“මම අම්මට කෑම බෙදාගෙන ආවා” කියමින් සුමධුර තිලකරත්න කාමරයට එබෙද්දීත් අයිරාංගනී උන්නේ සඳලුතලයට වී අන්දකාරය දෙස බලාගෙනය. සඳත් තරුත් අහසට හෙමින් වඩින යුරු බලාඋන් අතීත මතක අයිරාංගනී තනිකමේ ගැලී අන්දකාරය දෙස බලාගෙන කල්පනා කලාය. මේ මොහොතේත් ලලිත්ට තමා ලඟ ඉන්නට තිබුණානම් මොනතරම් අපූරුදැයි හිතමින් සුසුමක් හෙලුවාය. ලලිත් කොහෙ හෝ හිඳ තමන් දෙසම බලා ඉන්නව ඇතැයි හිතමින් තනියෙන් ඔහු ඇමතුවාය.
කෙනෙකු වයසට යනවා යනු ආපසුවරක් කුඩා ළමයෙකු වීමය බව කොහේ හෝ කියවා තිබුනා අයිරාංගනීට මතකය.ඒ කොහේදී කවදාක කියවූ දෙයක්ද කියා මතක නැති වුවද ඒ කතාව ඇත්තක් බව අයිරාංගනීට හිතුනේ ලලිත් මිය ගිය පසුවය. කෙනෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය තමා සොයා ඇවිත් කතා කරනු ඇතැයිද, ඔහු කොහේ හෝ හිඳ තමා දෙස බලමින් තමාව අනතුරු වලින් පරිස්සම් කරනු ඇතැයිද යන සිතුවිලි වඩා ගැලපෙන්නේ ලමා කාලයකටය. තමා දැන් ඉන්නේද එවන් සිතුවිලිවලින් හිත තවාගනිමිනි. ඉතින් මේ ගෙවෙන්නේ ජීවිතයේ දෙවන ළමා කාලය නොවේද?
තමා කියූ දෙය අම්මාට නොඇසුණ වග සහතිකකරගත් සුමධුර කාමරයේ විදුලි පහන දල්වා තමා ආ වග අම්මාට කිව්වේය. අයිරාංගනී හැරී බැලුවේ මෙතෙක් වේලා කාමරය පුරවාගෙන උන් අන්ධකාරය මකා දමා වැටුණ එලිය නිසාවෙනි.
“කලුවරේ ඉන්නෙ ඇයි අම්මා?” සුමධුර ඇහුවේ කෑම පිඟාන මේසය මත තබා රෝද පුටුව පසුපසට තල්ලු කරගෙන විත් මේසය අසලින් නවත්වාලමිනි. අයිරාංගනී ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට පෙර සුසුමක් හෙලුවාය.
“දැන් ඉතින් මගෙ ජීවිතේම කලුවර වෙලා තමයි පුතා” කියා අම්මා නැගූ සිනාව වඩා බර සතුටට වඩා අසරණකමට, අනුකම්පාවට වග සුමධුර සිතුවේය.
“අම්මා හිතෙන් ලෙඩ වෙන්න එපා, ඒක තමයි ඔක්කොටම වඩා නරක. අම්මා කල්පනා කරනව වැඩියි”
“වෙන මොනවද පුතා ඉතින් මට කරන්න කියන්නෙ? මට කතාකරන්න කෙනෙක් ඉන්නවද? මේ ගෙදර උඩ තට්ටුවෙ හිරවෙලා ඉන්නව වගේ කියල තමයි මට හිතෙන්නෙ. කාමරේ බැල්කනි එකෙන් එලියෙ පේන දෙයක් මිසක වෙන කිසිම දෙයක් මට පේනවද කියල කියන්නකො? කතාකරන්න කෙනෙක් ඉන්නවද කියල කියන්නකො. ඔයයි කල්පනයි දෙන්නම බැලුවොත් ඇත්තම ගමනේ. මෙහෙමවත් ඔයා මාත් එක්ක කතාකරන්නෙ මට කෑම අරගෙන එන වෙලාවක විතරනෙ. අද අර ගර්ල් ආවයින් මට ටිකක් හරි වෙනසක් දැනුනා”
ඒ තද කළු ගන ඇහිබැමක් යට සිනාවෙමින් උන් දිගු දෙනයන සුමධුරට මතක් වුණේය. ඒ අකුනක් වැදුනාක් බඳු හැඟීමකි. මෙයැයි කියා විස්තර කරන්නට නොහැකි බැඳීමකි. ඇයව දුටුවේ ජීවිතයේ මුල් වතාවට වුවත් අනන්ත අප්‍රමාණ ආත්ම ගාණක් පුරාවට තමා ඇයව හඳුනන බවක් සුමධුරට හිතුණේය. එහෙත් ඒ සිතුවිලි පවා අකැප නොවන්නේද? ඇය තමන්ගේ මව බලාගන්නට ආ තමන්ගේ සේවිකාවකි. ඇය ගැන තම වහල යටදී පවා එසේ සිතීම ඇගේ නිදහස හා විශ්වාසය බිඳ වැට්ටවීමක් නොවේද?
සුමධුර හිටියේ තම සුපුරුදු ලීලාවටත් වඩා නිහඬ වීය. කල්පනාවක ගැලීය. අයිරාංගනී ඔහු ඇමතුවේ ඒ කල්පනා ලෝකයට තම සාන්ත හඬින් තට්ටු කරමිනි.
“පුතාට යද්දි ඒ ළමයව හම්බුනේ නැද්ද?”
“නෑ අම්මා, මම එද්දි කවුරුවත් හිටියෙ නෑ”
එවන් මුසාවක් කියවුණේ ඇයිද කියාවත් සුමධුර දැන උන්නේ නැත. එහෙත් ඒ මුසාව මෙතෙක් කලක් නොවිඳි යම් කිසි අපූරුව රසයක් හිත ගල්වන බවක් දැනෙද්දි සුමධුර තමන්ගේ පිඟානේ වූ චිකන් ස්ටුවෙන් බිඳක් කරකල පාන් කැබැල්ලක ගා රස වින්දේය. ඒ මධුර රහකි. මීට වසර ගණනාවකට පෙර ඉස්කෝලෙ යන කොලු ගැටයෙකු වී ඉඳ්දී හවස ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වී ගෙදර දුව එද්දී ගේට්ටුව හරියේදීම නැහැ පුඩු හරහා ගලා ගිය චිකන් ස්ටුවක සුවඳත් ඒ පුරුදු රසයත් අලුත් වී දිවඟට දැනෙන බව සුමධුර හිතුවේය.
“දුප්පත් වුණත් වැදගත් තැනක ගෑණු ළමයෙක්. හරි ඩීසන්ට්. ඒ වගේම නීට්. නංගි එක්ක හැබැයි ඒ ළමයට ඔලුව උස්සගෙන ඉන්න පුලුවන් උනොත් හොඳයි.”
“නංගි ඉතින් නිතරම ඉන්නෙ නෑනෙ” කියා සුමධුර කිව්වේ ඇල්මැරුණ හඬකිනි. එහෙත් හිත තිබුණේ වඩා දොඩමලුවය.
සිසිමාධවී බත් බෙදා දරුවන් දෙදෙනාට කවා පාසල් යන්නට සූදානම් කෙරෙව්වාය..කෝසල උන්නේ නින්දේය. එය සුව නින්දක් යයි කියන්නට ඇත්තටම නොහැක. රෑ තිස්සේ නැගිටිමින් කහිමින් ගෙවන් ජීවිතයක නින්ද සුවදායී දැයි කියන්න සිසිමාධවීට නොතේරේ. කෝසල ඉන්නේ හිටියායින් බාගයකටත් වඩා අඩුවෙනි. හරියට කෑමක් බීමක් ගන්නටවත් අපහසුය. ඔක්කොටම වඩා අමාරු හුස්ම ගන්න එක බව කෝසලම කීප සැරයල් කියා ඇත. මොන දේ උනත් හිත සැනසිල්ලකට තිබෙන්නේ මෙතෙක් දවසක් නෝක්කාඩු කතා කී අම්මා කෝසල පැත්ත වැටුණ වෙලේ අහක නොබැලූ එකය.
“වැඩ කරන තැන හොඳ ද ළමයො?” කියාගෙන ඇය ඊයේත් ආවේ ගෙදර හැදූ කොස් මැල්ලුමකින් ටිකක්ද උස්සගෙනය.
“තැන කියන්නෙ ඉතින් ගෙදරක්නෙ අම්මෙ, වරදක් නෑ”
“කවුද ඉන්නේ ඒ ගෙවල්වල?”
“ඒ මම බලාගන්න යන ගෙදර නෝනයි, එයාගෙ දුවයි අම්මෙ”
“ඒක මිසක් හරි පරිස්සං වෙන්නෝන ඔහොම පෙනුම තියෙන ගෑණියෙක් එහෙම වැඩකට යද්දි. මිනිස්සු ඉතින් අපි හිතන ජාතියෙ නෙවෙයිනෙ. සල්ලි තියන තැන්වල තමා ඔක්කොටම වඩා නරක ජාති වෙන්නෙ. මං මේ නිකමට කීවේ” කියා පුශ්පලතා හීන් හිනාවක් සිසිමාධවීට පෙන්නුවාය.
“කෝසල නිදිද?”
“ඔව්”
“මං මෙහෙම ඇහැව්වට මුකුත් හිතන්න එපා, දොස්තරල මොකද කියන්නෙ කෝසලගෙ ලෙඩේ ගැන? සනීප කරන්න පුලුවන් වෙයි කියල කියනවද?” පුශ්පලතා එසේ ඇසුවද සිසිමාධවී උන්නේ කිවයුත්තේ කුමක්ද කියා හිතාගන්නට බැරුවය.
කෝසලගේ තත්ත්වය එතරම් හොඳ නොවන බව සිසිමාධවී දනී. දොස්තර නෝනා කිව්වේද කෝසලගේ තත්ත්වය ගැන බලාපොරොත්තු තබන්නට හැක්කේ සීමිත කාලයකට පමණකි. එහෙත් ඒ බව කටක් ඇර කිසිවෙකුට කියන්නට නොහැකි හන්දාම සිසිමාධවී උන්නේ ඒ සියලුම දේ හිත අස්සේ හංගාගෙනය. සතුටක්, බලාපොරොත්තුවක් පෙන්වන අන්දමේ වෙස් මුහුණක් ද සිනවක්ද මුව පැළඳගෙනය.
“දොස්තරල එහෙම මුකුත් කිව්වේ නෑ අම්මේ. බලාපොරොත්තු තියාගන්න කියල තමයි කියන්නෙ ඒ මිනිස්සුත්”
“අර අක්කා බඳින්න ඉන්න ළමයා එක්කලත් අක්කා කෝසල ගැන කියල තිබ්බා. ඒ ළමයත් කියල තිබ්බෙ පෙණහැල්ලෙ කොටසක් තිබ්බත් ඇතිලු ජීවත්වෙන්න කියල. ඒ හොරණ පැත්තෙ නම් ඉන්නවලු වෙද මහත්තයෙක් ඔය වගේ ලෙඩවලට එහෙම හොඳ. එක්කරගෙන ගිහින් බලමුද?”
සිසිමාධවී නිහඬවම හිස වැනුවේ කියන්න දෙයක් නැති හන්දා නොවේ. දෙයක් කිව්වත් නොකිව්වත් එහි වැරැද්දක් තිබෙන්නට පුලුවන් ය යන බිය නිසාය.
පසුදිනට එලිවෙනතුරු සුමධුර උන්නේ බලාගෙනය. අම්මා බලාගන්නා ඒ තරුණිය, නම නොදන්නා ඒ තරුණිය හෙටත් උදෑසන අට අටහමාර වෙද්දී ගෙදරට එන බව සුමධුර දැනගත්තේ අම්මා නංගී කල්පනා සමග කල කතාබහක් ඇසුණ නිසාවෙනි.
එදා රාත්‍රිය වෙනදාට වඩා දිගු බවක් සුමධුරට හිතුණි. ඒ දීර්ඝ රාත්‍රිය අවසානයේ සුමධුර උන්නේ ඉරක් මෙන් දිප්තිමත් සිතුවිලි එක් රැස් කරගෙනය. වෙනදාටත් කලින් ඇඳෙන් නැගිට්ට සුමධුර නාන කාමරයට වැදී අපිලිවෙලට වැවී තිබුණ රැවුල් කොට පිලිවෙලකට කපා දැම්මේය. රැවුලත් කොණ්ඩයත් තිබෙන්නේ අවුරුදු හතලිස් ගණන්වලට ආවේණික සෝල්ට් ඇන්ඩ් පෙපර් ලුක් එකක් වැළඳගෙනය. මෙතෙක් කාලයක් පුරාවට ඒ කලු කෙස් ගස් තැනින් තැන රැඳුණ සුදු කෙහෙ ද රැවුල් කොටද හිතටබරක් නොවුණද ජීවිතයෙ පලමු වතාවට සුමධුර තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය ඇසුවේය.
“මං නාකි පාට ද?”