ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත වේ. ඇය නිකට තියා උන් උද්‍යාන පුටු කට්ටලය මැද වන ස්ටූල් එක මත අලුතෙන් වැටුණ මල් කිහිපයක් ම විය. 

මේ උද්‍යානය සැලසුම් වූයේ සිය අදහස් මත බව නිශාමනී ට සිහි විය. ඒ හැම ගහක් කොළක් ස්ථාන ගත කිරීමේ අදහස ඇයගේ ය. නමුත් ඇය ඒ සියල්ල අතැර ඇගේ සුර විමනෙන් අභිනික්මන් කළා ය. 

එසේ කොට තෝරා ගත් ශරදාගාසය ද අද ඇය ට අහිමි වී තියේ. ජීවිතය එහෙම ය. එහි වන්නේ යාම් හා ඒම් ය.

ඇය යන විට ශරදාකාස ය තිබුණ හැටි නිශාමනී ට සිහි වේ. කොල්ලන් දෙදෙනෙකු පමණක් ජීවත් වන නිවසක්, ගැහැනු පහසක් ලද නිවසකට වඩා වෙනස් ය. ඒ මිදුලේ මල් පිපෙනා එක ගසකුදු වූයේ නැත. කලකට පෙර ඇගේ මව් විසින් සිටවන ලදැයි සිතිය හැකි වූ ගස් කිහිපයක් පවා වූයේ වැස්සෙන් පමණක් දිය බිඳක් ලබමින් ජීවිතයත් මරණයත් අතරේ සටනක ය. ශරදාකාසය යළි හුස්ම ගත්තේ නිශාමනී ගේ ආදරය නිසාවෙනි. කිසිදු ජීවයකින් තොර ව පැවති නිවස ඇතුළත පවා ඇය සිය හුරුබුහුටි දෑතින් ඉන්නට හිතෙනා තැනක් කළා ය.

ආකාස ඒ වෙනස ස්නේහයෙන් වැළඳ ගත් බව නිශාමනී දැන සිටියා ය. ශාරද ගේ මල්ලී වැඩි කතා බහක් නැති ආඩම්බරකාරයෙකු වශයෙන් මුලදී ඇය සිය සිතට ඒත්තු ගන්වා දුන්නා ය. ඔහු ඇගේ මූණ දෙස කෙලින් බලා කතා කළේ හෝ නැති තරම ය. ඒ ලැජ්ජාශීලය නිශාමනී ව ඔහු වෙත සමීප වන්නට තව තවත් පොළඹවාලන ලදී. ඇය ඔහුත් එක්ක කතා කළේ බලයෙනි. වයසින් වැඩි වී ද මල්ලී කියාගෙන ඔහු ට සමීප වූයේ එතකොට ඔහු ද ලං වනු ඇතැයි හැඟීමෙනි. 

ඇය ගෙතුළ අස් පස් කොට පන්සලක් සේ නිවී සැනැසුණ තැනක් කරත්දී ඔහු දෑසින් බලා ගෙන හදවතින් ඒ විඳ ගත්තේ ය. සිය දෑතින් ඇය ගෙදර නිවහනක් කරත්දී ඔහු දෑත් බැඳ ගෙන දෑස් ඈ පසු පස ඇවිද්දෙව්වේ ය. 

“දෙන්න කෝප්පෙ”

ඔහු තේ එක බොන තුරු හිඳ ඇය සෝදන්නට ඒ ඉල්ලන්නී ය.

“මං හෝදන්නං”

ආකාස කෝප්පය ගෙන සින්ක් එක ළඟට යයි. ඇය ඒ තරම් වැඩ කන්දරාවක් කරත්දී ඔහු ට දුක හිතුණේ වරක් දෙකක් නොවේ. ඔහු ගේ කෝප්පය සේදීම වැනි කුඩා වැඩකින් හෝ ඇය නිදහස් කළේ වී නම් එය ද සහනයකැයි ආකාස ට සිතී තිබේ. 

“කෝ රෙදි..”

ඔහු ගේ කාමරයේ කිළිටි ඇඳුම් සඟවා තැබි දාක ඇය කාමරයට විත් ඒවා සොයා ඔහු විමසා තිබේ.

“මං හෝදගන්නං”

ආකාස එහෙම කියන්නේ නිශාමනී ගේ මූණ දෙස කෙලින් නො බලා ය. 

“මෙන්න මෙහෙට දෙන්න අනේ. වොශින් මැෂින් එක දෙපාරකට දාන්න ඕන නෑනෙ”

ඇය සිනහ වෙවී ඔහු ට බල කරයි.

“මං අතේ හෝද ගන්නං”

“මේ මොන විකාරයක්ද අතේ රෙදි හෝදන්නෙ. වයිෆ් කෙනෙක් ගෙනාපු දාක අපි ඕව හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නං. එතකල් මෙහෙට දෙන්නකො රෙදි ටික මැශින් එකට දාන්න”

ආකාස ඈ අතට කිළිටි ඇඳුම් දුන්නේ පැකිළීමෙනි. ඇය සිනහ වෙවී ගේ මිදුල් පුරා දුව ඇවිදිමින් සොයා බලා සියලු දේ කරත්දී ආකාස ට දැනුණේ ඔහු තව තවත් ක්ෂුද්‍ර ප්‍රාණියෙකු වෙන්නා සේ ය. ඔහු ට ඇය සිහි කළේ ම අම්මා ව ය. ආකාස ට මතක අම්මා, තාත්තා හා ඔවුන් දෙදෙනා මත්තේ කැප වූ කෙනෙකි. ඔවුන් ගේ ගෙදර සතුටෙන් පිරී ගිය එකකි. තාත්තා අම්මා ට ගෙදර වැඩ ට උදව් කළේ ය. විටෙක ඔහු ගේ රෙදි ටික තෙමේ ම සෝදා ගත්තේ ය. ඉඳ හිට ඔවුන් ව කෑමකට පිටතට කැටිව ගියේ ය. අම්මා සිය පවුල තුළ අනලස් හා කඩිසර ගෘහණියකගේත් ආදරණිය බිරිඳක හා මවක ගේත් භූමිකාව රඟ දැක්වූවා ය.

අම්මාට වාගේ ම කරුණාවත් හදක් ද කඩිසර දෑතක් ද නිශාමනී ට තිබුණේ ය. ඉඳ හිට අම්මා ගේ ඇස් වල දැක ඇති දුක් මුසු සිනහව වෙනුවට නිශාමනී ගේ වත මත හැම විටෙක ම තිබුණේ තෘප්තිමත් හා ප්‍රීතිමත් සිනහවකි. ඒ සිනහවේ කාන්තිය, ආකාස ගේ පාළු හදෙහි කුස්තුර පුරවමින් කාලයට සමානුපාත ව හෙමි හෙමිහිට ගලා ගියේ ය. සැබවින් ඇගෙු මව්වත් හද තුළ ඔහු ළමයෙකු වෙමින් සිටියේ ය. ඒ භූමිකාව ට කැමැත්තෙන් ආවේශ වූයේ ය.

ඔහු ට උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණ දා ක ඇය ආවතේව කළේ තනිකර ම අම්මා වෙමිනි. හිස් මුදුනෙහි ඕඩිකොලෝන් ගල්වා, නළල දෙපස වික්ස් බාම් තවරා, වෙනිවැල්ගැට කොත්තමල්ලි බලයෙන් පොවමින්, උණු වතුර වාෂ්ප කලාපයෙහි ඔහු ව රඳවා ගත්තේ ඇය ද ඒ තුළ සිටිමිනි. පැය හයකට වරක් වේදනා නාශක පෙති ලබා දෙනු වස් ඇය එලාම් එක තබා මැදියම් රැයෙහිත් අවදි වූවා ය. කන්නට බෑ කියත්දී බලයෙන් අනා බත් කැව්වා ය. මතක ඉතිහාසයේ අම්මා අස විඳ පුරුදු ඒ අමතක කළ නො හැකි මතක කැබිලිති ඇය නිසා යළි මතුපිටට ආවේ ය. එවන් විටෙක ආකාස ගේ ඇසෙන් කඳුළක් ගිලිහී ගියේ වේදනාව උහුලා ගත නො හැකි ව නොවේ.

“අයියෝ කොල්ලෙක් ඔහොම පුළුවන් ද ආ…චුට්ටක් දරා ගන්නකො”

එවන් විටෙක ඇය තරවටුවක් කළා ය. ඕඩිකොලෝන් පැලැස්තරයක් නළලත දමා ඔහු ට නින්ද යන්නට සැලැස්වූවා ය.

ආකාස වැඩි වැඩියෙන් ඇගේ මාතෘ හදවත වෙත බැඳෙමින් සිටියේ ය. එතැන්හිදී ඔහු ට සිය පෙම්වතිය දැනුණේ කිසිවක් තනි ව කර ගත නො හැකි ව බබෙකු වන්නට හදනා කරදරකාර ආත්මයක් ලෙසිනි. ඔහු නිශාමනී ට සාපේක්ෂ ව අනිත් යුවතියන් දෙස බලන්නට පුරුදු වෙමින් සිටියේ ය. එය කෙතරම් වැරදි සහගත ක්‍රියාවක් දැයි ඔහු දැන සිටියේ නැත. ආකාස ට පෙම්වතිය අහිමි වූයේ ඔහු නිශාමනී නමැති මිනුම් දඬුවෙන් සියලු ස්ත්‍රීන් ව මිනුම් කරන්නට ගිය නිසා යයි අදට ද ආකාස නො දනී.

“අම්මි…කෝල්…”

කියමින් එසඳි නිශාමනී ගේ ජංගම දුරකතනය ගෙන දිව ආවා ය. එහි සනිටුහන් ව තිබුණේ පංචලී ගේ දුරකතන අංකයයි.

“අනේ එහෙම කරන්න එපා නිශාමනී. ශාරද ට ඒ තරං දඬුවමක් දෙන්න එපා. ඔයා ගෙදරින් ගිය එක ගැන එයා විඳවන තරං…දෙයියනේ මට මැරෙන්න හිතෙනව”

පංචලී හැඬුම් බර වූවා ය.

“අඬන්න එපා. අඬන එක ඔයාට හොඳ දෙයක් නෙවෙයි. දරුවට ඒක නරක විදිහට බලපාන්න පුළුවන්”

නිශාමනී ට ඒ වෙලාවේ ත් සිහිපත් වූයේ ඒ දරුවා ම ය. 

“පංචලී. ඒක අමාරුයි තමයි. ඒත් ශාරද ඒකට හුරු වෙයි. ඔයා එයාට උදව් කරන්න”

අනතුරුව ඇය මිමිණුවා ය.

“මං නිසා නේද මේ දේවල් වුණේ කියල හිතෙද්දි මහ වැරදිකාර හැඟීමක් මට වද දෙනව. ආදරේ මොන තරං හිතේ තිබුණත් ඒක හිතේ ම තියං ඉන්න තිබුණා නේද කියල හිතෙනව. එහෙම වුණානං ඔය දෙන්නා…”

“ඔයා නො හිටියා වුණත් එයා වෙන කෙනෙක් ළඟ නැවතිලා ඉඳියි. ඒකට ඔයාට වැරදි කියා ගන්න එපා”

ඇය ට ශාරද හැර යන්නට දිරිය තිබිය දී ඔහු ගේ විඳවීම බලා ඉන්නට පංචලී ට නො හැකි වී තිබේ. ආදරය හරි පුදුමයි කියා නිශාමනී ට සිතිණ.

“ඩිවෝස් එක ලැබුණට පස්සෙ ඔයාල බඳින්න. ඒ වෙනකල් වුණත් ඔයා එයාගෙ ගෙදරට ගියා කියල මගෙන් කිසිම කම්ප්ලේන් එකක් නෑ”

“අනේ නිශාමනී”

 මේ තරම් යකඩ ගැහැනියක වන්නට හැකි වීම ගැන නිශාමනී තමන් ගැන ම පුදුම වූවා ය. 

ශාරද ඒ දින කිහිපය ගත කළේ බලවත් පීඩනයක් තුළ ය. යා යුතු ම නිසා රැකියාවට ගිය ද ඔහු ගේ රාත්‍රියේ මත් වීමෙන් ගෙවී ගියේ ය. ශාරද සමග වුව තව දුරටත් නිශාමනී ගැන කතා නො කළ හෙතෙම බරපතල අභ්‍යන්තර විඳවීමකට ලක් ව සිටියේ ය. පංචලී හිමි වෙත්දී නිශාමනී අහිමි වනවා නම් ඔහු ට ඒ හිමි වීමෙන් ඇති පලක් නොවේ. එක මඳ මත් බව රැඳි රාත්‍රියක ශාරද නිශාමනී ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

ඇය සිටියේ ද නින්දේ නොවේ. ශරදාකාසයෙන් නික්ම ගිය දින සිට ඇය ට දීර්ඝ වූ සුව නින්දක් ලැබුණේ නැත. විටෙන් විට කෙටි නිද්‍රාවන් ට වැටෙමින් ද නින්දෙන් හඬමින් ද තිගැස්සී අවදි වූවා පමණකි. මේ දුරකතන හැඬවුම නිශාමනී ගේ ඇතුළාන්තය ඒ තරම් තිගැස්මකට ලක් කළේ ශාරද ගේ නම දකින්නටත් පෙර ය.

“හෙලෝ”

ඒ මැදියම් රැයේ ඔහු ගේ බමන හඬ ඇහෙත්දී මුලින් ම ඇය ට සිතුණේ ඔහු ට කරදරයක් ද කියා ය.

“ශාරද…ඔයා හොඳින් නේද..”

“කොහොමද හොඳ වෙන්නෙ ශාමි. ඔයා නැති ජීවිතේ…මං කොහොමද හොඳින් ඉන්නෙ..”

සැබවින් නිශාමනී පියවි තත්වයට පත් වූයේ ඒ වෙලාවේ ය. ඇය මඳකට ගොළු වූවා ය. දැන් ඔහු ත් එක්ක ඒ වාගේ සමීප පිළිසඳරකට යන එක වුව තමන්ට කැප නැති දෙයකැයි ඇය ට සිතිණ.

“මට ඔයයි දුවයි බලන්න ඕන ශාමි. ඔයාට හිතා ගන්න පුළුවන් ද මං මේ කොහොම ජීවිතයක් ද ගෙවන්නෙ කියල..ඔයාව බැන්ද දා ඉඳන් හැම රෑකම මං ගෙදර ආව. ඔය දෙන්නව තනියම තියන්න බැරි නිසා. මට තාම තේරෙන්නෑ ශාමි. ඇයි අපිට මෙහෙම වුණේ…ඇයි මට පාර වැරදුණේ…”

“අපි…උදේට කතා කරමු ශාරද”

“මට දැන් උදේ දවල් රෑ කියල වෙනසක් නෑ”

“දැන්වත් ජීවිතේ ගැන පිළිවෙලකට හිතන්න. ඔයා වෙනුවෙන් මකර කටකට පැනපු ගෑනියෙක් පංචලී. බඳින්න කලින් කොහොම වුනත් බැන්දට පස්සෙ අපිට හිත ගිය තැන මාළිගා හදන්න බෑ ශාරද. අපේ සංස්කෘතික පරිසරෙත් එක්ක…ඔයාට තේරෙනව නේද…එහෙම කරන්න ගියාම සමහර විට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. ඔයාට තාම පංචලී හරි ආදරෙයි. එයාව පරිස්සං කර ගන්න. මාව බලන්න දෙයක් නෑ ශාරද. ඒත් ඔයාට දුව බලන්න ඕන කියල හිතෙන ඕන වෙලාවක ඒක කරන්න පුළුවන්. මොකද ඔයා එයාගෙ තාත්ත. මං ඒ අයිතිය කවදාවත් ඔය දෙන්නටම නැති කරන්නෙ නෑ. හැබැයි ඔයා පංචලීටයි ඒ දරුවටයි ආදරේ කරන්න. තව සීයක් ළඟට ගියත් ඔච්චරයි කියන දේ තේරුං අරගෙන ඒ බැඳීම පරිස්සං කර ගන්න”

ඇය දුරකතන සංවාදය නිමා කළේ එසඳි බැලීමට එළඹෙන සන්ධ්‍යාවේ මුහුදු වෙරළට එන්නට ඔහු ට අවසර දෙමිනි. එසේ ම මුහුදු වෙරල වෙත ඔවුන් කැඳවා ගෙන යන ලෙස ඇය ආකාස ට කතා කොට කීවා ය.

“මොකද්ද ශාරද ගෙ මල්ලි මෙහෙ යන එන එකේ තේරුම…ශාරද එපා නං ඔයා ඒ පවුලෙ කිසි කෙනෙක් එක්ක සම්බන්දකං තියා ගන්න ඕන නෑ”

පිලපිටිය මැතිණිය, ඒ සන්ධ්‍යාවේ නිශාමනී හා එසඳි මුහුදු වෙරළට යාමට සූදානම් ව ආකාස එන තුරු සිටියදී කීවා ය. ඒ නිශාමනී අම්මා ගෙන් බලාපොරොත්තු ව සිටි යමකි.

“ආකාස කියන්නෙ එසඳි ගෙ බාප්ප අම්මෙ. එසඳිව එයාගෙ තාත්තට පෙන්නන්න අරං යන්න අඬගහගන්න මට ඊට වැඩිය විස්වාසවන්ත කෙනෙක් නෑ”

“ඔයා විශ්වාස කරපු ශාරද ගෙ හැටි අන්තිමට ඔයා ම දැක්කනෙ”

මේ අනතුරු ඇඟවීමකි. නිශාමනී ශාරද ගෙන් වෙන් වෙන්නට ගත් තීරණයට අත පොවන්නේ නැති වී ද ඉනික්බිති උදා වෙන අනාගතයේ දී ඇය ඔවුන් ගේ නියමයන් ට හා කැමැත්තට අනුව සිය ජීවිතය ගත කළ යුතු බවට අනතුරු ඇඟවීමකි. නිශාමනී වහා එය හැඳින්නා ය.

මීට පෙර ද නිශාමනී ඕනෑ තරම් ආකාස ගේ රියෙහි ගමන් ගොස් තිබේ. ඔහු ගේ අධික වේගයට ඈ රිසි නොවී ද ඔහු දක්ෂ රියදුරෙකු බව ඇය දැන සිටියා ය. මේ ගමනත් වේගය අධික ගමනක් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වී ද ආකාස එදා රිය පැදවූයේ පුරුද්ද අමතක කොට ය.

ඔහු ගේ මූණේ ප්‍රීතිමත් බවක් විය. වගකීම් සහගත බවක් විය. නිශාමනී ගේ හදට ඒ බරට දැනිණ. නමුත් කිසිවක් වචන බවට පෙරළුණේ නැත.

“බාප්පි ප්‍රොමිස් කළානෙ මාව ගෙදර එක්කං යනව කියල”

මගදී එසඳි ට එය සිහි ව තිබිණ.

“එක්කං යන්නං. අහන්න අම්මිගෙං කැමතිද කියල”

ඔහු කීවේ ඉදිරි කැඩපතින් ඇගේ මූණ බලමිනි. ඒ ඇස් බැල්ම බරැති හැඟීමක් දැනවූයෙන් නිශාමනී ඉවත බැලුවා ය.

“අම්මි අපි අපේ ගෙදර යමු. අනේ අම්මි. මං ආස අපේ ගෙදරට. යමුකො අපි”

එසඳි සොඳුරු වදයක් දෙන්නට වූවා ය.

“දැන් අපිට එහෙ අයිති නෑ”

ඇය එසේ කීවේ උගුර යටිනි. එසඳිට තේරෙන්නේ නැති කතාවක් බව දැන දැන වුව ඈ එසේ කීවේ තව දුරටත් තමන් රිදවා ගන්නට ය.

ආකාස යන්තම් හැරී බැලුවේ ය. නමුත් නිශාමනී නො බලා ම සිටියා ය.

“අයිතිද නැද්ද කියල බලන්න එන්න ඕනනෙ”

“ආවනෙ සැරයක්”

“සමහර තීරණ හරියන්නෙ දෙවෙනි වතාවකදි”

“අපි තාත්ති බලල එමුකො දුව. මීට පස්සෙ දූට හැමදාම තාත්ති බලන්න බැරි වෙයි”

“අනේ ඇයි ඒ…”

“එහෙම තමයි පුතේ. ජීවිතේ කාලෙන් කාලෙට වෙනස් වෙනව. තාත්තිට අපි ළඟ ඉන්න තිබුණ කාලෙ ඉවරයි. එයා දැන් අපිත් එක්ක නෑ. ඔයා මේක තේරුං ගන්න ඕන”

“මොනාද දරුවට කියන්නෙ…”

“එයා මේ ඇත්ත දැන ගන්න ඕනනෙ ආකාස”

“මගෙ මැණිකට බාප්ප ඉන්නවනෙ. බාප්ප හැමදාම ඔයාව බලන්න එනවනෙ…ම්…තාත්ත නැති වෙලාවට පුතා හිතන්න මමයි ඔයාගෙ තාත්ත කියල. ඔයා කැමතියි නේද…එතකොට මගෙ මැණිකට තාත්තල දෙන්නයි”

“මොනාද ආකාස ඔයා මේ දරුවට කියන්නෙ…”

“ඇයි…එයා ඒක දැන ගන්න ඕන. එයා ඇත්ත තේරුං ගන්න ඕන”

නිශාමනී තැති ගත් දෑසින් අකාස දෙස කැඩපතින් බැලුවා ය. ඔහු ගේ ඇස් මත වූයේ මුරණ්ඩු හිතුවක්කාර බවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...