පිපිඤ්ඤා කියන්නෙ නම ඇහුනත් හිත නිමෙන කෑමක්නෙ.
කැලරි ප්‍රතිශතය ඉතාම අඩු පිපිඤ්ඤා වල ජලය සහ තන්තු වැඩි ප්‍රමාණයක් වගේම ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් C, විටමින් K, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් වගේ පෝෂක අන්තර්ගත වෙලා තියෙනව.
ඒ වගේම පිපිඤ්ඤා කියන්නෙ නීරෝගි ලෙස සිරුරේ බර අඩු කරන්න, රුධිර පීඩනය අඩු කරන්න වගේම හෘදය, පෙනහළු ආශ්රිත රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්නත් උදව් වෙන පෝෂ්‍යදායී ආහාරයක්.
පිපිඤ්ඤා බීම වගේම පිපිඤ්ඤා ආහාරයට ගන්න ඉතාම ජනප්‍රිය ක්‍රමය පිපිඤ්ඤා සලාදයනේ. අපේ ගෙදරක සාදයකදී, අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම උත්සව අවස්ථාවකදිත් පිපිඤ්ඤා සලාදයක් කෑම මේසෙ වරදින්නෙ නම් නෑ.
හැබැයි ඔන්න අද අපි කියල දෙන්නෙ ලස්සන කහ කොළ පාටට පිපිඤ්ඤා ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියලයි.
එහෙනම් අපි මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
සෝදා පොතු ඉවත් කරගෙන මදය ඉවත් කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්
කරපිංචා ඉත්තක කොළ
රම්පෙ කැබැල්ලක්
සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 05 ක්
පලාගත් අමු මිරිස් කරල් 03 ක්
සිහින්ව ලියාගත් උම්බලකඩ මේස හැන්ඳක්
අමු තුනපහ කුඩු තේ හැඳි 01 ½ ක්
කහ කුඩු තේ හැඳි ⅛ ක්
මිරිස් කුඩු තේ හැඳි ½ ක්
රස අනුව ලුණු කුඩු
ගොරක අණ්ඩක්
මිටිකිරි අඬු කෝප්ප 01 ක්
දියකිරි අඬු කෝප්ප 01 ක්
හොඳයි දැන් අපි බලමු අපි කොහොමද පිපිඤ්ඤා ව්‍යාංජනය හදාගන්නෙ කියල.
සාදාගන්නා ආකාරය
මුලින්ම, මඳය ඉවත් කරගත් පිපිඤ්ඤා ගෙඩිය සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපාගන්න.
දැන් උයන භාජනයක් ගෙන එයට පිපිඤ්ඤා, කරපිංචා, රම්පෙ, උම්බලකඩ, අමු තුනපහ, මිරිස් කුඩු, රස අනුව ලුණු කුඩු, කහ කුඩු, ගොරක අණ්ඩක් සහ දියකිරි එකතු කර හොඳින් කලවම් කරන්න.
දැන් භාජනය ලිපේ තබා මඳ ගින්නේ පිසගන්න.
පිපිඤ්ඤා කැබලි හොඳින් තැම්බී දියකිරි හිඳෙන තුරු තම්බාගත යුතුයි.
(දියකිරි සම්පූර්ණයෙන් හිඳෙන තුරු තබන්නත් එපා)
ඉන්පසු, මිටිකිරි සහ අමු මිරිස් එකතු කර හැඳිගාමින් මිටිකිරි පැහෙන තුරු තබාගන්න.
මිටිකිරි පැහුනු පසු ලිපෙන් ඉවත් කර කිරි කැටි නොගැසෙන සේ තවත් විනාඩියක් පමණ හැඳිගා පිපිඤ්ඤා ව්‍යාංජනය රස බලන්න ඔබට පුළුවන්.
කැමති නම් සූදුරු කුඩු ටිකක් හෝ අබ සමඟ තෙම්පරාදු කරගත් වියළි මිරිස් සහ කරපිංචා ටිකක් පිපිඤ්ඤා ව්‍යාංජනය උඩින් දමා රස වැඩි කරගන්නත් පුළුවන් කියල අපි මතක් කරනවා.
එහෙනම් මේ වගේම රසවත් කෑමකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා.
රසට කන්න – සුවෙන් ඉන්න !
සටහන – දුලානි නවෝද්‍යා