(අ)හිමි සිහින -121

සුධාරක වැඩියෙන්ම සතුටු වුණේ මම ඔහු සමඟ සෑම මොහොතකම රැඳීමෙන්.මා ඔහුගේ රාජකාරි ස්ථානවල ඇති උත්සව වලට පවා රැගෙන යාමෙන් ඔහු ඉතාමත් සතුටට පත් වුණා.

“මේ ඉන්නේ මගේ වයිෆ්”

ඔහු මාව සෑම තැනකටම හඳුන්වා දුන්නේ එහෙමයි.එනිසාම මා ඔහුගේ බිරිඳ බව සෑහෙන දෙනෙකු සිතාගෙන සිටියා.දිල්හානි ගැන බොහෝ දෙනෙකු නොදන්නා තරම්.

“මේ ඉන්නේ මගේ වයිෆ්”

ලෙස මාව හඳුන්වා දෙන්නට ඔහු මොනතරම් ප්‍රිය කළාද? මා සාමාන්‍යයෙන් ජනප්‍රිය චරිතයක් වීම නිසා මාවද දුටුමතින් අනෙක් අය හඳුනා ගැනීම නිසා එය ඔහුට තවත් සුන්දර අත්දැකීමක් වන්නටත් ඇති.එපමණක් නෙවෙයි.ඔහුගේ කාර්ය මණ්ඩලය පවා මට සැලකුවේ ඉතා ආදරයෙන්.

“අපි අයිස්ක්‍රීම් කමු?

කොහේ හෝ ගමනක් යද්දී මම එසේ අසනවා.තරුණ නිලධාරීන් හිනැහෙමින් මේ රාත්‍රී කාලය බව මට සිහිපත් කරනවා.

“ඉතින් මොකද? රෑ අයිස් ක්‍රීම් කෑවා කියලා කැවෙන්නෙ නැතුවයැ.”

මම එසේ කියද්දී මා සමඟ ගමන් යද්දී ඉතා ඉක්මනින් දියවැඩියාව වැලඳෙන්නට ඉඩ ඇතැයි තරුණ නිලධාරීන් මට කියන්නේ හිනැහෙමින්.ඔවුන් එසේ කියමින් මට සරදම් කළත් ඔවුන් මට ඉතාම ගෞරව කළා.

ඒ මම මගේ ගෞරවය රැක ගන්නටත් ප්‍රවේසම් වූ නිසා වෙන්නට ඇති.සමහර දවස්වල සමහර ගමන් යෙදෙන බව මම දැන ගන්නේ රාත්‍රී කාලයටයි.එවැනි මොහොතක මම ඒ ගමන යන්නට හෙට උදෑසන පැමිණිය යුතු බව කියා ඔවුන්ට රාත්‍රියෙ ඇමතුම් ලබා දුන්නේ නැහැ.ඒවා සුධාරක හරහා දන්වන්නට මම ප්‍රවේසම් වුණා.සමීප බව සේම දුරස් බව පවත්වා ගත යුතු අන්දම හොඳින් දැන සිටි හන්දාම මට ගරුත්වය සහ ආදරය එක වගේ පවත්වා ගන්නට හැකි වුණා.

“අපි සර්ට ආදරෙයි.ඒ ආදරේ නිසා අපි මැඩම්ට ආදරෙයි.ඒත් මැඩම්ට තියෙන්නේ වෙනම ආදරයක්.මැඩම් අපේ හිත දිනා ගත්තේ සර් නිසාම නෙවෙයි.මැඩම් වෙනම චරිතයක් විදියට අපේ හිත්වල ඉඩ හදා ගත්තා.ඒ නිසා මැඩම්ට අපි ආදරෙයි.”

මේ මොහොතේ පවා ඔවුන් මට ඉතා සමීපයි.ලෙඩක් දුකක් හැදුණු මොහොතක පවා වැඩිමහල් සහෝදරියක ගැන සොයා බලන තරම් ආදරයකින් ඔවුන් මා ගැන සොයා බලනවා.

ගරුත්වය සහ ආදරය උපයා ගන්නට අසීරුයි.බොහෝ අවස්ථාවන්වලදී අපි සමහරුන්ට ගරු කරන්නේ මූනිච්චාවට පමණයි.සැබෑ ආදරය සහ ගරුත්වය උපයා ගන්නට නම් අපි අනෙකාට ගරු කළ යුතුයි.ඒ දහම මා දැන සිටි නිසාම මට ජීවිතය වඩවඩාත් පහසු වන්නට ඇති.

සුධාරක වෙනුවෙන් මා ඔහුගේ සමීපතමයන්ට පවා යුතුකම් ඉටු කළේ ඒ අන්දමට.මා ඒවා කළ යුතු බව සිතා ආයාසයෙන් මා ඒ කටයුතු කරන්නට ගියේ නැහැ.ආදරයෙන් ජීවත් වන විට බොහෝ දේවල් සිදු වන්නේ නිරායාසයෙන් මයි.ඇත්තටම ආදරණීය ජීවිතයක් හිමි වූ විට අපිට ලෝකය මොනතරම් ලස්සනට පෙනෙනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles