රාත්‍රී අටට මහේලගේ අක්කා මට ඇමතුමක් ගෙන බැණ වැදෙන තුරුම මම කිසිවක් දැන උන්නේ නැත. මහේලගේ ජංගම දුරකතනය විසන්ධි ව තිබූ නිසා මම අක්කාට ගත්තෙමි. ඇයද පිළිතුරු නොදුන්නාය. ඉන් පසුව ඇය මා ඇමතුවේ උස් හඬින් බැණ වඳිමිනි.
මහේල අය්යා මුණ ගැසෙන්නට ගොස් තිබුණි. ඔහු අය්යාට සහ අම්මාට බැණ වැදී මගේ ජීවිතයට එබිකම් නොකරන ලෙසට තර්ජනය කර තිබුණි. එතැනදී අය් යා සහ මහේල ඇවිලී ඇත. අවසානයේ මහේල අතින් අය්යාගේ යතුරු පැදියට හානි වී ඇත.
ඉන් පසුව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත. එදිනම රාත්‍රියේ මහේලව අත් අඩංගුවට ගෙන ඇත.
මට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. අය් යාට ඇමතුම් කීයක් ගත්තාදැයි මට මතක නැත. අම්මාට ද ඒ හා සමවම ඇමතුවෙමි. එහෙත් දෙදෙනාගෙන් කිසිවෙක් මට පිළිතුරු දුන්නේ නැත.
මම රාත්‍රීයේම නිවෙසට යන්නට පිටත් වූයෙමි. අතේ තිබූ සියලු මුදල් පසුම්බියට දා ගත්තෙමි. පික් මී රියක් වෙන් කරවා ගත්තෙමි.
මට බයක් දැනුනේ නැත. සිහියේ වූයේ අය් යා ලවා පැමිණිල්ල ඉවත් කරවා ගැනීමම පමණි. එහෙත්, අම්මා ගේට්ටුව හෝ විවෘත කලේ නැත. පික් මී රියද පිටව ගොසිනි. මැදියම් රැයද එලැඹෙමින් තිබුණි.
” අම්මේ.. අම්මේ…”
මම ගේට්ටුවට මහ හඬින් ගැසුවෙමි එහෙත් ගේට්ටුව විවර වූයේ නැත. කල යුත්තේ කුමක්දැයි සිතාගන්නට නොහැක. පික් මී රියක් වෙන් කරවාගන්නට දැරූ උත්සාහයන්ද අසාර්ථක විය.
මට හැඬුණි. මහේල හිර කූඩුවක් තුළ සිටින දසුන මැවිණි.
මම අඳුරු පාරේ ඉදිරියට ඇවිද්දෙමි. ප්‍රධාන පාරේ බස් නැවතුමක් ඇති බව සිහි කරමින් ඇවිද ගියෙමි. හඬ හඬා ඇවිද්දෙමි.
නාද වූ ජංගම දුරකතනය මගේ හැඬුම් වැඩි කලේය. ඇමතුම මහේලගෙනි. ඔහු නිදහස් වී ඇතිද ?
මම හඬමින්ම ඇමතුමට පිළිතුරු දුන්නෙමි.
“අසේකා… ඔයා කොහේද … ?”
“අනේ.. අනේ මහේල ඔයාට මොකද වුණේ.. ? ඔයා .. ඔයා … නිදහස් කලාද ? ඔයා ..”
ඉකිය ඇතුලෙන් කතා කරගන්නට හැකිවූයේ එපමණක් ය.
” ඉන්නේ කොහෙද අසේකා …මම ඇනෙක්ස් එක ළඟ …..?”
“මම .. ගෙදර ආවා… අම්මාට කියලා මම පැමිණිල්ල අයින් කරවන්නම් .. අනේ… ඒත් එයාලා ගේට් එක අරින් නැනේ.?”
“මොන ගෙදරක්ද ? කොහෙද ඕයි ඉන්නේ ?”
මහේල කෑ ගැසුවේය. මම වීඩියෝ ඇමතුමක් ගත්තෙමි. මා දුටු මහේලගේ මුහුණ අතිශය පලමු වරට විරූපී විය. ඔහු කලබලයෙන් අනෙක් දුරකතනය සොයනු දුටුවෙමි. ඒ අතරේ ඔහු සිටින්නේ වාහනය තුල බවද දුටුවෙමි
” ඔහොමම ඉන්න.. මගේ යාලුවෙක් ඔයාව ගනීවි දැන් ….”
විනාඩි පහක් යන්නටත් පෙර මෝටර් රියක් නතර විය. මා නංවා ගත්තේය. මහේල මා වීඩියෝ ඇමතුමේම රඳවා ගත්තේය. මා බැස්සවූයේ මහේලගේ නිවස අසලිනි. මහේල විත් මා වැළඳ ගත්තේය . මිතුරාට සමුදුන්නේය. ඔහු මා කැටුව නිවෙස තුළට යන්නට හැරුනේ කිසිත් නොපවසාමය. මට ඔහුගේ අක්කාගේ ස්වරය ඇසෙන්නට විය
” ආතක් පාතක් නැති ගෑනු අස්සේ දාගත්‍තාට අපේ මල්ලීට හොඳම වැඩේ ..”
ඕ ඉතා කෝපයෙන් එලෙස කිව් බව යළි යලි ඇසුණි. මම මහේලගෙන් ඇතට වෙන්නට උත්සාහ කලෙමි. එහෙත් ඔහු ඉඩ දුන්නේ නැත.
” මට මෙහෙ ඉන්න බෑ…”
මම කුණු කුණුවක් ලෙසින් කීවෙමි. මහේල ඒ බවක් නෑසුණා සේ බලෙන්ම මා සමඟ ඇවිදිමින් උන්නේය.
” මට බෑ ඉන්න …”
මම ඔහුගේ අත ඉවතට කරන්නට උත්සාහ කරමින් කීවෙමි. මහේල නැවතුනේය.
” දැන් එකහමාරයි . ආයේ කොහෙවත් යන්න වාහන නෑ.. මෙහෙ ඉඳලා උදේ ඇරලවන්නම්…”
ඔහු සන්සුන්ව කීවේය. ඒ සන්සුන් කම තුළ වූ කුණාටුව මට නොපෙනුමා නොවේය.
මහේල බලෙන්ම මා ගෙතුලට ඇද ගත්තේය. මහේලගේ අම්මාද, තාත්තා ද , අක්කාද දුටු මගේ හැඬුම් අලුත් විණි. මහේල ඒ වගක් නොවූවා සේ මා ඇදගෙන නිවස තුළටම ගියේය.
” මං නංගීට තේකක් හදාගෙන එන්නම්…”
අක්කා මහේල දෙස හෝ නොබලාම සාලයෙන් අතුරුදන් වූයේය. ඇයද හඬා උන්නාදැයි මට සිතුණේ පසුවය. ඇතැම්විට මහේල ඇයට බැණ වදින්නට ඇත. මම හිටගෙනම උන්නෙමි.
” මොකද දරුවෝ මේ.. අඬන්න දෙයක් වුනේ නෑ.. ඔක්කොම හරි ..”
මහේලගේ අම්මා මා වෙත ඇවිද ආවාය. මම ඇගේ දෙපා අල්ලාගෙන වැන්දෙමි. සමාව අයැද්දෙමි . මහේලට සිදුවූ කරදරයට මා වගකිව යුතු බව පවසමින් හැඬුවෙමි. මහේල මා නැඟිටුවන්නට උත්සාහ කලද මම ඔහුට ඉඩ දුන්නෙ නැතිවම හැඬුවෙමි.
” මහේල ට මුකුත් උනේ නෑ දරුවෝ . මේ අක්කයි මල්ලියි එකතු වෙලා කරපු විහිළුවක් ….”
මහේලගේ තාත්තා ගේ හඬ ඇසුණි. මම උන් ඉරියව්වේම බිම හිඳගත්තෙමි. එසේනම් අසේකා පණ්ඩිතරත්නගේ ජීවිතය යළි විහිලුවක් ව ගොස් ඇත.
ඒත් සමඟම අම්මාගෙන් ඇමතුමක් ආවේය.
“මොකද අසේකා මෙච්චර මිස් කෝල් ගහලා… අපි නුවර ආවා… ෆෝන් එක දැක්කේ නෑ..”
“නිකන් අම්මා… සල්ලි දැම්මා අය් යාට.. ඒක කියන්න …”
මම ඇමතුම විසන්ධි කලෙමි. මහේලගේ අම්මා මා නැගිටුවා අසුනක හින්දවූවාය. මහේල මා අසලින් හිඳ ගන්නට උත්සාහ කරද්දී මම ඔහුගෙන් පසෙකට වූයෙමි.
මට මා ගැන දැනෙන අනුකම්පාව ඔබට වැටහෙන්නේද. ? මහේල ලා ප්‍රයෝජනයට ගන්නේ මා ඔහු යටතේ යැයි දැනෙන හැඟීම නොවේද ?
ඒ විහිලුව කලාට කම් නැත. එහෙත් එය අවසන් කල යුතු වන කාලයක් තිබුණි. මා ඉබාගාතේ ඔහේ ඇවිදයනතුරුම ඔවුහු ඒ විහිලුව ජීවත් කලහ. ඕනෑම යමක් සිදුවන්නට තරමේ කාලය විය.
අනෙක් අතට මහේලගේ අක්කා ඇමතුම එක්වරම විසන්ධි කරන්නට පෙර කීවේ, ” ආතක් පාතක් නැති ගෑනු අස්සේ දාගත්‍තාට අපේ මල්ලීට හොඳම වැඩේ ..” ලෙසිනි. එය පහසු නැත. ලේ නෑකම් වලින් බැට කෑ බව සත්තය. එහෙත් මට තනිව ජීවත් විම නොහැකිව තිබු දෙයක් නොවේය.
| අපේක්ෂා ගුණරත්න |