තාත්තා සමඟ කතා කරන්න ට ඉඩක් නොදී නිර්මලී නැන්දා ඇමතුමට සම්බන්ධ වූවාය.
” අසේකා.. ..දෝණි….මහේල පුතා කියන විදියට දේවල් කරන්න … ඔයාගේ කියලා ඉන්න මිනිස්සුන්ට වඩා මෙවෙලේ ඔයා එයාව විශ්වාස කරන්න ඕනි .. එයා කියන ඕනිම දෙයක් කරන්න කොටින්ම .. ඒකට අපි කාගේවත් කැමැත්තක් ගැන හිතන්නවත් ඕනි නෑ.
හොඳට මතක තියාගන්න අසේකා.. ජීවත් වෙනකොට අපිට එක පිට චාන්ස් කිහිපයක් ලැබෙන්නේ නෑ.. එකයි දෙකයි ලැබෙන්නේ.. ඔයාට ආයෙම අවස්තාවක් ලැබිලා… ඒක මඟෑරගන්න එපා…
එක වතාවක් හදිසි වෙලා, රැවටිලා ජීවිතේ විනාස කරගන්න ගිහින් ඔයා ජීවිත කීයකට ගිණි තිව්වාද කියලා හොඳට මතක තියාගෙන , ඔය කොල්ලා කියන දේ අහලා ඉන්න ටිකක්… ඔයා දන්නවට වඩා දේවල් දැනගෙනයි මම මේ කියන්නේ … මේ දේවල් ඔයා දැනගන්න දවසක ඔයාට පසුතැවීමක් ඇති නොවෙන්න නම්, දෙය් යනේ කියලා හිතුවක්කාරකම් නොකර ඉන්න දෝණි… ..”
ඇමතුම විසන්ධි වූයේ මහේලගේ අතිනි. මට මේ කිසිවක් වැටහෙන්නේ නැත. මහේල අරන්දර, ඔබ පැමිණෙන්නට පෙර ඔබ නිසාතැවි තැවී, ඔබ දකින්නට පෙරුම් පුරමින් වුවද, මට සැහැල්ලු නිදහස් ජීවිතයක් තිබුණි. මට රිදුණි. රිදුනාම මම හැඬුවෙමි. මට පාලු දැනුණි. එවිට මම වඩා වෙහෙසී වැඩ කලෙමි. මම වයසට යන බව දැනෙද්දී මම ඔබ නොදැක මියෙන්නට වන සෝකයෙන් කල්පනා කලෙමි. එහෙත් ඒ හැම තැනකම නිදහස විය.
දැන් ඔබ මොනවාදෝ මට නොවැටහෙන අරමුණක් සමඟ මෙහි පැමිණ ඇත. ඔබ මා අසලම සිටී. එහෙත් මට නිදහසක් දැනෙන්නේ නැත.
” මේ මගේ අපාර්ට්මන්ට් එක … අපි හෙට ආයේ යමු අර වැඩේ බලන්න..එතකල් කාලා බීලා ඉන්න .. මම පොඩ්ඩක් එලියට ගිහිල්ලා එන්නම්…”
“සර් ප්ලීස් … මට මෙහෙම කරන්න එපා…”
මම අයැද්දෙමි. සැබැවින්ම ඔහුමට අයහපතක් කරනවා නොවේය. එහෙත් මා ඔහේ එලෙස ඉල්ලුවෙමි.
” මොකද්ද මං කලේ ?”
” මට මගේ පාඩුවේ ඉන්න දෙන්න … ඔයා මෙච්චර කල් හිටපු විදියට ඉන්න …. “
මට හැඬුණි. වයසින් මෝරා ගියද මා තුළ වූ යෞවන ප්‍රේමවන්තිය තවම එලෙසම සිටින්නීය.
” නිකන් මූනිච්චාවට දොඬවන්න එපා අසේකා.. අර උන්න ගෙදර ඇඳලා තිබුණ මගේ චිත්‍ර එකක් ගානේ මම දැක්කා… ඒ ලියලා තිබුණ පොත් වල පිටුත් මං එහෙන් මෙහෙන් කියෙව්වා… මම රෙස්ටෝරන්ට් එකට ආව දවසේ රෑ ලියලා තිබුණ පිටුවත් කියෙව්වා…සෝ ප්ලීස්.. රඟපාන්න එපා… “
“මොකක්ද ඔයා කියන්නේ ?”
“උඹ තවම මට ආදරේ කරනවා කියලා කියන්නේ අසේකා.. ඒකයි කියන්නේ .. මහලොකු ගෑණියෙක් වගෙ එදා මට කියලා එවපු කතා බොරු කියලා තේරුම් ගන්න කියලා කියන්නෙ… මහ ලොකු ගෑණියෙක් වගේ කසාද බැඳගෙන මාව දාලා ගිය එක වැරැද්දක් කියලා පිළිගන්න කියලා කියන්නේ …”
මට සිනහ නැඟුණි. ඔහු තවම සිතා සිටින්නේ එලෙසද ? මා කැමැත්තෙන් ඒ සියල්ල සිදු කල බවද ?
මහේල , අපට එක්ව යා හැකි දුර තවත් අඩි කිහිපයක් වනු ඇත. තේරුම් ගත යුත්තේ මා නොව ඔබය. ද මේ සියල්ල දෙස අඳුරේ හිඳිමින් බලා සිටින්නේ ඔබය. එලෙස නම් තාත්තා ද නිර්මලී නැන්දාද ඔබද තිදෙනාම තවම මා දකින්නෙ චපල ගැහැණියක ලෙසින් ද ?
~ ~ ~ අතීතයට ~ ~ ~
අය් යාගේ මැසෙන්ජර් ඇමතුම විසන්ධි කල පසු මට මහේලට ඇමතුමක් ගැනීමේ දැඩි උවමනාවක් විය. මා අති ගිලිහෙන්නට ගිය ජීවිතය ප්‍රවේශම් සහිතව රැක ගෙන ගොඩ නංවාගන්නට උදව් දුන් මිනිසා මට අහිමි වේවි ය යන හැඟීම සියුම් ගිනි දැල්ලක්ව මා පුලුස්සමින් තිබුණි. එහෙත් මහේල මිතුරෙකු සමඟ බව දන්නා නිසා ඒ ඇමතුම පසු කලෙමි.
නින්දකට සිතක් නොවීය. මම සීතලේම නා ගත්තෙමි. උණුසුම් කිරි වීදුරුවක් පානය කලෙමි. තෙත කොණ්ඩය පිටින්ම බැල්කනියෙන් පිටත බලා උන්නෙමි.
අය් යා මහේල පිළිබඳව එතරම් උනන්දුවෙන් සොයා දැනගෙන ඇතැයි මම සිතුවේ නැත. ඇතැම්විට ඔහු මේ සියල්ල දැනගෙන වැඩි කාලයක් නැතිවාද විය හැක. මහේල පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඔහුමේ තුරුම්පුව වෙනුවෙන් සැලසුම සකස් කරන්නට ඇත.
සැබැවින්ම මහේල සතු වත්කම් ගැන මම ද හරිහැටි දන්නේ නැත. චමත්කාර ෆ්ලෝරා ඔහුගෙම ව්‍යාපාරය පමණක් බව දනිමි. අනෙක් ව්‍යාපාර සියල්ලේම අයිතිය දැනට ඔහුගේ පියාගේ බව ද දනිමි. ඒවාගේ ආදායම් ගැන , ඒවා සතු සම්පූර්ණ වත්කම් ගැන මම දන්නේ නැත. ඒත් අය් යාගේ නරි මොළයට ඒ සියල්ල සොයා ගැනීමට මහ කාලයක් ගත නොවන්නට ඇත.
දැන් ඔහු මා අතකොළුව කරගනිමින් උත්සාහ කරන්නේ ඔහුගෙන් මුදල් ගරා ගැනීමටය.
මහේල කොහොමත් අය් යා සමඟ ඉන්නේම කේන්තියෙනි. ඒ අස්සේ මෙවැන්නක් දැන ගතහොත් ඔහු අය් යා හමුවීමට පවා යෑම විය හැක. අය් යා සහ අම්මාගේ හැසිරිම් ගැන මහේලගේ කෝපය මම දෙතුන් වතාවක්ම විඳ තිබුනෙමි. එසේ තිබියදී ඔහු අය් යා එක් වරක් නිකමට හෝ මුණ ගැසීමේ ප්‍රතිඵලය වනුයේ මහා විනාශයකි.
මම අය් යාට යළි පණිවිඩයක් තැබුවෙමි.
” මට මහේලගෙන් සල්ලි ඉල්ලන්න බෑ.. මං ගාව ලක්ශ තුනක් විතර තියෙනවා.. ඒක දාන්නම් .. ආයේ නෑ..”
” ඕකේ.. “
මම ඔන්ලයින් හුවමාරුවක් ලෙසින් මුදල් යැව්වෙමි.
ඉන් පසුව රූපවාහිනීයේ චිත්‍රපටයක් නැරඹුවෙමි. පැය දෙකක් පමණ ගත වෙද්දී මහේලගෙන් ඇමතුමක් ආවේය.
” දොර අරින්න .. මම එන ගමන් …”
කිසිවක් විමසන්නට හෝ නොදීම ඔහු ඇමතුම විසන්ධි කලේය. ඒ හඬේහි වූ ස්වරයෙන් කිසිවක් කියවාගන්නටද මට ඉඩක් වූයේ නැත. මම දොර විවෘත කලෙමි. විනාඩි දෙකක් ගත වන්නටත් පෙර මහේල අරන්දර මා ඉදිරියේ උන්නේය.
වෙනදා මෙන් ඔහු මා ඉම්බේ නැත. වැළඳ ගත්තේද නැත. ඒ වෙනුවට මා පසු කරගෙන ගොස් සෙටියේ හිඳ ගත්තේය. මම දොර වස ඔහු වෙත ඇවිද ආවෙමි. ඔහු මා දෙස බලා යළි ඉවත බැලුවේය.
” ඇයි මහේල ? ගිය වැඩේ මුකුත් ප්‍රශ්නයක් ද ?”
“නැහැ …”
ඔහු පිළිතුරු දුන්නේය.
” ඔයාට බොන්න මොනවද ?”
මම කතාව අන් පසෙකට හැරෙව්වෙමි.
” දැන් එපා ..”
” ඔයා කාලද . මං උයන්නද ?”
” එපා මම යනවා දැන් .. මේ .. ඔයා ළඟ ලක්ශ දෙක තුනක් ගන්න තියෙනවා ද දැන් ? ජස් නව් ?”
ඔහු ඉනික්බිති එක්වරම ඇසුවේය. මම කෙළ පිඬක් අසීරුවෙන් ගිල්ලෙමි. ඔහුගෙන් ඉවතට වී හිඳ ගත්තෙමි. පැවසිය යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත.
ඔහු සියල්ල දැනගෙන බවට සැකයක් නැතම් ඇතැම්විට මගේ ඔන්ලයින් ගිණුමේ කෙටි පණිවිඩයක් ඔහුටද යනවා විය යුතුය.
” අනේ…”
මට කියැවිණි.
” කාටද ඒ ට්‍රාන්සර් කලේ තුන හමාරක් ? අම්මටද ? නල්ලමලේ අය් යාටද ?”
මම කිසිවක් නොකීවෙමි.
” කතා කරනව අසේකා …”
“අය්යා ට….”
” කොයි වෙලේද ඒ ඉල්ලුවේ ?”
මම මැසෙන්ජරය විවෘත කර මහේලට පෑවෙමි. ඔහු කෝපයෙන් කෑගැසුවේය.
” මේ කෝල් එකේ මොනවද කිව්වේ ?”
මම අය් යාගේ තර්ජනය ගැන කිවෙමි. අය් යා සහ මහේල රණ්ඩු වන්නට නොයුතු යැයි සිතූ නිසා එලෙස කෙරූ බවද කීවෙමි.
” නියමයි.. ඔයා තව කී කොයි කාලයක් ඔහොම කරන්න හිතාගෙන ඉන්නවද අසේකා ? ඔයා දැන් අවුරුදු විසි හතක කෙල්ලෙක්.. මොකද ඔයාට ස්වාධීන වෙන්න්ද් බැරි.. මොකද ඔච්චර පෑගෙන්නේ ? තමන් නැහිලා නැහිලාහම්බ කරගන්න දේවල් නිකම්ම ඔහොම දීලා දාන්නේ.. මට හිතෙන විදියට ඔයාව කවුන්සලර් කෙනෙකුට පෙන්නන්න වෙනවා… “
මට හැඬිණි. මම පිස්සියක නොවන බව පෙන්වමින් මම හැඬුවෙමි. මහේල මා තනිව දමා නවාතැනෙන් බැහැරව ගියේය.
| අපේක්ෂා ගුණරත්න |