පාවහන් මිලදී ගන්න කලින් මේවා ගැනත් හිතන්න..

සපත්තු සහ සෙරෙප්පු කියන්නේ ඔබ කරන විලාසිතා වල පෙනුම සහ නිමාව වැඩි දියුණු කරලා පෙන්වන ප්‍රධානතම අංගයක්. ඔබේ පෙනීම වැඩි කරන්න වගේම එයට ලොකු වෙනසක් ලබා දෙන්නත් ඔබ පළඳින සපත්තු වලට පුළුවන්. සපත්තු සහ සෙරෙප්පු වලින් විලාසිතා කරන්න කලින් වගේම ඒවා මිලදී ගන්න කලින් ඔබ දැන ගත යුතු කරුණු මොනවාද ? 

සුව පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න 

ඔබ මිලදී ගන්න සපත්තු සහ සෙරෙප්පු ඔබට බොහෝ වේලාවක් පැළඳගෙන සිටීමට නම් එය අනිවාර්යයෙන්ම සුවපහසුව අතින් ඉහළ තැනක තිබිය යුතු වෙනවා. ඒ නිසා ඔබ මේවා මිලදී ගන්නට කලින් සුව පහසුව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතුයි. විශේෂයෙන්ම විළුඹ ප්‍රදේශය මෘදු අමු ද්‍රව්‍යවලින් සහ කුෂන් පෑඩින් ඇතුළත් කළ සපත්තු ඔබට බොහෝ වේලාවක් පැළඳගෙන සිටීමට හැකි වෙනවා වගේම ඔබේ දෙපාවල විළුඹේ ඇතිවිය හැකි අපහසුතාවයන් ද වළක්වනවා.

ඔබේ ජීවන රටාව පදනම් කර ගන්න 

ඔබ සපත්තු තෝරා ගැනීමේදී ඔබේ ජීවන රටාව කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට ඕනේ. ඔබ ක්‍රීඩා වලට මුල්තැන දෙන රැකියාවක් කරන අයෙක් නම් ඔබ තෝරා ගන්නා සපත්තු සවි ශක්තිය සහ කල් පැවැත්ම අතින් ඉතා හොඳ තත්වයක පැවතිය යුතුයි. ඒ වගේම ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් ඔබට අඩි උස හෝ විවිධ වර්ගයේ සපත්තු පළඳින්නට හැකියාව තියෙනවා. ඉතින් මේ හැම සපත්තු වර්ගයක්ම ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න කොට ඔබට ඔබේ ජීවන රටාව ගැනත් හිතන්නට වෙනවා.

ප්‍රමාණයට වඩා ගුණාත්මක බව ගැන හිතන්න 

ඔබ සපත්තු හෝ සෙරෙප්පු මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්න සපත්තු කුට්ටම් ප්‍රමාණය ගැන හිතනවාට වඩා ඒවායේ ගුණාත්මකභාවය ගැන අවධානය යොමු කරන එකයි වඩාත්ම වැදගත් කාරණය වන්නේ. ඒ වගේම මිලදී ගන්න සපත්තු තරමක් මිල අධික එකක් උනත් ඒවායේ කල් පැවැත්ම අනෙක් ඒවාට සාපේක්ෂව වැඩි නිසා එවැනි දෙයකට මුදල් ආයෝජනය කිරීමේ වරදක් නැහැ.

පාදවල ප්‍රමාණය හොඳින් ගලපා ගන්න 

ඔබේ පාදවල ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයක සපත්තු පැළඳීම ඔබේ පාද වලට ඉතා අහිතකර තත්ත්වයන් ඇති කරන්නට පුළුවන්. ඔබේ පාද වලට වඩා කුඩා ප්‍රමාණයේ සපත්තු පැළඳීමෙන් පාද තුවාල වීම , පාද වලට වැඩිපුර දහඩිය දැමීම නිසා ආසාත්මිකතා ඇති වීම වේදනාකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. ප්‍රමාණයෙන් විශාල සපත්තු පැළඳ සිටීමේදී ඔබ ඒවා සමබරව තබා ගැනීමට උත්සාහ කරනවා. මෙහිදී ඔබේ පාද වලට පමණක් නොව පාද වලින් ඉහළට පවා පසුකාලීනව අහිතකර තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. 

පහසුවෙන් ගැලපිය හැකි වර්ණ තෝරන්න 

සාමාන්‍ය ගමනක් යනකොට වගේම, කාර්යාලයට, උත්සව අවස්ථාවකට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට අඳින ඇඳුම අනුව ඔබට ඔබ පැළඳිය යුතු සපත්තු යුගලය තෝරා ගන්නට සිදුවෙනවා. මෙහිදී ඕනෑම ඇඳුමක ඕනෑම වර්ණයකට ගලපා ගත හැකිවන පරිදි වර්ණවලින් ඔබ සතුව සපත්තු තිබෙනවා නම් මේ වර්ණ ගලපා ගැනීම ඔබට එතරම් අපහසු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස , කලු , දුඹුරු , රතු හෝ Nude Colors වලින් ඔබ සතුව සපත්තු තිබෙනවා නම් ඔබට ඒවා ඕනෑම ඇඳුමකට ගලපා ගැනීමේ හැකියාව තියෙනවා.

මිල ගැන සලකා බලන්න

 මේ වනවිට වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ සපත්තු වර්ග ඕනෑ තරම් තිබෙනවා. ඉතා අඩු මිල ගණන් යටතේ තියෙන සපත්තු වල ගුණාත්මක භාවය සහ කල්පැවැත්ම ඉතා අඩු වීමේ හැකියාව වැඩියි. ඒ වගේම මෙවැනි දෙයක් සඳහා ආයෝජනය කිරීමට ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා ඔබ වියදම් කිරීමට සූදානම් මුදලට ඉතා හොඳ ගුණාත්මක භාවයකින් යුතු සපත්තු තෝරා ගැනීමටත් ඔබ නුවණැති වන්නට ඕනේ.

ඔබට හොඳ පෙනුමක් ලබාදිය හැකි සපත්තු සහ සෙරෙප්පු මිලදී ගැනීමට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු කරුණු ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ. ඉතින් විලාසිතා ලෝකයේ ප්‍රධානතම අංගයක් වන පාවහන් මිලදී ගන්නට පෙර ඔබ මේ කරුණු ගැනත් සැලකිලිමත් වනවා නම් ඔබේ මුදල් ඉතිරි කර ගන්න ඔබට පුළුවන් . 

Related Articles

Don't Miss


Latest Articles