පතිනියකගේ සටහන්-20

මේ දවස්වල හැමෝගෙම අවධානය මට. මවක් වෙන්න යනකොට මුළු පවුලෙම අවධානය ලැබීම ඇත්තටම සුන්දර හැඟීමක්. ඒ සතුට හිත පුරා විඳින කාලෙක පවුලේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න ලැබුණේ.
භානුකගේ ඥාති සොයුරෙක් හදිසියේම විවාහ වෙන්න තීරණය කරපු නිසා හදිසි නමුත් පුදුමාකාර සුන්දර විවාහ උත්සවයකට අපි සහභාගී වෙමින් හිටියා. ඇත්තටම ඒ මනමාලිත් හරිම ලස්සනයි.පවුලට එකතු වුණු ලස්සනම කෙල්ල කියලා භානුලාගේ නෑදෑයන් අතර මම ගැන ප්‍රචලිත වුණු කතාව උදුරා ගන්න ඇයට ලෙහෙසියෙන්ම පුලුවන් වග හිතිලා මට පුංචි හිනාවකුත් ආවා.
“අපිට දැන් ඉන්න අලුත් අම්මා දුව විතරක් නෙවෙයිනෙ”
නෑදෑ කාන්තාවක් අපි ළඟට ආවේ එහෙම කියාගෙන.
“ආයේ කාටද සුබ ආරංචියක් තියෙන්නේ”
අපි විමසිලිමත් වුණා.
“ඇයි අරයට.. ඥාතිවරිය අලුත් මනමාලි පෙන්වන්නේ අපහාසයෙන්.
“ආ.. ඒ දූට තව කල් තියනවා.. “
භානුකගේ අම්මා එහෙම කියද්දී නෑදෑ කාන්තාව බොහොම රහ ඕපාදුපයක් බෙදා හරින්න ගත්තා. ඇය කියන විදියට අලුත් මනමාලි දැනටමත් ගැබිණියක්. ඇගේ හදිසි ගර්භනීබව තමයි මේ හදිසි විවාහයට හේතුව.
“වාසනාවන්ත කෙල්ලක්” භානුකගේ අම්මා ගත් කටටම එහෙම කියනකොට මටත් ආවේ හිනාවක්. ඒ නැගණිය ගැන නෙවෙයි. ඕපාදූප කාරිය ගැන.
දැන් කෙල්ලො දරුවෝ හම්බෙනකම් කොච්චර කල් බලන් ඉන්නවද.. එයාට කරදරයක් නැතුවම දරුවෙක් ඇවිත්. අනිත් එක බලන්න අපේ රවිඳු පුතා මොන තරම් හොඳ කොල්ලෙක්ද, ජීවිතයක් නැති කරලා තවත් ජීවිතයක් නාස්ති නොකර ඉක්මනින් කසාදෙ කරගත්තා. තව මාස පහ හයක් යනකොට දෙමව්පියෝ.. ජීවිතේ සම්පූර්ණයි”
මට මගේ නැන්දම්මා ගැන කියාගන්න බැරි ආදරයක් දැනෙද්දී ඕපාදූපකාරි වෙනත් මේසෙක ඕපාදූප බෙදා ගන්න ගිහින්.
කසාදෙට කලින් දරුවෝ ලැබුණත් කමක් නෑ දූ. කසාදයක් නැතත් ඒ ළමයින්ට හරි අම්මා තාත්තා වෙන්න පුලුවන් නම්. ගොඩක් මිනිස්සු ලියවිල්ලට බය තරම් බැඳීම් වලට බය නෑ”
අම්මා කියන්නේ ඈතින් හිනා වෙන අලුත් මනමාලිගේ හිනාව දිහා ආදරෙන් බලාගෙන.

Related Articles

Don't Miss


Latest Articles