මාත් එක හොරෙක්…

“හොරෙක් උනාට අපි ලඟත් මනුස්සකම් තියනවා මහත්තයා”

ඒ උත්තරේ මාව ඇත්තටම නිරුත්තර කලා.මගේ රාජකාරි ජීවිතේ ඇතුලෙ අපි හොරු වංචාකාරයො කියන මිනිස් කොට්ටාසෙ එක්ක හරි හරියට වැඩ කරනවා.අපි නරකයි කියල හංවඩු ගහන මිනිස්සු ලඟා අපි හීනෙන්වත් නොහිතන විදියෙ මනුස්සකම් තියනවා.මේකත් එහෙම වෙච්ච තැනක්.

මන් කමල් ජාලිය මොහොට්ටිගේ.ගොඩක් තරුණ කාලෙදි තමයි මන් පොලීසියට බැඳුනෙ. එදා ඉඳල අද වෙනකම් පොලීසිය ඇතුලෙ මගේ අතින් දහස් ගාණක් පැමිනිලි ලියවිලා ඇති. ඒත් මේ වගේ සිද්දියක් කවමදාවත් මගේ රාජකාරි ඉතිහාසය තුල මම අහලා තිවුනේ නෑ.

“තමුසෙගෙ නම මොකද්ද ?”

“සුගත්”

“සම්පූර්ණ නම කියපන් මිනිහෝ.”

“සුගත් රත්නපාල”

මන් ඉස්සරහා  ඉඳියෙ පාමංකඩ පාර පැත්තෙ වෙච්ච මිනීමැරුමකට විත්තිකාරයෙක් විදියට අල්ලන් ආපු මිනිහෙක්. අල්ලන් ආවා කියන වචනෙ ඇත්තටම එතනට ගැළපෙන්නෙ නෑ. මොකද මිනිමැරුම කරාට පස්සෙ මූ දුවන්න තියා හැංගෙන්නවත් උත්සාහ කරලා නෑ.අපේ කට්ටිය ගිහින් බලද්දිත් තමන් එක්ක එකට හොරකමේ ආපු මිනිහව මරලා, ලේ ගෑවිච්ච පිහිය අතේ තියාගෙන මිනිහා එකම විදියට මිනිය දිහා බලාගෙන ඉදපු එක කරලා තියෙන්නෙ.මට ඕන උනේ ඒ හේතුව දැනගන්න.

“තමුසෙගෙ ගෙවල් කොහේද?”

මෙහෙම මිනිහෙක්ව මුණ ගැහිලාම නැතිනිසා මට ඕන උනා මිනිහා ගැන තව ගැඹුරට හාරවුස්සන්න.

“කළුතර සර්”

“කොළඹ මොනවද කරන්නෙ?”

“පිටකොටුව මාර්කට් එකේ වැඩට ආවෙ සර්”

“වයස කීයද ?”

“තිස් දෙකයි”

“දැන් කොහෙද වැඩ කරන්නෙ”

“එක තැනක් නෑ සර් . මුට්ට කරගහලා කොන්ද අමාරු වෙච්ච නිසා දැන් කුලී වැඩ තමයි කරන්නෙ.”

වයස තිස් දෙකක් උනාට මිනිහට තිවුනේ අරක්කු සිගරට් බීලා, කුඩුගහලා වැහැරිච්ච, තව කෙනෙක්ට එකපාරක්වත් ප්‍රියතාවයකින් බලන්න නොහිතෙන විදියෙ පෙනුමක්. බුලත් කාලද මන්දා කහ පාට වෙච්ච දත් විලිස්සනවා වගේ හිනාවක් දාල මන් දිහා බලද්දි තමා මන් දැක්කෙ මිනිහගෙ දකුණු කම්මුලේ කන පැත්තට වෙන්න පැසවපු තුවාලෙකුත් තියනවා.

“ඔය තුවාලෙ උනේ කොහොමද?”

“මාර්කට් එකේ වලියකදි පිහි පාරකට කැපුනා සර්”

ලාවට වගේ කොණක මතුවෙච්ච තුවාල කබොල්ල කඩන්න හදන ගමන් මිනිහා උත්තර දුන්නා.හිටගෙන ඉන්නවත් පණ නෑ වගේ ඉන්න මේ මිනිහා හැබෑවටම මිනියක් මැරුවෙ කොහොමද මන්දා?

“මොකද්ද එදා ඇත්තටම වුනේ? තමුසෙ ඇයි තමුසෙ එක්කම හොරකමේ ගියපු මිනිහාව මැරුවෙ?”

මන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මිනිහා ගැඹුරු හුස්මක් ගත්තා.හරියට මන් මිනිහගෙන් ඇහුවෙ මිනිහට කවදාවත්ම උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් වගේ.

————————————————————————-

” ඔව් ඔව් ඊයේ ඔක්කොම ජුවලරි ගත්තා අනේ.

නෑ… බෑන්ක් එකේ දැම්මෙ නෑ මෙයා.කවුරුවත් දන්නෙ නෑනෙ.අනික කොහොමත් දැන් අනිද්දනෙ වෙඩින් එක.ඒනිසා මේ දවස් දෙකට ඕක බෑන්ක් එකේ දාන එක අපරාදෙනෙ.දුවගෙ අල්මාරියේ සීක්‍රට් ලොකර් එකේ දාලා තිවුනා.”

“රත්නපාල ඔය පැත්තෙ තණකොල කපලා ඉවරනම් ඊලඟට පොන්ඩ් එක සුද්ද කරපන්. මතක ඇතුව ඉස්සෙල්ලා වතුර එන බටේ ගලවපන්.”

පාමංකඩ පාරෙ ගෙදරක වත්ත සුද්ද කරන්න එන්න කියල දැක්ක දැන්වීමකට තමයි මන් එහේ වැඩට ගියේ. ඒ ගෙදර ඉඳියෙ නෝනයි, මහත්තයයි, දුවයි පුතයි විතරයි.පුතා රට ඉඳලා එහේ පොඩි නෝනගෙ මංගල්ලෙට තමයි ලංකාවට ඇවිත් තිවුනේ.

ලොකු නෝනා කාත් එක්කදෝ ෆෝන් එක කියවපු රත්තරන් බඩු වගයක් ගැන අහන් ඉඳපු මගේ කල්පනාව බිඳුනෙ පොකුණ සුද්ද කරන්න කියලා මහත්තයා කෑගැහුවාම.

මහත්තයගෙ අඬ ගැහිල්ලට මම  ඒ පැත්තට ඇදුනට මගේ හිත නතරවෙලා තිබුනේ ලොකු නෝනා කාත් එක්කදෝ මන්දා දොඩවපු කෝල් එක ගැන.

දවල්ට කුලී වැඩ කරන රත්නපාල ගැන හැමෝම දැනගෙන ඉඳියට, රෑට හොරකමේ යන රත්නෙව කවුරුවත් දැනගෙන ඉඳියෙ නෑ.

හොරකම් කියන්නෙ ඕන දෙයක්.පොල්, යකඩ බඩු, මේස පුටු, පික් පොකට් තමා අපි මෙච්චර කල් කලේ.ඒත් රත්තරන් බඩු කියන්නෙ කාලයක් යනකම් වටින දෙයක්.මට එවෙලෙ හිතුනෙ එහෙම.රකින්න පවුලක් දරු මල්ලො ඉඳපු නැති හින්දා ලැබෙන හැම සතයක්ම වගේ වියදම් කලේ කුඩු අරක්කු වලට තමයි.

“පාමංකඩ පාරෙ මන් අද වැඩකරපු පොට් එකේ අනිද්දා කසාදයක් තියනවා.එහේ රත්තරන් බඩු තියනවා.තියෙන තැනත් මන් දන්නවා.”

“කවුද එහේ ඉන්නෙ තව “

“මහ මිනිහයි, ඒ ගෑණියි, බඳින්න ඉන්න කෙල්ලයි, පුතයි.පුතා අද ගාල්ලෙ ගිහින් හෙට එන්නෙ කියලා මට ඇහුනා කියනව.යනවනම් අද යන්න ඕන”

“රෑ වෙලා යන්න වෙයි.කසාදෙ වැඩ නිසා ගෙදර උන් නැගිටලා ඉඳී රෑ වෙනකම්.උඹ ඇලර්ට් එකේ ඉඳලා කෝල් එකක් දාපන්.මන් එන්නම්”

හවස කුඩු පොට් එකේදි සෙට් වෙච්ච මාත් එක්ක එකට හොරකමේ යන සුදා එහෙම කිව්වා.සුදයි මමයි දැන් කාලෙක ඉඳල සෙට්.ඌ හොඳ පොර.මාත් එක්කම තමා එකට කන්නෙ බොන්නෙ.

රෑ දහයට විතර ලයිට් ඔක්කොම ඕෆ් කරනකන් මන් බලන් ඉඳියා.අපි ගේමට බැස්සෙ රෑ දෙකට විතර.ඒ වෙද්දි මිනිස්සු හොඳටම නිදි කියල අපි පුරුද්දෙන් වගේ දැනගෙන ඉඳියා.

“මන් කෝකටත් කියලා පිහිය අරගෙන ආව.”

බල්ලො නෑ නේද?”

තාප්පෙන් පනින ගමන් සුදා එහෙම ඇහුවා

“නෑ” මාත් උගේ ටෝන් එකෙන්ම උත්තර දුන්නා.

රත්තරන් බඩු තියෙන්නෙ පුංචි නෝනගේ කාමරේ අල්මාරියේ කියල දැනගෙන ඉඳපු හින්දා රවුම් ගහන්න දෙයක් තිවුනේ නෑ. හෙමි හෙමින් අඩිය තිය තිය  පුංචි නෝනගේ කාමරේපැත්තට යද්දි ලොකු නෝනගෙයි මහත්තයගෙයි කාමරේ පහුකරන් යන්න වෙනවා. හයියෙන් කැරකෙන ෆෑන් හුලඟෙ සනීපෙට නිදාගෙන ඉන්න ඒ ජෝඩුව දිහා බලාගෙනම අපි පුංචි නෝනගෙ කාමරේ පැත්තට ගියා.

දොර භාගෙට ඇරලා තිවුනේ.ඒ කාමරෙත් ෆෑන් එක දාලා තිවුනා ගන සැරේට. පුංචී නෝන නිදියගෙන ඉඳියෙ අල්මාරියට පිටුපාලා. මන් අල්මාරිය  පැත්තට යන ගමන් මෙච්චර වෙලා මගේ ඉස්සරහින් ගියපු සුදා පහුවුනේ ඇයි කියල හැරිලා බැලුවා.

ෆෑන් හුලගට උඩට ගිහින් තිවුන නයිටිය අතරින් පේන පුංචි නෝනගේ ඇඟ දිහා බලන ගමන් සුදා තමන්ගෙ පිරිමිකම අතගානව කලුවරේ උනත් මන් දැක්කා. 

ලඟට ගිහින් ඌට තට්ටුවක් දාලා අපි ආපු කාරණේ මට ඒ හින්දා මතක්කරන්න උනා.

“මුන් නැගිටින්න කලින් බඩු ටික අරන් යමන් බන්”

“ඉන්න බෑ බන්.බලහන්කො .පට්ට කඳක්නෙ.බඳින්න ඉන්න එකාට පුදුම සැපක් ගන්න පුලුවන් වෙයි.”

ඌ එහෙම කියන අතරතුරෙත් උගේ පිරිමිකම අත ගානවා මන් ඇස් කොනකින් දැක්කා. 

“වරෙන් යකෝ”

මන් එහෙම කියලා ආයෙ අල්මාරිය පැත්තට යන ගමන් ආයෙ නිකමට හැරිලා බැලුවා.මහලොකුවට පිරිමි කියවන තමන්ගෙ පිරිමිකමත් එලියෙ දාගෙන සුදා,  මේසෙ උඩ තිබුන කතුරෙන් පුංචි නෝනගෙ නයිට් ගවුම කපනවා මන් දැක්කා. ඌට හිතෙන්න ඇති ගලවනවට වඩාඇඳුම කපන එක ලේසි ඇති කියලා.

එකපාර දැනිච්ච වෙනසකට නැගිටලා කෑගහන්න හදපු පුංචි නෝනගේ කට අතින් වහගෙන මිනිහා ට්‍රයි කලේ ඒ කෙල්ලගෙ මුලු ජීවිතේම විනාස කරන්නද?

අතරින් පතර උගේ අතැගිලි වලින් ගිලිහිච්ච පුංචි නෝනගෙ සද්දෙ මහ විනාසයක් වෙන්න යන බව කියන්න හැදුවා. ඒ කෑගැහිල්ලට කාමරේට  ලොකු නෝනයි මහත්තයයි දුවගෙන එද්දි මට මතක තිවුනෙ උගේ ඉණ අස්සෙන් ඇදලා ගත්ත පිහිය ලේ ගෑවිලා මගේ අතේ රැඳිලා තිවුන විත්තිය වගේම, පපුවෙන් එතකොට උණු ලේ ගලමින් බිම වැටිලා ඉදපු සුදා දිහා මන් සිහියක් පතක් නැතුව බලන් ඉඳියා කියන එක විතරයි.

 පොලිසීය එතනට එනකම්ම මන් එහෙමම බලාගෙන ඉඳියා.පොලිස් ජීප් එකේ නැගල යන කොට මට හිතුනෙ එක දෙයයි.

 “මාත් එක්ක එකට කාපු බීපු එකා උනත් ඌ මහ පර බල්ලෙක්”

————————————————————————-

කට උත්තරේ දීපු රත්නපාලව කූඩුවට එක්ක යන දිහා මන් බලන් ඉදියා.

මිනිමැරීමේ සහ සොරකම් කිරීමට තැත් කිරීමේ වරදට මිනිහාට අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ ලගින්න වෙන තීන්දුවක් උසාවියෙන් දෙන බව මන් දැනන් ඉදියා. ඌ කූඩුවට ගියේ හොරෙක් මිනීමරුවෙක් විදියට, මගේ හිතත් හොරකම් කරගෙන.

මනුස්සකම ද නීතියද කියන ප්‍රශ්නෙ මටත් ඇතිඋනා. කාටද සාධාරණය ඉස්ට කරන්නෙ?

-උදතාරී ගමගේ-

More Stories

Don't Miss


Latest Articles