මා දකිද්දීම මහේල අඩි කිහිපයක් ඉදිරියට ආවේය. මම ගල් ගැසී නැවතී උන්නෙමි. එහෙත් මට මහේල අරන්දර කෙරෙන් දෑස් ගලවා ගන්නට නම් ඉඩක් ලැබුනේ නැත. අපිළිවෙලට වැටුණු හිසකේ , පොඩිවී ගිය කමිසය, ඉතා දැඩි වෙහෙසකින් පීඩිතව තිබූ දෑස් … මගේ ඇස් වල ඉතා තදව ඇලෙමින් තිබුණි.
” මිස් අසේකා පණ්ඩිතරත්න ද ?”
එක්වරම පොලිස් නිළධාරිනියක් විමසුවාය. මම මහේල දෙස බලාගෙනම හිස සැලුවෙමි. ඊළඟ මොහොතෙ මහේල කෙතරම් බිඳ වැටීමකට පත් වෙනවාදැයි දන්නේ මා පමණි. ප්‍රාණ සමව පෙම් කල ගැහැණියගේ ද්‍රෝහි කම දරාගන්නට ඒ විසල් හදවතට සිදුවන්නේය.
” මිස් මේ මහත්තයා ව දන්නවාද ?”
එම නිළධාරිනිය ඉන් පසුව විමසුවාය. මා මා ගැන දන්නවාටත් වැඩියෙන් මා ගැන දන්නා මිනිසා මම නොදන්නේ කෙලෙසද? මම හිස සැලුවෙමි. මහේල අරන්දර මා දන්නා වග ඇඟවූයෙමි.
” මේ මහත්තයා කම්ප්ලේන් එකක් දාලා තියෙනවා මිස්ගේ අම්මයි, අයියයි මිස්ව කිඩ් නැප් කරලා කියලා … ඒක එහෙම ද ?”
මගේ දෙතොළ් වියලී ගොස් තිබුණි. මා දිය යුතු පිළිතුර අයියා තීරණය කර අවසන් කෙරූ වග ඔබ දැන් දන්නේය. එහෙත් මහේල අරන්දර ඒ බවක් දැන උන්නේ නැත. ඔහුගේ විඩාබර දෑස් තුළ වූ බලාපොරොත්තුවට හේතුව ඒ නොදැනුවත්කම බව වැටහෙද්දී මගේ හදවත කඩා වැටුණේය
ඔහු බලා සිටින්නේ ඊළඟ නිමේශයේම මාද කැටුව නිවෙසට යන්නටය. උණුසුම් කෝපි කෝප්පයක් මා හා සමඟ බෙදාගෙන මගේ කලබල සන්සිඳුවන්නටය. එහෙත්, මගේ දෛවය අතිශය අකාරුණික ලෙසින් ඉරණම තීණ්දු කර ඇත.
මම මහේලගෙන් දෑස් ගලවා ගන්නට උත්සාහ කලෙමි. එහෙත් ඔහු එයට ඉඩක් දුන්නේ නැත.
නිළධාරිනිය යලි ප්‍රශ්න කලාය. බිය නොවන ලෙසත්, සැබෑවට සිදු වූ දේ පවසන ලෙසත් කීවාය. මහේල ද ඒ බව අඟවමින් මට ඉඟි කලේය. ඒ ඉඟි අස්සේ මම දෑස් ගලවා ගත්තෙමි
” නෑ.. “
මම කීවෙමි. මහේල දෙස නොබලා සිටින්නට පරෙස්සම් වූයෙමි.
” මොකක්ද මිස් නෑ..?”
“කවුරුවත් මාව කිඩ් නැප් කරලා නැහැ … මේ මගේ අම්මයි අයියයි … මං එයාලා එක්ක ඉන්නේ මගේ කැමැත්තෙන් …”
මහේල අරන්දර මොනවාදෝ පවසනු ඇසුණි. එහෙත් මට ඒ කිසිවක් ඇසුණේ නැත.
” එතකොට මේ මහත්තයා ..?”
” එයා මාව ෆලෝ කරනවා.. මට හරිම කරදරයක් …”
මහේලගේ හඩ නෑසී ගියේය. ඔහු ට කුමක් පැවසිය යුතුදැයි සිතාගන්නට නොහැකිව යන්නට ඇත.
ඉන් පසුව මහේලට කුමක් වූයේදැයු සොයා බලන්නට මට ඉඩක් නොලැබුණි. මම මාලිනීගෙන් ඒ ගැන විමසූ විට ඕ ඇණුම් ප්ප්ද කියා මඟෑරියාය. මහේල අරන්දර ගේ හදවත පැලී යන්නට ඇතිදැයි මට විටෙක සැක සිතුණි.
එදින සැලෝන ගමන පසුදිනට කල් දැමුණි. මාලිනි සහ ඇගේ පුත්‍රයා මගේ හැසිරීම ගැන යම් උද්දාමයක උන්හ. ඔවුහු මහේල ගේ හැසිරීම් ගැන කියවමින් සිනාසෙනු මට ඇසුණි.
ඒ වෙද්දී මා උන්නේ යහන මත සිහි විසඟව යමිනි.
මම මරණය තෝරාගත්තෙමි.
එහෙත්, මගේ දෛවය එතරම් ඉක්මන් හැර යෑමක් වෙනුවෙන් මට ඉඩ දෙන්නට සූදානම් වූයේ නැත. මම සිහි ලැබුවේ පෞද්ගලික රෝහල් කාමරයකය. මාලිනී මා අසලම මා දෙස බලා සිටිනු පෙනුණි.
” පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ උඹට….”
ඕ මට ගෙරෙව්වාය. මම ඔහේ බලා උන්නෙමි. පෞද්ගලික රෝහලක් වූ නිසා මගේ සිය දිවි නසා ගැනීමේ තැත පිහියකට කැපී තුවාල වීමක් ලෙසින් වෙනස්ව තිබුණි.
සතියක් මම රෝහල් ගතව උන්නෙමි. ඒ හැම දිනකම , හැම තත්පරක්ම මම මහේල අරන්දර නම් වූ ප්‍රේමණීයයා වෙනුවෙන් මඟ බලමින් උන්නෙමි.
මේ මොහොතේ ඔබට මා පෙනෙන්නේ ද්‍රෝහි වූ ස්ත්‍රියක ලෙසින් නොවේයැයි මට විශ්වාසයක් ඇත. කතාවේ මුල ඔබ මා ගැන සිතාවියැයි සිතූ ආකාරයට වඩා පුලුල්ව ඔබ මා ගැන සිතාවිය යන විශ්වාසය මට යම් හයියක් හදන්නේය.
හය වැනි දවසේ මගේ මනමාලයා මා දකින්නට ආවේය. වෙලා තිබු අත අතගා බැලුවෙය. මම ඔහු දෙස හෝ නොබලා උන්නෙමි.
” නංගී තවම මට ඔරවනවනේ බං …. තව සති කීයද වෙඩින් එකට ….”.
ඔහු අයියා ට පවසනු ඇසුණි.
“මෙයා කොහොමටත් ටිකක් මෝඩයි .. අර මහේල කියන හිඟන්නා ගැන කල්පනා කර කර ඉන්නේ ඒකයි ඔය…ඒ උනාට අයියා බය් වෙන්න එපා .. මෙයාදැන් අයියා ට පිටින් යන්නේ නෑ… අනෙක මේ ලැජ්ජාවට මූණ හැරෙව්වාට මෙයා අයියා ට පණ ඇරලා…”
මගේම අයියා මා විකුණන අයුරු අසා සිටින්නට තරම් අවාසනාවන්ත වීමි. මනමාලයා රෝහල් කාමර්‍යෙන් පිටව ගියේ ඊළඟ දිනයේ පැමිණෙන බව පවසමිනි.
” මෝඩ වෙන්න නම් හදන්නෙපා අසේකා… උඹ ආයේ මෝඩ වැඩක් කලොත් ජීවිත කීයක් ගිණි ගනීවි ද දන්නේ නැ… කස්සප ශාක්‍යසිංහ කියන්නෙ ඔච්චර ඉවසුම් තියෙන මිනිහෙක් නෙවෙයි …”
ඉතින්, ඉන් මට ඇති පලය කිමැක්දැයු මට අසන්නට උවමනා විය. එහෙත් මම ඔහේ බලා උන්නා පමණි. මා සතු සියලු ශක්ති නාල කපා දමාඇති වග පමණක් දැනුණි.
මා නිවසට කැටුව යන්නට කස්සපද අවේය. ඔහුගේ ජීප් රිය් මා මින්පෙර නොදුටු මොඩලයකය. මා ඉදිරි අසුනට නැග්ගවූයේ කස්සප විසින්මය. මම ඔහුට ඉඩ දී උන්නෙමි.
මාලිනී සහ ඇගේ වැඩිමල් පුතා පිටුපස අසුනේ විය.
” හොස්පිට්ල් එකේ ප්‍රශ්නෙන් නිදහස් උනාට කමක් නැ… අපි අසේකව සයිකැට්‍රික් කෙනෙක්ට පෙන්නමු.. මෙයා දැන් ශොක් වෙලානේ ඉන්නෙ …”
කස්සප අයියා දෙස ඉදිරියේ කණ්ණාඩියෙන් බලමින් කීවේය. අයියා එයට පැවසූයේ කුමක්දැයි මට ඇසුණේ නැත.
” මෙයාට තියෙන්නේ අන්ස්ටේබල් අවුල .. ඒක බෙහෙත් චුට්ටකින් හරියනවා…”
ඔහු වෛද්‍යවරයෙකු ලෙසින් පැහැදිලි කරනින් උන්නේය.
| අපේක්ෂා ගුණරත්න |