයක් ලෝකයේ සිටිනා ඕනෑ ම දුවක ගේ හදවත ප්‍රීතියෙන් පුම්බා දමන්නක් බව මා අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි. තාත්තා ගේ හිත දිනා ගන්නට රවීන් සමත් වෙනවා නම් හා අපේ ඇසුර ට දිනෙක තාත්තා ගේ ආශිර්වාදය ලැබෙනවා නම්, ඉනික්බිති ලෝකයෙන් මම වෙන කිසිත් ඉල්ලා නො සිටිමි.

චමත්කා උත්සාහ කළේ රවීන් ගේ අලුත් හිමිකාරිය සේ හැසිරෙන්නට ය. නමුත් රවීන් හැකි තාක් ඇගෙන් ඈත් ව සිටින්නට උත්සාහ කළේ ය. මා මූණ එල්ලා ගනු ඇතැයි ඔහු බිය වූවාට සැක නැත.

“සනුකි. මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියනව”

වතාවක් මා බෙලි කටු ඇහිඳිමින් වෙරලක හුදෙකලා ව සිටියදී චමත්කා මවෙත විත් තිබුණා ය.

“කියන්න”

මම ගාණකට නැතුව කීවෙමි.

“ඔයත් එක්ක රවීන්ට ඔය තරං තියෙන ඇයි හොඳයිය මොකද්ද…”

මගේ ඇස් බැමි හැකිළී නළල රැලි නැංවෙන්නට ඇත. දෑස් වඩාත් සිහින් කර ගෙන මම චමත්කා දෙස බැලුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content