කටට සැරට රසවත් දැල්ලො කරියක් හදමු ..

ශ්‍රී ලංකාව කියන්නෙ මුහුදෙන් වටවෙලා තියෙන දිවයිනක් නිසා මුහුදු මාළු සහ මුහුදු ආහාර කියන්නෙ ශ්‍රී ලංකාවේ අපේ ආහාර සංස්කෘ තියට බොහොම හුරුපුරුදු දෙයක්නෙ. 

සාම්ප්‍රදායික ඇඹුල් තියල් සහ ජාඩි වගේ ක්‍රම වගේම අද වෙද්දී විදේශ රටවල් වල ආභාෂය අරන් මුහුදු ආහාර පිළියෙල කරන ක්‍රමත් ශ්‍රී ලාංකීය අපි අතර බොහොම ජනප්‍රිය වෙලා තියෙනව. 

දැල්ලො කියන්නෙ ඒ වගේ අපි බොහෝදෙනෙක් ආහාරයට ගන්න හරිම කැමති මුහුදු ආහාර (sea food) වර්ග වලින් එකක් කියල ඔබ දන්නවනේ. 

දැල්ලො හදද්දි බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි දැල්ලගෙ තියෙන ඇදෙන සුළු ගතිය නිසා අපි දාන තුනපහ වල රස දැල්ලට උරා ගැනීම අඩු බව වගේම හරි පාටක් දැල්ලො ව්‍යාංජනයට ලැබෙන්නෙ නැති වීම. 

ඉතිං, අන්න ඒ ගැටළු වලට විසඳුමක් විදිහට රසම රස කලු පාට දැල්ලො ව්‍යාංජනයක් හදන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

අද අපි දැල්ලො හදන්නෙ සාම්ප්‍රදායික කේරළ ක්‍රමයට නිසා මේ කුළුබඬු තුනපහ වර්ගම පාවිච්චි කරන්න පුළුවන් නම් මේ රස ඒ විදිහටම ලබා ගන්න ඔබට පුළුවන් කියලත් අපි මතක් කරනව. 

එහෙනම් මුලින්ම බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නෙ කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

පිරිසිදු කරගෙන කුඩා රවුම් වලට කපාගත් දැල්ලන් 500 g ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක් 

පලාගත් අමු මිරිස් කරල් 01 ක් 02 ක් 

කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක් 

කරපිංචා ඉත්තක කොළ

අඟල් භාගයක පමණ ඉඟුරු කැබැල්ලක් 

සුදුලූණු බික් 03 ක් 04 ක් 

(සුදුලූණු සහ ඉඟුරු අඹරා ගුලියක් ආකාරයට සකසා ගන්න) 

මිරිස් කුඩු තේ හැඳි 01 ½ ක් 

කොත්තමල්ලි කුඩු තේ හැන්ඳක් 

ගරම් මසාලා තේ හැන්ඳක් 

(කොත්තමල්ලි කුඩු සහ ගරම් මසාලා වෙනුවට බැඳපු තුනපහ කුඩු තේ හැන්ඳක් පමණ එකතු කරන්නත් ඔබට පුළුවන්) 

කහ කුඩු තේ හැඳි ½ ක් 

සූදුරු තේ හැඳි ½ ක් 

අබ තේ හැඳි ½ ක් 

ලුණු කුඩු

තෙල් 

අවශ්‍ය කළමණා සූදානම් කරගත්තට පස්සෙ අපි බලමු කොහොමද දැල්ලො කරිය හදන්නෙ කියල

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි 02 ක් පමණ එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු එයට අබ සහ සූදුරු දමා අබ පිපිරී අවසන් වූ පසු එයට අඹරාගත් ඉඟුරු සුදුලූණු දමා රන්වන් පාට වනතුරු මඳක් බැඳෙන්නට හරින්න. 

ඉන්පසු, එයට සිහින්ව ලියාගත් ලූණු සහ අමු මිරිස් එකතු කරගන්න. 

ලූණු මැලවී ගෙන එන විට රස අනුව කරපිංචා, ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා හෝ බැඳපු තුනපහ කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

මේ කුළුබඩු වල ප්‍රමාණයන් ඔබේ රස අනුව ඔබට අඩු වැඩි කරගන්න පුළුවන්.

දැන් මේ සියල්ල හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා එයට කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගන්න. 

නැවත හොඳින් කලවම් කර තක්කාලි වල හයිය ගතිය ඉවත් වී තක්කාලි මෘදු සහ මැළවෙන ස්වභාවයට පත්වෙන තෙක් අඩු ගින්දරේ පිසගන්න. 

දැන් කපාගත් දැල්ලෝ එකතු කර හොඳින් කළවම් කරගන්න. 

භාජනයේ පියන වසා දැල්ලෝ ටික හොඳින් පිසගන්න. 

අතරමැදදී භාජනයේ පියන විවෘ ත කර නැවත හොඳින් කලවම් කරගන්න. 

මේ විදිහට විනාඩි 10 ක් 15 ක් පමණ හොද්දේ පාට තද දුඹුරු පැහැයට හුරු කලු පැහැයකට ද දැල්ලන් මුලින් තිබූ ප්‍රමාණයට වඩා සිහින් වන තෙක්ද පිසගන්න. 

ඇඹුල් ගතිය මදිනම් ගොරක අණ්ඩක් එකතු කරගන්නත් ඔබට පුළුවන්. 

ඔන්න එහෙනම්, රසම රස දැල්ලො කරිය සූදානම්. 

බත්, පාන්, ඉඳි ආප්ප මේ ඕනම දෙයක් එක්ක හරි හරියට රස ගැළපෙන රසම රස දැල්ලො කරියක් හදන විදිහයි අද අපි කියල දුන්නෙ. 

මේ වගේම රසවත් ආහාරයකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles