~ ~ ~ වර්තමානය ~ ~ ~
පසුදින මා ඇහැරුණේ මහේල අරන්දර කිසිවෙකු හා කෝපයෙන් කියවාගන්නා හඬකිනි. මම යහනේම හිඳගෙන අසා උන්නෙමි. එහෙත් මට පැහැදිලිව වටහා ගන්නට ඉඩ ලැබුනේ නැත. එනිසා මම එය අසා සිටීම නවතා දාමුවෙමි. අනුන්ගේ කතාවකට සවන් දීමෙන් කොහොමටත් ලැබෙන්නේ අතිරේක මානසික වදයක්ම පමණි.
ඇමතුම අවසන් කර මහේල කාමරයේ දොරෙන් එබෙනෙවිට මම උන්නෙ දොර දෙස බලාගෙනය.
” දැන් කොහොමද ?”
මම හිස සැලුවෙමි. සුව නින්දක් වූ වග හැඟෙව්වෙමි.
” සැපට නින්ද නම් යන්නැති. උදේ බූවල්ලෙක් වගේ මාව බඳාගෙන නේ හිටියේ…”
අරන්දර පොඩි කොල්ලා එහෙම කියන අතරේ ජනෙල් රෙද්ද පසෙකට කලේය. කාමරයට කහ පාට අමුතු එළියක් වැටුණි. මම ඔහු දෙස නොබලා ඉන්නට උත්සාහ කලෙමි.
සැබැවින්ම මහේල අරන්දර දැන් මගේ දෑස් මානයේ, මා රැක බලා ගනිමින් සිටුන බව මට විශ්වාස කිරීමද අපහසුය. එහෙත් එය සිදු වන බව ඔබටද පෙනෙන්නේය.
” කා එක්කද රණ්ඩු කලේ ?
මම සිතුනාට ඇසුවෙමි.
මහේල එය නෑසුණා මෙන් මා වෙත ඇවිද ආවේය.
” වොශ් දාගෙන එන්න … උදේට දිය බත් හැදුවා ….”
මහේල අරන්දර සරදම් මුහුණක් මවාගෙන කීවේය. ඔහු අතීතය අවුස්සන්නේ සැලසුම් සහගත ලෙසිනි.
ඉන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔබට වැටහෙනවාද . ?
කලකට පෙර සිද්දිය අමතක නැති හැඩය. දින වකවානු පවා මටත් හොඳ හැටි මතකය. මහේල සහ මම මගේ නවාතැනේ උන් දවසකි. පෙරදා රැයේ ඉතිරි වූ බත් රයිස් කුකරයෙන් එකක් විය.
” අද දිය බත් කමු …”
මහේල සූදානම් වූයේය. මහේල උයන්නට සූදානම් වන වරු වල මම කලේ පසෙකට වී බලා හිඳීමය. ඔහු උයා අවසම් වනවිට,උයන විදිය බලා හිඳීමෙන් මගේ හිත සම්පූර්ණයෙන්ම පිරී යයි. මහේල රයිස් කුකරයට වතුර වීදුරුවක් දමා එයබත් සමඟ කලවම් කලේය. එය වසා තැබුවේය.
ඉන් පසුව රතුලූණු ලපා ගත්තේය. අමු මිරිස් කපා ගත්තේය. උම්බලකඩ බෝතලය සොයා ගත්තේය. දෙහි ගෙඩියක් ගත්තේය.
” පොල් ගාන්න බෑනේ නේ ? අවුලක් නෑ. මම ගාන්නම් …”
මට එහෙම කියමින් පොල් ගෙඩියෙන් බාගයක් විනාඩියක් තුළ ගාගත්තේය. එය බ්ලෙන්ඩරයට දැම්මේය. මිරිකා ගත් කිරි රයිස්කුකරයට දමා යලි බත් සමඟ මිශ්‍ර කලේය.
“අසේකා .. ඕවා ටික දාන්න මේකට…”
කපා තිබූ රතුලූණුද, අමුමිරිස් ද, උම්බලකඩ ද, එයට දැම්මේ මමය. මහේල ඒ සියල්ල මිශ්‍ර කලේය. ලුණුද දෙහිද දමා රස බැලුවේය. ඇහි බැම නළලටම ඔසවා එය එතරම් රසවත් බව කීවේය.
” හරි… කන්නයි තියෙන්නේ …”
ඔහු එලෙස පවසා මා වෙත බඳුනක් පෑවේය
” උයන්නේ නෑද “
මම ඇසුවෙමි.
” මොකක් ?”
මහේල අරන්දර ඇසුවේ මා ලෝකයේ අටවෙනි පුදුමය ඔහු ඉදිරියට ගෙන ආ ලෙසකින් පුදුම වෙමිනි.
” ප්ලග් කරන්නේ නැද්ද රයිස් කුකර් එක …?”
මම ඇසුවේ ඔහුගේ පුදුමය ගනනකට නැතිවය.
එදා පටන් සෑහෙන කාලයක් මට විසුමක් නො දෙන්නට මහේල අරන්දර ට හේතුවක් ලැබුණි.
ඔහුට අවැසි වූ තැනක හාදුවක් දෙන්නට ඔහු මා බ්ලැක්මේල් කලේය.
” ඒයි.. කිස් එකක් ඕනි… නැත්නම් අරක කියනවා හැමෝටම .. දිය බත් ලිපේ තියලා උයලාකන කෙල්ලෙක් කියලා …”
ඔහු එය පුරුද්දකට තියා ගත්තේය.
මම සුසුමක් හෙලුවෙමි. අතීතයේ ශේෂ කෙතරම් සුන්දරදැයි ඔබටද සිතෙනවා විය යුතුය. ඇත්තය. ඉතා දුක් විඳි ජීවිතයක් තිබු අසේකා සමනල් සෙයියාවකට වැටුනේ මහේල අරන්දර නිසාය. ඒ සුව පහසුව අහිමි කරගත්තේ අසේකා පණ්ඩිතරත්නය. දැන් මහේල අරන්දර ඒ සුව පිරි අතීතය අවුස්සමින් මොකක්දෝ එකකට සූදානම් වන්නේය.
” මොකද ලිපේ තියලා කරලා හදලා ගන්න වෙයිද් ? “
මහේල අරන්දර මා වෙත නැවී උන්නේය. එවෙලෙහි මා වෙත වැටෙමින් තිබූ ඔහුගේ උණුසුම් සුසුම් මඟහරින්නට උත්සාහ කලේ ඇයිදැයි ඔබට කියන්නට මට වැටහෙන්නේ නැත.
” මම වෙනස් වෙලා නෑ අසේකා … ඒත් ඔයා වෙනස් වෙලා…”
ඔහු ඒ සැනින් මගෙන් ඉවතට වී කාමරයෙන් පිටතට ගියේය. නොරිදුණා නොවේ. එහෙත් ඒ රිදුම් වලට හුරු වන්නට සිදු වන අනාගතයක්ද උරුම විය හැකිය.
මම ඇඟ සෝදා ගත්තෙමි. මගේ ඇඳුම් බෑගය වූ නිසා ඇඳුම් පැළඳුම් ගැන ගැටලුවක් වූයේ නැත. දැනෙමින් තිබූ කුසගින්න හා ගැටෙන්නට තරම් සවියක් නොවූ නිසා මම මහේල අරන්දර සොයා ගියෙමි. ඔහු මා වෙත සෑහෙන තරමේ බඳුනක් පෑවේය. ඔහු ඉදිරියේ වූ බඳුන අඩකට වඩා හිස් ව තිබුණි.
” මගේ මූණ බලන් ඉන්න ඕනි නම් වෙලාවක් දාලා දෙන්නම්… ඉස්සෙල්ලා ඕක බීලා ඉන්න…”
ඔහු පවසනතුරුම මා ඉන්නට ඇත්තේ පියවි සිහියේ නොවේය.
” ඔයා ඇයි මෙහෙම ආවේ ?”
මම මඳ වේලාවකින් විමසුවෙමි. මහේල මා දෙස බලා යලි ඉවත බලාගෙන ආහාර ගත්තේය.
” ඇයි මෙච්චර කල් නෑවිත් හිටියේ ?”
ඊළඟට මම විමසුවෙමි. ඔහුට එයටද පිළිතුරු දෙන්නට උවමනාවක් තිබුණේ නැත.
” අක්කා එක්කද උදේ බැණ ගත්තේ ??”
මහේල ඉන් කෝප ගත් බව පෙනුන නමුදු මම ඒ වගක් නුදුටුවාක් මෙන් දිය බත් රස වින්දෙමි. ඔබ මහේල අරන්දර විසින් සකසන එක් අහරක හෝ රස විඳ නැති නිසා මේ අහර සතු දිව්‍යමය සුවපත්බව ගැන ඔබට කිසිවක් පවසා පලක් නැත. ඒ නිසාවෙන් හිතා මතාම මේ රස ගැන පැවසීම මඟ හරිනවා මිසෙක, මේ රස මට වෙනමම ලියා දැක්විය හැකි තරමේය.
රසට උයන්නට හැකි පිරිමියෙක් සරාගී ලෙසින් පෙනෙනවා යැයි කවුරුන්හෝ පවසා තියෙන මතකයක් ඇත. එයට ගැලපෙන රුවක් සෙවුවොත් දෙවතාවක් නොසිතාම මහේල අරන්දර ඒ වෙනුවෙන් යෝජනා කරමුයැයි මම ඔබට යෝජනා කරමි.
මහේල මා දෙස බලා සිටින ගිණි පිඹින දෑස් වලට පෙට්‍රල් අංශුමාත්රයක් වන සේ එක් කිරීමට මම තීරණය කලෙමි.
” අක්කා දන්නවාද මම මෙහෙ බව ? අක්කා කියන්නේ කසාද බැඳපු ගෑණියෙක් එක්ක එක ගෙදර ක ඉන්නෙපා කියලද ?”
මම ඍජුවම විමසුවෙමි. කෙතරම් පිළිස්සෙන කාරණා වුවද මේවා මඟ හැරිය යුතුතරමේ නොවේය.
මහේල අරන්දර පුටුව වේගයෙන් පසෙකට කරමින් නැගිට්ටේය.
” උඹ මගෙන් මැරුම් කනවා අසේකා..”
ඔහු මට නොපෙනෙන්නට ඇවිද ගියේය.
කුමක් සිදුවන්නට නියමිතව තිබුනත් මහේල ඒ සියල්ල පාලනය කරනු ඇතැයි මට සිතුණි. එ මහේලගේ තර්ජනාත්මක ස්වරයට පසුවය. එනිසා මම සැහැල්ලු විය යුතුය. වර්තමානය වටහා ගැනීමට උත්සාහ කල යුතුය.
” ලෑස්ති වෙන්න.. ප්‍රොජෙක්ට් එක ඩිස්කස් කරන්න ඕනි…”
මේ ගෙදර ම කොහේ හෝ සිටින අරන්දර පොඩි කොලුවාගෙන් මටඑහෙම කෙටි පණිවිඩයක් විත් තිබුණි.
මම ජංගම දුරකතනය පසෙකින් තැබුවෙමි. මහේලගේ අක්කා මට ඉතා ආදරයෙන් සැලකූ බව ඇත්තය. එහෙත් දැන් ඇයට එවැනි ආදරයක් මට පාන්නට සිතක් නැතිබව මට සිතේ. එය සාධාරණ ය.
අක්කාට ඇමතුමක් දී කලකට පෙර මා ගත් තීරණය ට ඇගේ ඇති බැඳියාව පවසන්නට මට සිතෙන්නේය. එවිට, ඇතැම්විට ඇය යලි මහේල සහ මගේ ජීවිත එක්ව යෑම වෙනුවෙන් ආශිර්වාද නඟනු ඇත.
එහෙත්, මා මේ පවසන සියලු දේ සත්‍ය ලෙසින් ඇය විශ්වාස කරාවියැයු යන්නට වන වගවීම කුමක් ද ?
කොටින්ම …, වසර හයකට පසු අයෙකුට එවැනි කතාවක් ගෙතීම අපහසු නැති බව ඔබට වුවද සිතෙනවා නොවේද ?
| අපේක්ෂා ගුණරත්න |