සෙනෙහස් අවාරේ 13

“අම්මේ මොනවද ගෙනාවෙ?” කියා දෙව්මිත් චනුකත් සිසිමාධවී වෙත දුව ආවේ ඇය පාරෙන් හැරී ගෙදර මිදුලට අඩිය තැබූ මොහොතේමය. එහෙත් ගෙනා දෙයක් සිසිමාධවී අත තිබුනේ නැත. දැන් අතේ තියෙන්නෙ කෝසල විසින් දුක් මුදලෙන් විටින් විට ඉතිරිකරගත් කීයක් හෝ පමණකි. එයද මේ මොහොතේ තේරුමක් නැති දේකට වියදම් කරන්න නුපුලුවන. ආයෙ සල්ලියක් අතට ලැබෙන්නේ මාසයක් ගෙවුන තැන පඩිය ලැබෙද්දී නිසා සිසිමාධවී අතේ තියන මුදල පරිස්සම් කරගන්න හැකි පමන වෙර දැරුවාය.

උදේ සිට ගෙවල් අස්පස් කර, උයා පිහා, අයිරාංගනී මහත්මියව නහවා එද්දී අත් ද කකුල්ද රිදෙන බව දැන උන්නද බස් එකෙන් බැස්ස තැන සිට ගෙදරට එන්නට ඇති පැය බාගයක පමණ දුර සිසිමාධවී පයින්ම ආවේ ඒ සල්ලි ඉතිරි කරගන්න සිතාගෙනය. දෙපාත් අතුත් යකඩවලට අහු වුනාක් මෙන් රිදුනද සිසිමාධවී ඒ සියල්ල මවකගේ ආදරයෙන් වසාගෙන දෙව්මිව වඩා ගෙන හිස සිම්බාය. අනතුරුව චනුකව ඇඟට තුරුලු කරගෙන නිවස වෙතට පය තැබුවාය.

කෝසල උන්නේ මද සිනාවක් දෙතොල මත අන්දාගෙන වුව ඒ සිනාව පිටුපස “ඔයා මහන්සි වෙනව මධූ. මට දරාගන්න අමාරු ඒක” යන කතාව හැඟී තිබෙන බව සිසිමාධවී නොදැන උන්නා නොවේ. සියලු ශාරීරික වේදනා අමතක කර සිසිමාධවී සිනාවක් තිළින කලේ ඒ හන්දාය.

“අද මුකුත් ගෙනාවෙ  නෑ පැටියො. අම්මට අද ටිකක් මහන්සි. මම රෑට සස.. බත් එකක් හදල දෙන්නම්කො හොඳේ”  කියමින් සිසිමාධවී ගෙතුලට පිවිසුණාය.

දරුව දෙදෙනා එහෙට මෙහෙට වන තුරු හිඳ කෝසල හෙමින් සැරේ සිසිමාධවී වෙත ලං වුනේ තොරතුරු අසාගනු පිණිසය.ඇය විසින් මේ කරන්නේ මේ මොහොතේ කල යුතුම වූ කැපවීමක්, වගකීමක් බව හොඳින්ම දන්නවා වුවත් උදේ ඇය නිවසින් පිටව ගිය මොහොතේ සිට ආපසු එන මොහොත දක්වා තමා උන්නේ කොපමණ ගින්දරකින්ද කියා කෝසල නැවත සිතුවේය.නොදන්න තැනක නොදන්නා මිනිසුන් අතරේ වෙන්නට හැකි කරදර අපමණ ප්‍රමාණයක් උදේ හිඳ හවස් වනතුරු කෝසලව ඇතුළාන්තයෙන් පුච්චන්නට වී තිබිණි.

සිසිමාධවී සියලු අමාරුකම් පසෙකලා මුහුණේ සිනාවක් රඳවාගෙන උන්නේ ඒ සියල්ල කෝසල මුවින් නොකීවාට ඔහුගේ දෙනෙත් අස්සට එබී බලා හොඳින් අඳුනගෙන් උන් නිසාවෙනි.

“ඔයා එද්දි මහන්සි පිට එයි කියල හිතල මම තිබිච්ච එලවලු ටිකක් කපල කරල, පරිප්පු ටිකක් වතුරෙ දාලා තිබුනා. ලේසිනෙ ඔයාට”  කෝසල කිව්වේ කතාවට පිවිසෙන්න පාරක් සොයාගන්නා විදියක් ගැන සිතමිනි.

“කරදර වුනේ ඇයි ඒයි, මේ ඇවිල්ල උයන එක මහ දෙයක්ද මට”කියා හනික ඇඳුම මාරු කරගෙන ගෙදරය හඳින් ඇඳුම ගත ලා ගෙනය. මෙතෙක් වෙලා ගොතා පිට මැදට හලා ගෙන උන් කෙස් කළඹ උඩට කර ගැට ගසා ගෙන සිසිමාධවී කුස්සිය දෙසට යද්දී කෝසලත් හෙමින්සැරේ ඒ පස්සේ ඇදුණේය.

“එතන කොහොමද මධූ? වැඩ මොනවද කරන්න තියෙන්නෙ?”

“මාර ලස්සන ගෙයක් කෝසල. ඔයා කියන්නෙ මට හිතාගන්න බැරිවුනා මේ කොළඹ එච්චර ලස්සන ගෙයක් තියෙන්න පුලුවන්ද කියල? ඔයා කියන්නෙ අර මාරම ලස්සනට හිතල, ගස් කොලං වලට එහෙම ලංවෙන්න හදපු පුදුම ලස්සන ගෙයක්. මට මාර ආස හිතුන අනේ දැක්කම. මහ ලොකු ඉඩමක් නෑ. ඒ උනාට ඒ තියෙන ඉඩේ පුදුම ලස්සනට හදල. ඇසල ගස් එහෙමත් වවල. ගේට්ටු දෙකක් තියෙනව. එකක් ඔය වාහන වලට එහෙම එන්න ලොකු ගේට්ටුව අනික අපිට ඔය යන්න එන්න පොඩි ගේට්ටුවක්. ඒ පොඩි ගේට්ටුවෙන් ගියාම මාර විසාල රෝස පාට බෝගන්විලා පැලයක් හිටවල තියෙනව. එක පැලයක්ද කීපයක්ද මන්ද මං දකල නෑ එච්චර ලොකු එච්චර ලස්සන බෝගන්විලා ගහක් මීට කලින්.

බිමට කට් සිමෙන්ති දාලා තියෙන්නෙ. කුස්සිය එහෙම මාරම ලස්සනයි අනේ. ඔයා කියන්නෙ පුදුම නිස්කලංක ගෙයක්. භාවනා අසපුවක් වගේ. කොයි පැත්තෙන් බැලුවත් ගස්වල කොලපාට තමා පේන්නෙ”

ගෙදර ලස්සන ගැන සිසිමාධවී කියාගෙන කියාගෙන ගියේ ඉවසිල්ලක් නැතුවාක් මෙනි.කෝසලට දැනගන්නට වඩාත්ම හොඳින් උවමනාව තිබුනේ ඒ නිවසේදී සිසිමාධවීට කරන්නට තිබූ වැඩ රාජකරි ගැන සහ ගෙදර මිනිසුන් ගැන වුවත් කෝසල නිහඬවම සිසිමාධවී කතා කරන අයුරු අසා ගෙන උන්නාය. ඇය මෙලෙසින්ම මෙතරම් සැහැල්ලුවකින් අතීතයේ පෙම්වතුන් වී හිඳි යුගයක කතා කල ආකාරය කෝසලට අද මෙන් මතකය. ඒ වචන, ඒ උද්‍යෝගය පිටුපස්සේ සැඟවී ඇත්තේ සතුටක් නිසාවෙන්ම මේ නිවසේ මිනිසුන් යහපත් අය විය හැකි යැයි අනුමානයකට කෝසල ආවේය.

“ගෙදර ගැන කිව්වනෙ, ගෙදර මිනිස්සු ගැනත් කියන්නකො, අර ඔයා එදා කිව්ව නෝන එහෙ ඉන්නවද ඔයා වැඩ ඉවර කරල එනකම්?”

“නෑ නෑ ඒ කල්පනා නෝනනෙ. ඒ නෝනගෙ අම්මව බලාගන්නනෙ යන්නෙ. ඒ මනුස්සය න අනේ ඔයා දන්නෙ නෑනෙ අපෙ නෑ කෙනෙක් හිටිය මාතර සුදු ආච්චි කියල. ඒ වගේ පුදුම කරුණාවන්තකමකින් කතාකරේ මට. දවල් වරුවෙ ඒ ගෙදර ඉන්නෙ ඒ නෝනයි මුර මනුස්සයයි විතරයි. කල්පන නෝන හවස් වරුවෙ තමා එන්නෙ. එයාගෙ සැලොන් එකක් තියෙනවලුනෙ බොරැල්ල පැත්තෙ.ඒකට ගිහින් හවස ගෙදර ඇවිත් යනවා. මම ඒ බලාගන්න නෝනට පුතෙක් ඉන්නව. ඒ මහත්තයත් හැබැයි හවසට තමා එන්නෙ. 

ඒ ලොකු නෝනනම් ඔයාට කියන්න කෝසල අනේ හරිම හොඳයි. ඇත්තටම එච්චර හොඳ මනුස්සයෙක්ට එහෙම දෙයක් උනේ ඇයි කියලත් මට හිතාගන්න බෑ. ඒ මනුස්සයට ලෙඩේ අමාරුවටවඩා තියෙන්නෙ හිතේ අමාරුව”

“ඇයි?”

කෝසල අසමින්ම සිසිමාධවී කිරිත් කහත් ලූණු, කරපිංචා ආදිය එක්කහු කල පරිප්පු බඳුනේ දාරයේ ඇලවී තිබුණ පරිප්පු ඇටයක් බඳුන ඇතුලට දැමුවාය. සිසිමාධවී හිතුවේ රෑට පරිප්පුත්, පොල්සම්බල් සහ කරවල බැදුමක් හදන්නටය. උණුවෙන් සැකසු විට ගෙදර තුන් දෙනාම වැඩිපුර බත් කටක් හෝ කන බව පුරුද්දෙන් ඈ දනී.

“නෑ ඉතින් ළමයි දෙන්නෙක් හදල දැන් තමන්ට ඇවිදින්න ක‍රන්න බැරුව ඉද්දි තනිවෙන්න උනාම කොච්චර හිතට පාලුද කියල තමා ඒ මනුස්සය කිව්වෙ. ඇවිදින්න පුලුවන් කලෙ හවසට පන්සලකට හරි කාගෙහරි හිතවත් කෙනෙක්ගෙ ගෙදරක හරි යන්න පුලුවන් කම තියෙනවනෙ. දැන් ඉතින් මේ විසාල ගෙදරක තමන් තනිවෙලා කියල ඒ මනුස්සය දුකෙන් කිව්වෙ.පාලු ඇතිනෙ කෝසල

ඔයාම හිතන්නකො ගෙදර වැඩ දාහක් තිබ්බත් ඔයා වැඩට ගියාමයි, දරුවො දෙන්න ඉස්කෝලෙ ගියාමයි ඉස්සර මට කොච්චර පාලුද කියල? එහෙම එකේ සැහෙන කාලයක් රෝද පුටුවකට වෙලා ඉන්න වෙච්ච මනුස්සයෙක්ට, ගෙදර කතාකරන්නවත් කෙනෙක් නැති උනාම කොච්චර පාලුවක් දැනෙනව ඇද්ද?”

සිසිමාධවී පොල්සම්බෝලයට දෙහි ටික මිරිකන අතරවාරයේ එසේ කිව්වේ අයිරාංගනී තිලකරත්නගේ සෞම්‍ය පෙනුමැති මුහුණ මවාගනිමිනි. 

“ඒ නෝනගෙ මහත්තය නැද්ද?” කෝසල අසන්නෙ කල්පනාවෙන් බරවෙලාය. තනිකම, තනිවෙන්නට වීම වනාහී දැන් තමන්ගේ කල්පන ලෝකයේ වඩාත් සුලබම කල්පනාවන්ගෙන් එකක් බව කෝසල ඒ අතරේම සිතුවේය. 

“ඒ නෝනගෙ මහත්තය මම හිතන්නෙ ආකිටෙක් කෙනෙක්. ඒ මහත්තයලු ගෙදර එහෙමත් හැදෙව්වෙ ඔය විදියට. හරි ආදරෙන් ඉඳපු ජෝඩුවක් මං හිතන්නෙ. අවුරුදු කීපෙකට කලින් මහත්තය නැතිවෙලා. ඉන්පස්සෙ තම නෝනත් ලෙඩ වෙලා තියෙන්නෙ”

“ළමයි බලන්නෙ නැද්ද?”

“බලන්නෙ නැත්තෙ නෙවෙයි, බලනව. මට සල්ලි දෙන්නෙත් ඒ ළමයි තමා.බලන හන්දනෙ ඉතින් ගෙදරට කාවහරි ගෙන්නගෙන බලන කරන වැඩ ටික එහෙම කරන්නෙ. ඒ උනාට ඉතින් ඔහොම එක තැනකට වෙන්න උනාම ඕනම කෙනෙක්ට තනියක් දැනෙනවනෙ කෝසල. ඒ නෝනට වෙලා තියෙන්නෙත් ඒකෙ. කවුරු ලඟ හිටියත් තමන්ට තමන් වාරු නැති උනාම කොච්චර හිතට අමාරු ඇද්ද? අනික ඉතින් ළමයි හිටිය කියලත් මොකෝ ඔක්කොම වැඩ පැත්තක තියල ළඟට වෙලා ඉන්න පුලුවන්ද කියන්නකො? එහෙම තමා නේද ඉතින් වයසට යද්දි කොච්චර දරුවො හැදුවත් අන්තිමේ තනිවෙනවනෙ. 

ඒ නෝනත් ඔය විත්ති මා එක්කල කතා කරන ගමන්කිව්වෙ කසාද බැඳපු ජෝඩුවකට දරුවො කොච්චර උන්නත්, ඒ දෙන්න කොච්චර රණ්ඩු සරුවල් උනත් දෙන්නට දෙන්නගෙ අගේ තේරෙන්නෙ එක්කෙනෙක් නැති කාලෙක තමයි කියල. මොන තරම් දරුවො උන්නත් දරුවන්ට ඉතින් ලඟට වෙලා ඉන්න පුලුවන්කමක් නෑනෙ කියල”

සිසිමාධවී එසේ කියා කරවල කෑලි ටික බැදෙන්නට චාස් ගා තාච්චියට දැමුවාය. කරවල සුවඳ හෙමි හෙමින් කුස්සියේ සිටගේ පුරා විහිදෙද්දී කෝසල කුස්සියේ සිට මිදුලට බහින්නට තිබෙන පඩිය උඩ වාඩි වී ගෙන හෙමින් සැරේ අන්දකාරය වසාගන්නා ආකාසය දෙස බලාගෙන කල්පනා කරේය.

ඒ කල්පනාව යොමු වී තිබුනේ එකම එක සිතුවිල්ලක්, එකම එක ප්‍රස්නයක් වෙතය.

“මං නැති දවසක ඔයා තනිවෙනවා නේද මධූ”

ඇයගෙන් අසන්නට නොහැකි වූද, පිළිතුර මෙය යැයි හොඳින්ම දන්නා වූද ප්‍රශ්නය වෙතය.




අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles