ප්‍රේමයේ මන්දහාසිනි 37

තාත්තා මා දෙස බැලුවේම යමක් පවසන්නට සූදානමින් බව වැටහුණු නිසා මම එය අසා සිටින්නට සූදානම් වුනෙමි. 

” පුතේ .. මේක සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනි වෙලාවක් …. විශේෂයෙන්ම ඔයා…. ” 

එතැකින් නැවතී ඔහු මට පිටුපා හිට ගත්තේය. 

” කස්සපට අයියා වෙඩි තියලා පුතේ… අයියාටත් කස්සපගේ ගාර්ඩ්ලා වෙඩි තියලා… කස්සප නැති වෙලා..  අයියා තවම අයි සීයූ … අම්මාටත් ඇටෑක් එකක් ඇවිල්ලා අම්මත් ඇඩ්මිට් කලා….”

මම ඒ ඇසුණේ කුමක්දැයි යලි කල්පමා කලෙමි. අරන්දර අතෙහි හයිය එවෙලෙහි මොනවට දැනුණි. ඔහු මගේ කර වටා අතදමා මා ඔහු වෙත වාරු කරගත්තේය.

අයියා කස්සපට වෙඩි තබා ඇත … කස්සපගේ කවුරුන්ම හෝ අයියා ටද වෙඩි තබා ඇත .. කස්සප මිය ගොසිනි … අයියාට අසාධ්‍යය … අම්මා… ඇගේ පුතුට සිදුවූ විපත ඇයට දරාගන්නට නොහැකි වන්නට ඇත.

මගේ  ජීවිතය තුළ වඩාම වෛර කරන්නට හේතු හදා දුන් මිනිසුන් දෙදෙනා සහ ගැහැණිය වෙනුවෙන් මා මෙතරම් කැළඹෙන්න ට හේතුව මටම පැහැදිලි නැත. ඇතැම්විට මේ භවය තුළ  සිදුවන මුණ ගැහීම් වලට සංසාරයේ කෙදිනකම හෝ දිනෙක ලියැවුණ කතාවක්  තිබේය යන්න සත්‍ය වන්නට ඇත. අම්මා ටද, අයියාටද , කස්සපටද මා මේ භවයේ ගෙව්වේ ඒ ණය විය නොහැකිද ? 

හිතවතුනි ..,

මා උමතුවකින් කියවනවා නොවේ. එහෙත් සිදුව ඇති සිදුවීම මගේ හිත තුළ අප්‍රමාණ වේදනාවක් තනමින් ඇත.  එහෙත් එවන් වේදනාවක් හට ගත යුතු නොවේයැයි මට සිතෙන්නේය. 

මම මේ ඒ වේදනාව සාධාරණීකරණය කරගන්නට හේතු ඔබට පවසන්නට  කරන උත්සාහයක් පමණි. 

මම මහේල දෙස බැලුවෙමි. ඔහු මට ඉදිරි සිදුවීම් දරාගැනීමට අවැසි වන ශක්තිය මා වෙත දෙන්නට සූදානම් බව ඇඟවෙන දෑසින් මා දෙස බලා උන්නේය. මම දිගු සුසුම් කිහිපයක් සමඟින් ඊළඟ මොහොතට අඩිය තියන්නට සූදානම් වුනෙමි.

” පුතේ … කස්සපගේ බොඩි එක බාරගන්න ඉන්නේ ඔයා..  ලීගල් වයිෆ් විදියට ඉන්නේ ඔයා නිසා …  ඔයා අත්සන් කරනවද පුතේ ? … කස්සප එක්ක පහුගිය කාලෙක උන්න ගෑණු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නැත්නම් …. ඒ කෙනා ඒ දේවල් කරාවි ඔයා නැත්නම්…”

“මට බෑ තාත්තේ.. මං ඒ මනුස්සයාව දන්නේවත් නෑ…”

මට හැඬුණි. මම කස්සප ගේ විවාහක බිරිඳයැයි පවසන විට මට හැඬුණි. එය රිඳුණි.

” තාත්තා අඬන්න දෙයක් නෙවෙයි කිව්වෙ අසේකා…. එතන නීතිමය තත්වයක් තියෙන නිසා එහෙම ඇහුවේ ? අනෙක , ඔයාගේ තීරණේ ගැන අපිට ඔයාගෙන් අහන්නේ නැතුව තීරණය කරන්න බෑනේ අසේකා …”

මහේල අරන්දර ඉතා බරසාර, පණ්ඩිත ස්වරයකින් කීවේය. එයට නම් මට දරා ගත නොහැකි කෝපයක් නැඟුණි. මම මහේලගෙන් ඉවතට වුනෙමි.

” ඉතින්… දැන් මං මොකක් ද කරන්න ඕනි… ඒ මිනිය බාරගෙන අවසන් කටයුතු කරන්නද ඕනි ?”

මම කෝපයෙන් කෑගැසුවෙමි. කස්සප ගැන යම් වේදනාවක් දැනුනා නම් එය ක්ශයව අතුරුදන් ව තිබුණි. සිතුවිලි එහෙම බවට ඔබටද අත්දැකීම් ඇතිවා විය යුතුයැයි මම  විශ්වාස කරමි. මන්ද, ඒවා අපගේ පාලනයෙන් තොරවම  හටගන්නේය.  නැතිවන්නේය 

” එහෙම දෙයක්ද කිව්වේ අසේකා… ඇයි කිසි දෙයක් තේරුම් නොගෙන වගකීමක් නැතිව හැසිරෙන්නේ ?”

” ඔව් … මගේ මුලු  ජීවිතේම ඔයාගේ අක්කගෙයි  , එයාගේ යාලුවන්ගෙයි ජීවිත වෙනුවෙන් බිලි දුන්නට පස්සේත්   මම මේ කිසිම දෙයක් තේරුම් නොගෙන තමයි කතා කරන්නේ .. මාව  බය කරලා බැඳගත්ත මිනිහාගේ පෙට්ටියට කර තියන්න තරම් වගකීම දරන්න ඕනි නෑ මට… ඕනි නෑ.. මම හැම එක්කෙනා ගැනම හිතුවා.. කවුරුත් මගේ ගැන හිතන්නේ නෑ.. කිසිම කෙනෙක් හිතන්නෙ නෑ… “

මම හඬා වැටුනෙමි. අම්මා සහ අයියා මා පැහැරගෙන යෑමෙන් පසු සිදුවූ සියල්ල ඒ ආවේගය අස්සේ මට කියැවුනේය. කස්සප මහේලගේ අක්කාට විපතක් කරන බවට පෙන්වූ ඉඟි ගැන කියද්දී මහේලගේ දෑස් අතීතයේ ඒ කලබල දවස් වලින් ගිණි ගන්නවා මම දුටිමි. එහෙත් මම කියෙව්වෙමි. 

” මොකද්ද ඕයි මේ කියන්නේ ?”

ඉන්නේ රෝහල් පරිශ්‍රයක පසෙක බවද අමතක කර මහේල මගේ දෙවුරෙන් අල්ලා සෙලවූවේය. මට රිදුණි. එහෙත් මම ඉතා දැඩි ලෙසින් උන්නෙමි. 

” පුතේ… ඔව්වා මෙහෙම කතා කරන්න පුළුවන් ද  ? දැන් මෙතන කස්සප ගැන අපි මුකුත් කතා කරන්න ඕනි නැහැ….  අපි අපේ නොවෙන , අපි නොදන්න ගානට  ඉමු … ලොකු පුතාවයි , අම්මාවයි බලමු…”

තාත්තා අප දෙදෙනාටම පොදුවේ කීවා වුවද, මහේල එය වඩා බරසාර ලෙස ගෙන මගෙන් ඉවතට වූයේය. එහෙත් ඔහුගේ කලබලය හා නොසන්සුන්කම හැම ඉරියව්වකම විය. 

මහේල එක්වරම මා දෙස බැලුවේය. අදහන්න , ඔබ වඩා ප්‍රේම කරන මිනිසා ගේ දෑස් ප්‍රේමයෙන් එතරම් ආතුරව ඒ අස්සේම සඟවා ගත් වේදනාවක් ද සමඟින් නම් ඔබ දැකිය යුතු නොහේය. 

එය මරණීයය. 

ඉන් පසු මහේල ඒ ගැන විමසන්නට හෝ උත්සාහ කලේ නැත.

අප අම්මා බලන්නට ගියෙමු. ඇයට සියලු උවටැන් කලේ නිර්මලී නැන්දාය.

” නිර්.. ම.. ලී..  පු.. තා…”

ඇය එලෙස විමසාගන්නට සෑහෙන වෙහෙසෙනු දුටුවෙමි.

” කලබල නොවී ඉන්න මාලිනි… දරුවාට කරදරයක් වෙන එකක් නැහැ…..”

නිර්මලී නැන්දා තරමට කරුණාවන්ත කම නඩත්තු කරන්නට හැකි නම් හොඳයැයි මට එවෙලේ සිතුණි. 

මම නිහඬවම සුප් කෝප්පය සකසා නිර්මලී නැන්දා වෙත පෑවෙමි. ඈ එය ගෙන අම්මාට පෙව්වාය.  

ඒ අතරේ මම අම්මා දෙස බැලුවෙමි. මීට වසර හයකට පමණ පෙර සහ වසර පහකට පමණ පෙර අම්මා ගේ රුවට වඩා අතිශය වෙහෙසුණු රුවක් විය. ඇය ඉතා අපහසු ජීවිතයක් ගෙවන්නට ඇත. 

අම්මා ….

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles