(අ)හිමි සිහින -144

මම මේ කතාව තුළ සහමුලින්ම විවෘතව ඔබට පෙන්වන්නේ මගේ චරිතය පමණයි.සුධාරක සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලිකත්වය සුරකිමින් බොහෝ දේ මම ඔබට කියනවා.නමුත් මම අනෙක් අය ගැන කතා කළේ ඉතාමත් අඩුවෙන්.ඒ මගේ පාර්ශවයෙන් වගේම ඔවුන්ගේ පාර්ශවයෙන් ද කතාවක් තිබිය හැකි නිසා.නමුත්, ඔබේ සමහර ප්‍රතිචාර කියවාගෙන යද්දී මට එක් දෙයක් වැටහෙනවා.මා විනිශ්චයට ලක් වුණත් අනෙකාව විනිශ්චයට ලක් කිරීමට මගේ පාඨක ඔබ සමහර වෙලාවට පැකිලෙන තරම්.

මේ කාරණාව නිසාම සුධාරකගේ අම්මා එදා රුවන්වැලි මහා සෑය ළඟ හැසිරුණු අන්දම අරුමයක් නොවන වග ඔබට කිව යුතුම වග මම සිතුවා.මීට කොටස් කිහිපයකට ඉහතදී ඔවුන් සහ මම අතර පවතින සමීප සබඳතාවය ගැන කතා කරද්දි මා ඔබට පැවසූ එක්තරා කතාවක් ඔබට මතක ඇතැයි මම සිතනවා.

“මිනිසුන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් මේ වතාවේදී මට වැරදි තිබුණා.”

මම ඒ කතාවට සමාන කතාවක් එදා තියා තැබුවා.ඒ කතාව මම පැවසුවේ සුධාරකගේ අම්මා සහ සහෝදරියන් සම්බන්ධයෙන්.මුදල් අත ගැවසීම සහ ඕනෑම කාර්යයක් හොඳින් ඉටු කිරීමට හැකිවීම නිසා ඔවුන් සමහර අවස්ථාවල මා පාවිච්චි කරන බව මට දැනී තිබුණා.ඒවගේම තමන්ගේ අම්මාගේ සමහර පුරුදු ඉතාම අප්‍රසන්න බව සුදාරක දැන සිටියා.ඔහු ඒ නිසා අම්මාට “අම්මා”යැයි අමතන්නට පවා පැකිළුණා.

“කුසුමා විතානගේ”

ඔහු එසේ තමයි අම්මා ඇමතුවේ!

සමහර අවස්ථාවන් වලදී මගේ අම්මා තාත්තට ලබා දෙන්නැයි පවසමින් ඔහු රැගෙන එන දේවල් මම ඔහුගේ ඥාතීන්ට බෙදා දෙනවිට ඔහු මට බැන වැදුණේ ද ඒ නිසා.

“ඒ මිනිස්සුන්ට කිසිම කෙළෙහි ගුණයක් නෑ.ඒ නිසා මම කැමති නෑ ඔයාගේ අම්මට තාත්තට ගෙනත් දෙන දේවල් ඔය මිනිස්සුන්ට බෙදලා දානවට.”

ඔහු එවැනි වෙලාවට මට පැවසූ‍යේ එවැනි කතාවක්.

මහා මාර්ගයේ ගමන් කරද්දී පවා කුටු කුටු ගා කාට හෝ බැනවදිමින් ඇවිදින සුධාරකගේ අම්මා රියෙහි නංවාගෙන යන්නට අපේ රියැදුරා කිසිම විටෙක කැමැත්තක් දැක්වූයේ නෑ.ඇය නිරන්තරයෙන්ම කාට හෝ සාප කරන බව අපි නිතරම අත්දුටු සිදුවීමක්.ඇගේ දරුවන්ගේ සිට මුණුබුරන් දක්වාම ඇගේ සාපයට ගොදුරු වුණා.

“ඕකුන්ට හරියන් නෑ.බෙල්ලම කැඩිලා යනවා.කරන හැමදේම කෙලවිලා යන්න ඕන.”

ඇය එවැනි නොගැලපෙන කතා බොහෝ අවස්ථාවන්වල දී පැවසූවා.

ඒ නිසාම ඇගේ මේ මොහොතේ හැසිරීම ද මට මහා පුදුමයක් වූයේ නැහැ.එක්තරා ග්‍රාමීය මතයක් ගැන මම අසා තිබෙනවා.කාට හෝ අභාග්‍යයක් වන මෙන් දෙවියන් ඉදිරියේ ඉල්ලා සිටි කෙනකුට නැවත ඒ කෙනාට යහපතක් වන ලෙස ඉල්ලා සිටින්නට හැකියාවක් නැහැ.එවිට ඉල්ලීම කළ පුද්ගලයා විනාශ වන බවට මතයක් පවතිනවා.සුධාරකගේ අම්මට මේ මොහොතේ ඇත්තේ ඒ බිය බව මට සිතී තිබුණු තරම්.

නමුත් මා ඇයට වෛර කළේ ද නැහැ.සුධාරකගේ රෝගී වීමෙන් දින පහකට පසුව යෙදුණු ඇගේ උපන්දිනය පවා මතකයේ තිබුණේ මට පමණයි.ඇගේ දරුවන්ට ද අම්මාගේ උපන්දිනය සිහිවූයේ ද මා එයට හදිසියේ සුබ පතන විටයි.ඔවුන් ගැන හොඳින් සොයා බැලූ මතකය සිතේ ඇති තුරු මට කිසිදු පසුතැවීමක් නොදැනෙන්නේ ඒ නිසාමයි.

ඇය ඇගේ පුතුට එසේ සලකන විට මම මගේ දියණියගෙන් කිලෝමීටර් සිය ගණනක් ඈත් වී දවස් ගෙවන්නට හිත හදා ගනිමින් සිටියා.මගේ දූ මගේ අම්මා සහ තාත්තා ළඟ නවතා මම එදා අනුරාධපුරයට ගියේ නැවත එන දිනයක් පවා නොදැනයි.

“අම්මා ගෙදර එන්නකො.මට අම්මා ඕන.”

දියණිය මගෙන් එසේ ඉල්ලීම් කරද්දි මට පවසන්නට තිබුණේ එක් දෙයක් පමණයි.

“අප්පච්චිට මාව ඕන.මම ආයේ ගෙදර එන්නේ අප්පච්චි සනීප වුණාම.”

මා මගේ මව්වත්කම පවා මගේ ආදරය වෙනුවෙන් කැප කරද්දී ඔහුගේ අම්මාට දරු සෙනෙහස බිඳුවක්වත් නොදැනීම මට ඇත්තටම මහා වේදනාවක්.නමුත් මා සෑම දිනකම පවසන කතාව මෙතැනදී ද සත්‍යයක්.

එක් එක් ගැහැනු ආදරය සහ වෛරය තෝරා ගන්නේ තමන්ට රිසි ආකාරයටයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles