රසට ලස්සනට පොල් රොටී හදමු

හීනි පොද වැස්සක් වැටෙන හැන්ඳෑවක දුම් දාන තේ කෝප්පයක් එක්ක පොල් රොටියක් රස බලල තියෙනවද?

සමහර රස සමහර අත්දැකීම, සතුටු හිතෙන පුංචි මොහොතවල් විඳින්න වැඩි මුදලක් වැය වෙන්නෙ නෑ කියල අපි තේරුම් ගන්න ඕනෙමයි.

ඔබේ ගෙදර ඔබේ ආදරණීයන් එක්ක රස විඳින්න පුළුවන් සුපුරුදු ශ්‍රී ලාංකීය රස සුවඳ කැටිවුන තවත් කෑමක් හදන විදිහ ඔබට කියල දෙන්නයි ඔන්න අපිත් අද සූදානම් වෙන්නෙ. 

එහෙනම් අපි අද බලමුද රසම රස පොල් රොටී ලස්සනට හදාගන්නෙ කොහොමද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 3 ⅓ ක් 

ගා ගත් පොල් කෝප්ප 1 ⅔ ක් 

ලුණු කුඩු තේ හැඳි 1 ¼ ක් 

සිහින්ව ලියාගත් රතු ලූණු කෝප්ප ½ ක්

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් තුනක්

පොල් කිරි කෝප්ප ½ ක්

වතුර හෝ පොල් වතුර කෝප්ප ½ ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන වතුර සහ පොල්කිරි මිශ්‍රකර සූදානම් කරගන්න.

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ගාගත් පොල්, රතු ලූණු සහ අමු මිරිස් එක්කර කලවම් කරගන්න. 

දැන් පොල් කිරි මිශ්‍රණයෙන් භාගයක් පිටි මිශ්‍රණයට දමා අතින් හෝ ගෑරුප්පුවක් භාවිතයෙන් පිටි මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න.

ඉතිරි පොල් කිරි මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් එක්කරමින් පිටි මිශ්‍රණය අනාගන්න.

වියළි මතුපිටක් ඇති පිටි ගුලියක් ලැබෙන සේ පිටි මිශ්‍රණය අනාගත යුතුයි. පිටි ගුලියක් සෑදිමට අවශ්‍ය නම් තවත් වතුර තේ හැන්ඳක් දෙකක් එකතු කරගන්න ඔබට පුළුවන්. (වතුර වැඩිවුනොත් පිටි ස්වල්පයක් එක්කර අනාගැනීමෙන් කිසිදු ගැටළුවක් ඇති නොවේ)

දැන් සාදාගත් රොටී මිශ්‍රණය වතුර බේරාගත් තෙත රෙදි කැබැල්ලකින් හෝ ප්ලාස්ටික් ආවරණයකින් වසා පැය 04 ක් 12 ක් අතර කාලයක් තබන්න. 

මේ පැය ගණන අවසන් වූ පසු රොටී මිශ්‍රණය මෘදුව පැවතිය යුතුයි.

පිටි මිශ්‍රණය අතේ ඇලෙනව නම්, පිටි ස්වල්පයක් එකතු කරගන්න ඔබට පුළුවන්.

දැන් වියළි පැතලි මතුපිටකට පිටි ස්වල්පයක් ඉස රොටී මිශ්‍රණය එයට දමා කොටස් 8 කට වෙන්කර ගන්න.

වීදුරු බෝතලයක් හෝ රෝලින් පින් එකක් භාවිතයෙන් රොටී මිශ්‍රණය 0.5 cm පමණ ඝනකමක් ලැබෙන සේ රවුමට අතුරා ගන්න.

දැන් ඔබට කැමති ප්‍රමාණයේ රවුම් මුඩියක් හෝ පියනක් භාවිතයෙන් රොටී රවුම් කපාගන්න.

සාදාගන්න රොටී භාජනයකට දමා වතුර බේරාගත් තෙත රෙදි කැබැල්ලක් හෝ ප්ලාස්ටික් ආවරණයකින් වසා තබන්න. එමඟින් රොටී වියළීම වළක්වා ගන්න ඔබට පුළුවන්. 

මේ විදිහට මේ පිටි මිශ්‍රණයෙන් රොටී 8 ක් 9 ක් පමණ සාදාගන්න ඔබට පුළුවන්. 

දැන් පැතලි සාස්පානක් හෝ රොටී තැටියක් ලිපතබා එය රත්වූ පසු සාදගත් රොටී හෙමින් ඒ මත අතුරා ගන්න. 

දුඹුරු පැහැයක් ලැබෙන සේ එක පැත්තක් විනාඩි 2 ක් 3 ක් පමණ පුළුස්සා ගන්න. 

තද දුඹුරු පැහැ පැල්ලම් සිටින තෙක් දෙපැත්ත පෙරළමින් රොටිය පුළුස්සා ගන්න ඔබට පුළුවන්. 

ලිපෙන් ඉවත් කරගත් රොටී යකඩ දැලක් මත තබා ගන්න.

එමඟින් පිටවෙන වාෂ්පයෙන් රොටී තෙත් වීම වළක්වා ගන්න පුළුවන්. 

උණුසුම්වම රස විඳින්න.

ඔබ කැමති නම්, රතු ලූණු සහ අමු මිරිස් සමඟ කැරට්, කොච්චි වගේම නයි මිරිස් වගේ ඔබ කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. 

රොටී කන්න smart lady අපේ වෙබ් අඩවියේ පළවුනු රසම රස ඌරු මස් කරිය https://smartlady.lk/article/30030/black-pork-curry/ හදාගන්නත් smart lady වෙබ් අඩවියේම පළවුනු කට්ට සම්බෝලෙ https://smartlady.lk/article/32056/how-to-make-milkrice/ හදාගන්නත් ඔබට පුළුවන්.   

එහෙම නම් මේ විදිහට රොටී හදල බලමුද?

Related Articles

Don't Miss


Latest Articles