“මම ඇත්තටම ආදරෙ කරන අය මේ ලෝකෙ ඉන්නෙ හරි පොඩ්ඩයි. ඒ අතරෙනුත් මම හිතන අය ඉන්නෙ තවත් අඩුවෙන්. මම ලෝකෙ දකින වාර ගණන වැඩිවෙද්දි මම හැමදෙයක් ගැනම තියෙන ආසාවත් අඩුවෙලා යනවා. ගෙවෙන හැම දවසක්ම ගානෙම මිනිස්සුන්ගෙ තියෙන නොගැලපීම් ගැන මගේ විශ්වාසය තව තවත් තහවුරු වෙන එක තමයි වෙන්නෙ”
සිකුරාදා මූවි නයිට් එක වෙනුවෙන් කේශිනී සහ භාශිත තෝරාගෙන තිබුනේ පරණ චිත්‍රපටයකි. ජේන් ඔස්ටන් ගේ Pride and Prejudice නවකතව ඇසුරු කරගෙන තනා තිබූ චිත්‍රපටය එතන උන් බොහෝ දෙනා රස වින්දාක් විය.
අරුණලී Pride and Prejudice මෙයට කලින් බලා තිබූ චිත්‍රපටයක් නොවේ. එහෙත් ඒ පලමු දර්ශනයෙන්ම සිත් පැහැරගත් කතාවකි. එවන් කාල වකවානුවක එවන් තුරුණු හැඟුමෙන් පිරිපුන් යුවලක් ආදරය සහ ආකර්ශනය නොතේරුම් ගෙන එකිනෙකාව නුරුස්සන අයුරුත්, අනතුරුව එය ආදරයකට පෙරලෙන අයුරුත් අරුණලී රස වින්දේ මූවි නයිට් එක වෙනුවෙන් ගෙන ආ ස්ප්‍රයිට් වීදුරුවක් රස විඳිමිනි.
මුලින් රණ්ඩුවලින්, නොරිස්සුම්වලින් පටන් ගත්තද අවසානයේ ඩාසි සහ එලිසබෙත් එකිනෙකා හා බෙදාගත්තේ මොනතරම් නම් සුන්දර ආදරයක්ද?
“කාන්තාවකගෙ පරිකල්පනය හරි වේගවත්. ඒක පැහැදීමෙන් ආදරයට, ආදරයෙන් විවාහයට පනින්නෙ හිතන බැරි තරම් ඉක්මනින්”
ඩාසි කියන ඒ වදන් මොනතරම් ඇත්තක්ද කියා අරුණලීට නොසිතුනා නොවේ. මෙනුක ගැන මුලින් ඇතිවුනේ පැහැදීමකි. කතාබහට, හැසිරීමට ඇති වුන පැහැදීමකි. ඒ පැහැදීම අනතුරුව ආදරයකටත් ඒ ආදරය අනතුරුව විවාහයකටත් ගෙන ගියේ එතරම්ම අඩු කාලයකින් නොවුනත් අවසානයේ ලැබුනේ දුකකි.
“ෆිල්ම් එක හොඳ ද?”
කිමල් බලා උන්නේ මේ මොහොත එනතුරුය. අරුණලී පසෙකින් කේශිනී හිඳින වෙලාවක ඇය හා කතා කිරීම අනවශ්‍ය කතා බහක් කාර්යාලය තුල ඇති කරලන්නක් විය හැකිය යන බිය කිමල්ව හැකිතාක් ශාරීරිකව අරුණලීගෙන් ඈත් කර තබන්නට හේතුවක් විය.එහෙත් මේ එයට කදිම මොහොතකි. අරුණලී උන්නේ තනිවමය. දෙනෙත එක එල්ලේම තිරය මත රඳවාගෙනය. කොටින්ම කියනවානම් අත රැඳුණ ස්ප්‍රයිට් වීදුරුව ගැන වගක්වත් නැතුව මෙනි. කේශිනී, භාශිත සහ ශැනන් ඇතුලු පිරිස උන්නේ මත් පැන් රැඳුණු වීදුරුඅත රඳවාගෙන එකිනෙකා හා කතාකරමිනි. කිමල් හොර ඇස ඒ පැත්තට යවමින් සෙමෙන් අරුණලී වෙතටපා තැබුවේය.
කිමල් ඒ මොහොතේ තමා උන් තැනට ඒය කියා කිසිදු අදහසක් අරුණලීගේ සිතේ තිබුනේ නැත. සම්පූර්ණ දෙනෙතත් මනසත් සිතුවිලිත් තිබුණේ චිත්‍රපටය වෙත යොමු වීය. ඉතින් තිගැස්සෙන්නට සාධාරණ හේතු තිබේ.
“මම දැක්කෙ නෑ එනවා” ආමන්ත්‍රණයක් නැතුව කතා කිරීම තමන් සහ කිමල් වීරවර්ධනව වඩා ලංකරනවාක් වැනි හැඟීමක් සිත පතුලේ තිබුණද ඔහුට වීරේ කියා අමතන්න අරුණලී කිසිම මොහොතක උත්සහ කරේ නැත.
“දැන් ආවේ, තව ස්ප්‍රයිට් ටිකක් ගෙනත් දෙන්නද?” කිමල් අසන්නේ තවම අඩක්වත් හිස් නැති අරුණලී අත රැඳි ස්ප්‍රයිට් වීදුරුව දෙස බලමිනි.
“තාම ඉවර නෑ හැබැයි මේක” එතනින් එහා කියන්නට හෝ අසන්නට දෙයක් අරුණලීට මතක් වෙන්නෙ නැත. තමාට අද නතරවෙන්නට හැකි ලෙස ඉඩ සලසන්නට තාත්තා සමග කතා කිරීම ගැන ස්තුතිවන්ත වෙන්නට තිබුණා නම් අපූරු වුවත් ඒ සඳහා වචන ගලපාගන්නට බැරි තරම් දිව ගොලුවී ඇත්තාක් මෙනි.
“ෆිල්ම් එක බලන්න ඉන්න උනාට අවුල් ද?” කිමල් අසන්නේ අත රැඳි බියර් කෑනයෙන් උගුරක් බොමිනි. සීතල බියර් උගුර දිගේ පල්ලෙහට යන්නේ මුලු ගතම තිත්ත සීතලකින් කුල්මත් කරවමිනි.
“නෑ මං කැමතියි”
“එදා අවුලෙන් නෙ හිටියෙ ෆිල්ම් එක බලන්න ඉන්න බැරි වෙයිකියල”
“තාත්තට කතා කරල ෆිල්ම් එක බලන්න අවසර අරගෙන දුන්නට තැන්ක්යු”
“තාත්තා නං කිව්වෙ තාත්තගෙ අවසරයක් වැඩක් නෑ දූ කැමති නම් කියල” කිමල් කිව්වේ අරුණලී වෙතින් මොහොතකට දෙනෙත් මුදවාගෙන දෙතොල මත විසල් සිනහවක් රඳවාගෙන ය.
“තාත්තා එහෙම කිව්වට ඉතින් මට බයයි දැන් එහෙම කරන්න. රෑ වැටිච්ච වලේ ඇස් ඇරගෙන ගිහින් දවල් වැටෙන්න බෑනෙ”
“තාම මෙනුක කතා කරනවද?”
“එයා අලුතෙන් නම්බර්ස් වගයක් අරගෙන මැසේජස් දාල තිබුනා. මම හැබැයි ඒ ඔක්කොම නම්බර්ස් බ්ලොක් කරල දැම්මා. ඒ උනාට එයාට ඒකටත් හොඳටම තරහ යන්න ඇති. මට බයයි ඒ නිසාම දෙයක් නොහිත කරන්න. මම ඔෆිස් එන්න ඇරෙන්න වෙන කිසිම දේකට එලියටවත් බහින්නෙ නෑ ඒ හන්ද”
“දවසක් ඒවි ආයෙම ඉස්සර ඉඳිය වගෙ නිදහසේ සන්තෝසෙන් ඉන්න පුලුවන් වෙන. එතකන් අපි ඉවසමු නේද?”
හරිනම් කිව යුත්තේ “එතකං ඉවසන්න” කියන වචන නමුත් කිමල් ඒ වනවිටත් අරුණලීවත් ඇගේ සියලුම දුක් කරදරත් තමන්ගේම කරගෙන උන්නේය.ඒ වදන් වල රැඳුන, අපි ඉවසමු යන වදන මත රැඳුණ යම් කිරි අපූරු හැඟීමක් හිත මතසිහිල් සුල්ං රැල්ලක්ව වැදෙනු දැනේ.
“ඇත්තටම මම තාත්තට ඔයාව අද එවන්න කිව්වෙ හේතුවක් ඇතුව” කිමල් කතාව පටන්ගත්තේ කිසිවක් නොකියා හිඳීම දෙදෙනාටම අපහසුතාවයක් ඇති කරවන්නට හේතුවක් වනු ඇතැයි සිතාය.
“ඒ මොකද්ද?” කියා අරුණලී ඇත්තටම ඇසුවේ කුතුහලයකිනි. තමාව මූවි නයිට් එකකට නවත්තාගන්නට තරම් හේතුවක් කිමල් වීරවර්ධනට තිබෙන්නට හැකිද? එහෙත් ඒ ප්‍රශ්නයට උත්තර අහගන්න ඉඩක් ලැබුනේ නැත. මත්පැන් වීදුරුවත් අතේ තබාගෙන එහි ආ කේශිනී අලුත්ම කතාවක් පටන් ගත් නිසාවෙන් කිමල් වීරවර්ධනගෙන් ඒ හේතුව අහගන්න ඉඩක් ලැබුනේ නැත.
“වීරේ තැන්ක්යු මේකිව අද මූවි නයිට් එකට ගෙන්න ගත්තට, මේකි බෑ කිය කිය හිටියෙ එන්න තාත්තව රස්තියාදු කරන්න වෙනව කියල. තැන්ක්යු… වීරෙ අංකල්ව ශේප් කරගෙන මේකිට එන්න ඉඩ අරන් දීලා අපිට කරපු උදව්ව හන්ද ඔන්න මම අරුණලීව අද රෑට ගෙදරින් ඩ්‍රොප් කරන්නම්”
“අම්මේ මරුවට තියෙයි එහෙම උනොත්. අරුණලීට කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ, අරුණලී ඔන්න බීමත්කමේ ආදීනව පේනව නේද? මෙයා බීපු දවසට නම් මෙයා එක්ක ගෙදර යන්න හිතන්න එපා මොකද මෙයා එදාට ගෙදර යන්නෙ නෑ , අපි ගෙනිහිල්ල දානව ඇරෙන්න, නේද භාශිත?”
“ආයෙත් අහල මතකද ගිය පාර බීල සෙටිය උඩ වමනෙ දාලා අන්තිමේ පාටි කැලේ ඔක්කොම අස් කරා රෑ තිස්සෙ”
“අඩෝ මේ බලු කතා කියන්න එපා හෛද්ස්? ඒ එදානෙ මම අද එච්චර බීල නෑ. එදත් උනෙ උඹ වර්ග තුනක් විතර කලවං කරපු එකක් මට පොවල පිස්සුවක් කෙලපු හන්දනෙ. ඔයා බයවෙන්න එපා අරුණලී මම ඔයාව ගිහින් ඩ්‍රොප් කරන්නං කෙල්ලෙ”
“නෑ නෑ ඒ උදව්ව ඕන නෑ, අරුණලීට මූවි නයිට් එකටඑන්න අංකල්ගෙන් මමනෙ පර්මිශන් ගත්තෙ. ඒ නිසා අරුණලීව පරිස්සමෙන් එක්කරගෙන ගිහින් ඒ මනුස්සය අතටම බාරදෙන එක මමම කරන්නම්කො”
කිමල් එසේ කියමින් හීන් සැරේ දෙනෙත් යුග අරුණලී වෙත පාකරද්දීත් ඇය උන්නේ සිනාසෙමින් මේ කතා බහ රස විඳින අතරවාරයේ ස්ප්‍රයිට් වීදුරුවෙන් උගුර උගුර බොමිනි.
ක්‍රියේටිව්ස් අයතනයට මෙවන් මත් බර, විනෝදබර සන්ධ්‍යාවන් අලුත් අත්දැකීමක් නොවේ. දන්නා කාලයේ පටන් සිකුරාදා රාත්‍රියේ ක්‍රියේටිව්ස් ආයතනයේ කට්ටිය සෙට් වීම කරගෙන ගියහ. සින්දු කියන, නටන, බොන, කන රාත්‍රීන් බොහෝ ප්‍රමාණයකට පසුගිය කාලය පුරාවට සහභාගි වුවද කිමල් සුපුරුදු පරිදි මත්වෙන්න අද රාත්‍රිය තෝරාගත්තේ නැත. ඒ ” මම අරුණලීව පරිස්සමෙන් ගෙනත් භාරදෙන්නම් අංකල්” යැයි ආරියරත්නට වූ පොරොන්දුව එලෙසින්ම ඉටුකරන්නට උවමනා නිසාවෙනි.
රාත්‍රිය කෙමෙන් කෙමෙන් වඩා අඳුරු වන්නට පටන් ගත්තද අරුණලීට බයක් දැනුනේ නැත.
පරිස්සමෙන් හිඳින බවත්, කේශිනී ඇතුලු පිරිස මෙහි ඉන්නා බවත් අම්මාට දැනුම් දුන්නේ දුරකතන ඇමතුමකිනි. ගෙදෙට්ට ලං වී පවසන මෙන් පැවසූ අම්මා ” අනෙ පුතේ ඔන්න පරිස්සමෙන් එන්න හොඳේ” කියා දුරකතනය තබන්නට පෙර කියන්නට අමතක නොකලාය.
තමන්ව ගෙදර රැගෙනයන බව කිමල් වීරවර්ධන කියූ බව ඇත්තක් නමුත් ගෙදර යන්නේ කීයටද කියා අහන්න අරුණලීට බය ය. එය කිමල් වීරවර්ධන විසින් වරදවා වටහාගනී යැයි සිතෙන නිසාවෙනි.
මේ දිනවල පවතින අධික උණුසුම රාත්‍රියේ පවා උගුරකට වේලන්නට හේතුවකි. තවත් ස්ප්‍රයිට් වීදුරුවක් බොන්නට තිබුණා නම් හොඳ යැයි කියා මීඩියා රූම් එකේ සිට ලොබි එක දෙසට යන්නට පියවර තැබුවද ඒ ගමනට බාධා එල්ල කරමින් ආ කෙටි පණිවිඩයකි.
ඉතින් හිත බිය වැදීම අසාධාරණද? මෙවන් මොහොතක කෙටි පණිවිඩ එවන්න වෙන කිසිවෙක් තමාට නැත.
මෙනුක හැරෙන්නට…