“නෝන මට ලබන මාසෙ විසි තුන් වෙනිද නිවාඩුවක් ගන්න පුලුවන් වෙයිද?””
සිසිමාධවී අයිරාංගනී ඇමතුවේ දිනක් හවස වැඩ ඇරී ගෙදර යන්නට පෙර අයිරාංගනීට තේ පිළිගන්වමිනි. වෙනදාට ජයන්ති විසින් හදා දෙන තේකක් බිව්වා මිසක් අයිරාංගනී තමන්ගේ ආසාවක් ගැන කිසිවෙකුට කියන්නට නොසිතුවාය. එහෙත් සිසිමාධවී වනාහී ජයන්ති මෙන්ම තවත් එක් සේවිකාවක් යැයි සිතන්නට අයිරාංගනී මුල ඉඳන්ම කැමති උනේ නැත. සිසිමාධවී වනාහී එයට වඩා වෙනස් ලබැඳි මිතුරියක් බඳු කෙනෙකි. කල්පනාටත් වඩා තමන් ගැන හිතන්නට යෙදුණ දුවක් බඳු කෙනෙකි.
අයිරාංගනී සිසිමාධවීට කැමැත්තක් දැක් වූ තරමටම සිසිමාධවී අයිරාංගනීගේ ආසාවල් වඩා හොඳින් තේරුම් ගනිමින් උන්නාය. ඒවා කෙරේ වඩා සංවේදී වූවාය.සතියකට දින තුන හතරකට වතාවක් තිලකරත්න නිවස කාඩමම් ටී සුවඳකින් පිරී ගියේ ඒ තේරුම් ගැනීම නිසාමය.
“එක දිගට කිසි නිවාඩුවක් නැතුව ඔය ළමයා මාව බලාගන්න මෙහෙ ආ එකේ නිවාඩුවක් ගත්තට මක් වෙනවද?” අයිරාංගනී කිව්වේ කාඩමම් ටී කෝප්පයෙන් විහිදෙන සුවඳ නාසය පුරා විඳගනිමිනි.
“හැබැයි නිවාඩුව ගැන කතාකරගන්න වෙන්නෙ සුමධුර එක්ක නේද?””
“මම එහෙනම් මහත්තය එනකම් ඉඳල යන්නම් නේද නෝන?”
“නෑ ඔයා ගෙදර යන්න, මම සුමධුරට කියල් තියන්නම් කතාව. ඔයා හෙට උදේ ඇවිත් සුමධුර එක්කල ඔය ගැන කතා කරන්නකො””
සිසිමාධවී එදා නික්ම ගියේ හෙට වෙනදාට මදක් කලියෙන් එන බලාපොරොත්තුවෙනි.
“අම්මේ අම්මා කොහෙද හැමදාම යන්නෙ?”” චනුක අසන්නේ රෑට කන්නට සිසිමාධවී විසින් පිඟානට බෙදා දුන් බත් පරිප්පු සමග අනා ගුලි කර පිඟානේ රවුමට තබමිනි. බත් උණුවෙන් කන වෙලාවට එහෙම බත් ගුලි කර තබාමුලින්ම ගුලිකර තැබූ බත් පිඬ කන්නට ගත් විට කට පිච්චෙන්නේ නැති බවකියා දුන්නේ සිසිමාධවීය. චනුක ඒ මතක තබාගෙන බත් කන හැම වෙලාවකම බත් එසේ ගුලි කර තබාගනී.
“අම්මා වැඩටනෙ යන්නෙ පුතේ” සිසිමාධවී කිව්වේ දෙව්මිට බත් කවන අතරවාරයේය. දෙව්මිට තනියෙන් බත් කන්නට හැකි වුණත් හැමතැනම ඉහිරවගන්නා හන්දා සිසිමාධවී හැකි හැම වෙලාවකම දෙව්මිට බත් කවයි.
“අම්මා ඉස්සර ඉතින් වැඩට ගියේ නෑනෙ”
“එහෙම තමයි පුතේ හැමදාම ඉතින් එකම විදියට ඉන්න බෑනෙ” වැඩිපුර කැරට් හොද්දෙන් එක්කහු කර බත් කටක් දෙව්මිට කවා සිසිමාධවී චනුක දෙස වඩා හොඳින් බැලුවේ අනා පිඟානේ රවුමට තැබූ බත් පිඬුවලට ඇඟිල්ලෙන් අනිමින් කල්පනාකර කර උන්නා මිසක චනුක කන පාටක් නොපෙනුන හින්දාය.
“ඇයි පුතේ එහෙම ඇහුවෙ?”
“කලිඳු හිනා උනා අද අම්මා වැඩට යනව කියල” පුංචි කටෙන් කරන්නේ පුංචි චෝදනාවක් උනත් ඒ චෝදනාව පිටුපස දරුවෙකුට දරාගන්නට අපහසු දුකක් තිබෙන බව හඳුනගත් නිසාම සිසිමාධවී දෙව්මිට බත් අනමින් උන් පිඟානෙන්ම වඩා රසවත් බත් කටක් අනා චනුකගේ මුවේ තිබ්බාය.
“ඇයි පුතේ කලිඳු මොනවද කිව්වෙ?”” දරුවන්ගේ ප්‍රශ්නවලට කෝප ගෙන ඒවා විසඳන්නට නොහැකි බව සිසිමාධවී තේරුම් ගත්තේ මවක් වූ පසුවය. ඒවා විසඳිය යුත්තේ වඩා සුමටවය. දරුවෙකුගේ සිතක් නොතැලෙන අන්දමින් ය.
“තාත්තට අසනීප හන්දා අම්මා වැඩකාරකමේ යනව කියල” කලිඳුත් චනුකගේ වයසේම දරුවෙකි. ඒ දරුවාගේ කටින් මේ.පිටවී තිබෙන්නේ ඒ දරුවා දන්නා දෙයක් නොවේ. ඔහුගේ ගෙදර ඔහුගේ වැඩිහිටියන් කතා කරමින් හිඳ ඔහුගේ කනට වැටුණ දෙයකි.
“ඉතින් පුතේ අම්මා වැරදි දෙයක් කරන්නෙ නැතුව වැඩකරල සල්ලි අරන් එන එක හොඳයිනෙ. පුතා කලිඳුට කියන්නකො අම්මා කරන්නෙ වයසට ගිය, තනියෙන් වැඩකරගන්න බැරි අත්තම්මා කෙනෙක්ට උදව් කරන එක, ඒ අත්තම්මව බලාගන්න එක කියල. වයසක අත්තම්මලව බලාගන්න එක හොඳ වැඩක්නෙ පුතේ. මතකද ඉස්සර බුද්ධාගම පාඩමට පුතාලා හොඳ වැඩ ලිව්වා පොත්වල. මතකද ඒකෙ ලිව්වා වයසක අත්තම්මල සීයලට උදව් කරනවා කියලා. ඉතින් අම්මා කරන්නෙත් හොඳ වැඩක්නෙ පුතේ” කියමින් සිසිමාධවී එක් බත් කටක් දෙව්මිටත් අනෙක් බත් කට චනුකටත් කැව්වාය.
එහෙත් චනුක උන්නේ ඇස්වල කඳුලු පුරවාගෙනය. ඔහුගේ බෙරි වී තිබුණ දෙතොලින් එහාට සිසිමාධවී විසින් අනා තිබූ බත් කට ගියේ නැත.
“ඇයි මයි පුතේ අඬන්නෙ?”” සිසිමාධවී පිඟාන බිමින් තබා චනුක ලඟට ලං වුණාය. දෙව්මි උන්නේද බියපත් දෑසින් මාරුවෙන් මාරුවට අම්මා දෙසත් අයියා දෙසත් බලමිනි.
“අම්මා මට අරං දුන්නු ඉස්ටිකර් කාඩ් එක හැමෝටම පෙන්න පෙන්න කලිඳු විහිලු කරා, පස්ස පැත්ත කහගන්න අපිට නියපොතු නෑ කියල කලිඳුගෙ අම්මල කිව්වලු.
අපිට නියපොතු නැද්ද අම්මේ? පස්ස පැත්ත කහන්න හොඳ නෑ නේද?” කියා චනුක වඩා හයියෙන් අඬද්දී සිසිමාධවී ඉඳුල් අත මිට මොලවාගෙන චනුකව බදා ගෙන අනෙක් අතින් තාමත් කිරි සුවඳ විහිදෙන සිනිදු සුමුදු හිසකෙස් සිම්බාය.
මේ ප්‍රශ්නවලට දිය යුතු උත්තර සිසිමාධවී නොදන්නවා නොවේ. එහෙත් අසරණකම ඒ සියලු දේට වැටකඩොලු බැඳ තිබේ.
සිසිමාධවී පස්සෙන්දා තිලකරත්න නිවස බලා ගියේද චනුක කියූ වචන හිස අස්සේ දෝංකාර දෙද්දීය. වෙනදාක වුණානම් මේවා කෝසල එක්ක කතා කරන්නට පුලුවන්කමක් තිබුනා වුවද කෝසල දැන් ඉන්නේ මෙවන් අමිහිරි කතා අහන්නට සුදුසු අඩියක නොවේ.ඉතින් සිසිමාධවී මේ සියල්ල තනියෙන් දරාගත්තාය. ඒ දරාගැනීම කෝසල වන් උතුම් මිනිසෙකු වෙනුවෙන් තමන්ට කරන්නට හැකි ඉහලම කෘතගුණ පිදීම බව ඇය සිතුවාය.
සුමධුර උන්නෙ වඩා වේදනාබර හිතක් තුරුල් කරගෙනය. අම්මා විසින් ඊයේ රාත්‍රියේ කියන්නට යෙදුණේ සිසිමාධවීට රහසින් ආලය කරමින් හුන් සුමධුරට අසා හිඳින්නට හැකි කතාවක් නොවේ..
“අර ළමයා ලබන මාසෙ විසි තුන නිවාඩුවක් ඉල්ලනවා” අයිරාංගනී සුමධුරට කිව්වේ ඔහු විසින් රාත්‍රී ආහාරය රැගෙන උඩු මහලට ආ මොහොතේය.
අම්මා විසින් අර ළමයා යැයි පවසන්නේ කවුරුන් ගැනද යන්න හොඳින් දැන උන්නද ඒ බවක් නොතේරුනා මෙන් හඟවන්නට සුමධුර ඇහැක් හීනි කර බැලුවේය.
“ඒ ළමයගෙ සිස්ටර් ඉන් ලෝ මැරි කරනව කියල නිවාඩුවක් ගන්න පුලුවන්ද ඇහුවා. මං කිව්වා පුතාගෙන් තමයි අහන්න ඕන හෙට උදේට ඇවිත් අහන්න කියල.මම පුතාට දැන් කිව්වෙ ඒ ළමයට හෙට උදේට අහන්න අමතක උනොත් කියල. පුතා කියන්න නිවාඩු ගන්න කියල.දන්නවනෙ කල්පනාට කිව්වොත් කියාවි පඩියෙන් කපාගන්නව කියල”” තමන්ගේම දුව ගැන දන්නා තරම පෙන්වන්නට මෙන් අයිරාංගනී කට කෙලවරකින් සිනාසුනාය.
“නිවාඩුවක් ගන්න බැරිය. එක දිගටම වැඩට ආවා නේද ඒ ළමය?
“ඔව් එදාට විතරක් ඔය කොහෙන් හරි කාවහරි ගෙනත් තියාගන්න පුලුවන් නෙ නේද?”
අයිරාංගනීගේ වැඩ කටයුතුසඳහා උන් ජයන්තිව සේවයෙන් පහ කලායින් පසු ඇයව බලාගන්නට සිසිමාධවී එනතුරු ගෙවුණ දින කිහිපය වෙනුවෙන් සුමධුර විසින් උපස්තායක සේවයකින් කෙනෙකු ගෙන්වා ගත්තේය. අයිරාංගනී මේ මතක් කරේ සිසිමාදවී නොඑන දිනය වෙනුවෙනුත් ඒ උපස්තායක සේවයෙන්ම කෙනෙකුව ගෙන්වා ගන්නට හැකි බවය.
“ඕන නෑ අම්මා, ඇත්තටම මට අම්මා වෙනුවෙන් එක දවසක්වත් ඉන්න බැරි වෙච්ච එකේ මම එදාට ඉන්නම් අම්මා”
“අනේ පුතා මේ යුතුකම් ඉටුකරන්න හිතාගෙන පුතාලගෙ වැඩ පාඩු කරගන්න එපා මං හන්ද. මට අර උයා පිහාගන්න බැරිකම මිසක් මම ඇත්තටම මෙහෙම කාවවත් ගෙනල්ල තියාගෙන පුතාගෙ සල්ලි වියදම් කරන්න ආසත් නෑ”
“යුතුකමක් කියල හිතල නෙවෙයි, මම අම්මා වෙනුවෙන් මුකුත්ම කරේ නෑ කියන ගිල්ට් එක හිතෙ තියන හන්ද මං එහෙම කිව්වෙ”
“එපා එපා එහෙම මං වෙනුවෙන් ඔයා මේ වැඩ පාඩු කරගන්න ඕන නෑ. පුලුවන් නම් අනේ අර ළමයට මොකක් හරි උදව්වක් කරන්න පුලුවන් වෙලාවක. මට හරි දුකයි හිතට ඒ ළමයට මූණ දෙන්න වෙලා තියෙන කරදර ගැන ඇහුවම”
“ඇයි අම්මා එහෙම කිව්වේ?” සුමධුර ඇසුවේ හිත ඇතුලේ වූ කලබලය අම්මාට බිඳකින්වත් නොපෙන්වමිනි.
“ඒ දරුව ගෙදරින් පැනල ඇවිල්ලනෙ මැරි කරල තියෙන්නෙ. හොඳ ෆැමිලි එකක දරුවෙක්. අම්මල කැමති වෙලා නෑ ඒ මැරේජ් එකට. කොහොමත් ඉතින් මේ දරුවගෙ ෆැමිලි එකට මැච් වෙන බෝයි කෙනෙකුත් නෙවෙයි
හැබැයි නරක ලමේකුත් නෙවෙයි මාදවී මට කිව්ව විස්තරවල හැටියට. කොහොමහරි ලොකුම කරදරේ වෙලා තියෙන්නෙ ඒ බෝයිට ලන්ග් කැන්සර් එකක් කියල ඩිටෙක්ට් කරගෙන. ජොබ් එකෙනුත් රිසයින් වෙලා. වෙන සල්ලි ලැබෙන විදියක් නැති හන්ද තමා මේ දරුවට ජොබ් එකකට එන්න වෙලා තියෙන්නෙ
පොඩි දරුවො දෙන්නෙකුත් ඉන්නවනෙ. පව්. මගෙ හිතට හරි අමාරුයි. තාත්තා නැති උනයින් පස්සෙ සල්ලි කොච්චර තිබ්බත් මට ආව ප්‍රශ්න පුතාට මතක් ඇතිනෙ.
එහෙම එකේ මේ නැති බැරි තැනක දරුවෙක්ට මෙහෙම ප්‍රශ්නයක් වුණාම කොහොමද දුකක්ද?” අයිරාංගනී කියාගෙන කියාගෙන ගියේ හෙමින් සැරේ කෑම රස විඳින අතරවාරයේම.
එහෙත් සුමධුර උන්නේ ඒ කිසිවක් ඇසෙන ඉසව්වක නොවේ.
සුමධුර තිලකරත්න උන්නේ කම්පිතවය. වික්ශිප්තවය. තිගැස්සීය.
හිත අස්සේ පොකුරු ලෙස පූදින්නට පටන් ගෙන තිබූ බොහෝ කාලයක් ඒ හිතට අහිමිව තිබූද අවාරයක පිපෙන්නට පටන් වෙන තිබූද වසන්ත කාලයක මල් තිබුනේ ආයෙමත් පෙති හකුලාගනිමිනි.