Banana Egg Cake ලේසියෙන්ම ගෙදරදී හදාගමු ..

තේ වෙලාවට බිස්කට් එහෙමත් නැත්නම් බනිස් වගේ කෑම කාල එපා වෙලාද? 

ගෙදරට අමුත්තෙක් ආවම හැමදාම සංග්‍රහ කරන්නෙ බිස්කට් දීලද?

එහෙනම් වෙනසකටත් එක්ක ගෙදර නිතරම හොයාගන්න තියෙන හුරුපුරුදු දේවල් එකතු කරල රසම රස banana egg cake එකක් හදල බලමුද?

එහෙනම් එන්නකෝ. Smart lady අපි ඔන්න අද ගෙනල්ල තියනව රසම රස banana egg කේක් එකක් ඉක්මණින් ලේසියෙන්ම හදාගන්න විදිහ. 

මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

සීනි කෝප්ප ½ ක් 

දුඹුරු සීනි කෝප්ප ¼ ක් 

අඟල් භාගයක කුරුඳු පොතු කැබැල්ලක් 

බිත්තර 03 ක් 

සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුණු කෙසෙල් ගෙඩි 03 ක් 

දියකරගත් බටර් හෝ මාගරින් කෝප්ප ¼ ක් 

වැනිලා රසකාරක තේ හැඳි ½ ක් 

කිරි කෝප්ප ½ ක් 

පිටි කෝප්ප 01 ½ ක් 

බේකින් පවුඩර් තේ හැඳි 01 ක් 

බේකින් සෝඩා තේ හැඳි 01 ක් 

ලුණු කුඩු ස්වල්පයක් 

සිහින්ව කපාගත් කජු, රටකජු හෝ පොල් කැබලි කීපයක් (අත්‍යාවශ්‍ය නැත)  

සාදාගන්නා අකාරය 

මුලින්ම අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයේ රත්වීමට තබන්න. (විනාඩි 15 ක් පමණ රත්වීම ප්‍රමාණවත්) 

දැන්, බ්ලෙන්ඩර් කෝප්පයට සීනි සහ කුරුඳුපොතු කැබැල්ල දමා හොඳින් කුඩු කරගන්න. 

එයට බිත්තර, වැනිලා රසකාරක, කෙසෙල් ගෙඩි සහ බටර් එකතු කර නැවත විනාඩි 03 ක් 04 ක් බ්ලෙන්ඩර් කරගන්න. 

දැන් බ්ලෙන්ඩරයේ ඇති මිශ්‍රණය තරමක් විශාල භාජනයකට දමාගන්න.

වෙනම භාජනයකට පිටි, ලුණු කුඩු, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් දමා දෙපාරක් තුන්පාරක් පමණ හලාගන්න. 

දැන් මේ හලාගත් පිටි මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණයට දමා දෙපාරක් තුන්පාරක් පමණ පෙරළමින් මිශ්‍රකර ගන්න. 

බේකින් තැටියක් ගෙන එහි තෙල් කඩදාසියක් අතුරා එහි බටර් ආලේප කරගන්න. 

සාදාගත් කේක් මිශ්‍රණය බේකින් තැටියට දමා උඩින් කපාගත් කජු, රටකජු සහ පොල් කැබලි එකතු කර සෙන්ටිග්‍රේට් අංශක 180 ඌෂ්ණත්වයේ විනාඩි 50 ක් 55 ක් බේක් කරගන්න. 

උණුසුම්වම පිළිගන්වන්න. 

ඔන්න වෙනස් රස පිරුණු මෘදු banana egg cake මේ විදිහට හදල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles