කෝසලගේ නිසසල සිරුර සැතප වූ ලී පෙට්ටිය ගෙදරට ගෙන එද්දී හැන්දෑ විය. චනුකත් දෙව්මිත් උන්නේ බය වී මෙන්ය. මීට කලින් තමන්ගේ ගෙදර මෙහෙම මිනිසුන් පිරී උන් නැති බව මතක හන්දාම දෙව්මි උන්නේ අඬන්නට ඔන්න මෙන්නය. චනුක බය නැති බවක් පෙන්නා උන්නද පොඩි උන් දෙන්නාටම මේව නුහුරු බව දන්නා නිසාම අසල්වාසී ගෙදරක නැන්දෙකු පොඩ්ඩන් දෙදෙනා අසලම නිරත්තරයෙන් වාඩි වී උන්නාය. එහෙත් එන යන මිනිසුන්ට කෝසලගේ අසනීපයේ දරුණු බවත්, කෝසල උදේ මිය ගොස් උන් අයුරුත් කියන පුශ්පලතාගේත් සිසිමාධවීගේත් හඬ දරුවන්ගේ සවන් මත වැටෙනු වලක්වන්න හැකියාවක් තිබුනේ නැත.
“ඊයේ රෑත් හොඳට කාලා බීල මාත් එක්ක කතා කරල නිදාගන්න ගියේ නැන්දෙ” සිසිමාධවී එකම ප්රශ්නයට කීවෙනි පාරටද මන්දා උත්තර දුන්නේ හොටු සූරමිනි. අඬන්නට කඳුලු නැති තරම් ය.
“පිළිකාවකින් ගොඩ එනවය කියල කියන එක හීනයක් දරුවො”
“අනේ ඇත්ත, පෙණහැල්ල මොකෝ කපල අයින් කරන්න කියලය. අනික ඉතින් හොයාගද්දිත් හොඳටම පැතිරිලලු නේද තිබ්බෙ? එහෙම එකේ මෙච්චර කල්වත් උන්නු එක තමා පුදුම”
“ඒක නම් ඇත්ත මං මීට මාස එකහමාරකට විතර කලින් දකිද්දි කෝසලගෙ ඇටයි හමයි විතරයි. හිතාගන්න බැරි විදියට හේදිල ගිහින් වගේ හිටියෙ”
“දරුවො තමා අසරණ වෙන්නෙ”
“සිසිමාධවීට රස්සාවක් තියෙන හන්දා දරුවො දෙන්නට උගන්නගෙන උස්මහත් කරගන්න නම් අමාරු නෑ” කියා කෙනෙකු කියද්දි ඇය වෙත පහත් වූ තවත් එකියල හීන් සැරේ කොඳුරන්නට වූයේ මෙවන් වේදනාබර මොහොතකට කොහොමවත් නොගැලපෙන කුණු රසැති කතාවකි.
“සිසිමාධවීට නම් මොකෝ ආයෙ බඳින්න බෑ කියලද? පෙනුමෙන් අඩුවක් නෑනෙ. දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියල කියන්න පුලුවන්ද?”
“ඒකනම් එහෙම තමා”
“ඔහොම ඉඳල ආයෙ බඳී. දරුවො තමා අසරණ වෙන්නෙ අන්තිමේ. මට නම් කෝසලටත් වඩා දුක දරුවො දෙන්න ගැන. කසාදයක් කරගෙන ඒ කසාදෙන් දරුවො හම්බෙද්දි ඉතින් කොහොමත් මේ දරුවො පිලට වැටෙනවනෙ” කියා ඇය කුණු රස කතාවක් අවසානයේ මවාගත් සංවේගයකින් මුහුණ විරූපී කරගත්තාය.
මේ කතා ඇහුණද මේවට උත්තර දෙන්න හැකි තැනක සිසිමාධවී උන්නේ නැත.
මේ ගෙදර තවත් කෝසල නැති බව, ඔහු මියගිය බව, ඔහු කියා කෙනෙකු නැති බව සිසිමාධවීට තවම විශ්වාස කරන්නට බැරිය. කෝසල කෙනෙකු නැති ජීවිතයක් තිබෙන්නට හැකිද යන්න සිසිමාධවීට තවම විශ්වාස කරන්නට බැරිය. ඒ හැඟීම වනාහි වචනයෙන් විශ්වාස කරන්නට බැරි හැඟීමකි.
කඳුලු නොවැටුණද, ඇස් වියලී තිබුණද හිත තිබුණේ අමුතුම හැඟීමකින් පිරීය. එහි හිස්කමක් වුවද ඒ යමක් අහිමි වූවාය කියා දැනෙන හැඟීමෙන් කටපෙත්තටම පිරි තිබුණි. සියල්ල දෙසම, එක් රැස් වී හිඳින මිනිසුන් දෙස බලා ඉද්දී එකවරම හිතට එන “දෙයියනේ එයා තවත් නෑ නේද” කියා දැනෙන සිතුවිල්ල, ඔංචිල්ලාවක් ඉහල ගොස් පහල එද්දී බඩට දැනෙන කිතියත්, කඳුලු හිරවී උගුර සිර වු විට දැනෙන හැඟීමත් එක් වූවකි. උගුරේ සිරවී ඇති ඒ කෙල ගුලිය පිටතට දමන්නට හැකි නම් හිත සැහැල්ලු වනවාය කියා හිතෙන හැඟීමකි.
සිසිමාධවී උන්නෙ ඒ එලොවටත් නැති මෙලොවටත් නැති තනිකමෙන් පිරී ගොසිනි. මිනිසුන් බොහෝ රැස් වූ තැනක වුව තමන්ගේ කෙනෙකු නැතිය යන හැඟීමෙන් පිරී ගොසිනි.
කෝසලගේ නිසසල සිරුර සැතප වූ ලී පෙට්ටිය ගෙදරට ගෙන එද්දී සිසිමාධවී හිඳගෙන උන් තැනින් නැගිට්ටේ යන්ත්රානුසාරයෙනි. ලී පෙට්ටිය නිවසේ ඉඩකඩ නැතු ආලින්දයේ තබා එහි පියන්පත් විවර කල අවමංගල ආයතනයේ මිනිසුන් කෝසලට තමන්ගේ නිවසේ ආලින්දයේ බොහෝ දෙනෙකුගේ විපරම් ඇස මැද සැතපෙන්නට ඉඩ සැලසූහ.
පියන්පත් හැරි කෝසල නිදාහුන් ලී පෙට්ටිය අසලට හඬාගෙන මුලින්ම ගියේ පුශ්පලතාය. මේ මෙවන් උතුම් මිනිසෙක් මෙලොවට බිහිකල අම්මා නිසාම ඇයට ඒ අයිතිය හිමිවිය යුතු බව සිතන්නවත් සිහියක් ඇත්තටම සිසිමාධවිට තිබුණේ නැත. ඇය උන්නේ මේ මොහොතේ තමා ඇත්තටම ජීවත් වනවාද කියා විශ්වාස කරන්නට, පිළිගන්නට නොහැකිවය.
හුස්ම ගන්නට අපහසු බවක්, ලෝකය කැරකෙන බවක් දැනෙද්දී වුණත් සිසිමාධවී ඇඟිලි හයියෙන් තදකරගනිමින් හිටගෙන උන් තැනම මුල් අදින්නට සිතුවාය.
“අනෙ මගෙ පුතේ, මාව දාලා කොහොමද මගෙ පුතේ ඔයා යන්න හිත හදාගත්තෙ? මං කොහොමද පුතේ දැන් ජීවත් වෙන්නෙ” කියා පුශ්පලතා අඬද්දීත් සිසිමාධවී ඒ මුල් ගල්වගන්නට හිතුවේ නැත. හඬමින් උන් පුශ්පලතාව වත්තම් කරගෙන නිලන්ත පුටුවක් අසලට යද්දී සිසිමාධවී දරුවන් දෙදෙනාගේ දෑතින් අල්ලගෙන කෝසල නිදාහුන් ලී පෙට්ටිය වෙත සමීප වුණාය. ඒ තබන අඩියක් පාසා හිත වෙව්ලුම් කන යුරු දැන උන්නේ සිසිමාධවී පමණකි. වෙනදාට කෝසලට ලං වෙද්දී දැනෙන ඔහුට ආවේණික දහඩිය සුවඳ නැතුව නාසය කඩාගෙන යන ෆෝමලින් සුවඳක් නැහැ පුඩු අස්සෙන් පප්ව අස්සට ගොස් කෝසල මිය ගිය වෙලේ සිසිමාධවී ඔහු අසල දණ ගසා නාසය පුරා විඳගෙන පපුව අස්සේ රඳවාගත් කෝසලගේ ජීවන සුවඳට එහා පැත්තෙන් තැන්පත් වුණි.
සිසිමාධවී හැඬුවේ නැත. හඬන්නට හේතුවක් නොතිබුනා නොව යතාර්තය කුමක්ද කියා හඳුනාගන්න පෙරළියට ඇය සිරව උන්නාය.
“තාත්තට සාධු කියන්න පුතේ” කියා මුලින් චනුකවත් අනතුරුව දෙව්මිවත් වඩාගෙන පෙන්නුවාය. අම්මාගේ අතින් බැසගත් චනුක තමන් ආච්චි අම්මා මෙන් අඬන්නට උවමනාද කියා කුතුහලයක ගිලී ඉද්දී සිසිමාධවීගේ අතේ උන් දෙව්මි “තාත්තේ” කියා ඉකිලන්නට ගත්තාය.
චනුක අඬන්නට පටන් ගත්තේ නංගීගේ හැඬුමෙන් ලද අවසරය උඩය. එහෙත් සිසිමාධවී කඳුලු සැලුවේ නැත.
“කෝසල දැ හැම වේදනාවකින්ම නිදහස්. මම ඒ ගැන සන්තෝස වෙන්න ඕන. ලෙඩේ අමාරුව හන්ද ඇඟත් දුර්වල වෙලා කොච්චර වේදනාවකින්ද හිටියෙ. එහෙම එකේ එයා තවත් ජීවත් වෙලා ඉන්නවට වඩා ඒවේදනාවෙන් ගැලවිච්ච එක හොඳයි. ආදරේ කරානම් මම කරන්න ඕන කෝසල ඒ වේදනාවෙන් ගැලවිච්ච එක ගැන සන්තෝස වෙන එක මිසක්කා ඒ ගැන තව හිතල දුක් වෙන එකවත්, කෝසලගෙ ආත්මෙට සැනසීම නැති කරන එකවත් නෙවෙයි”
කිසිවෙකුට නොපෙනුනද,නොඇසුණද සිසිමාධවී තමන්ගේ හිතටම ඒ වචන කියමින් උන්නාය. කඳුලු හිරකරගත්තේ ඒ අනුවය. කිසිවෙකු නොදැක්කා යයි කියා හිතුණද සුමධුර තිලකරත්න සිසිමාධවීගේ කුඩා නිවසේ කෙලවරක හිඳ ඇය දෙසමබලා උනේය. ඒ වේදනාව ඔහු හැඳින්නේය. මීට වසර කිහිපයකට පෙර තාත්තාව සතපවා උන් මිනී පෙට්ටිය අසල සිටගෙන උන් අම්මාගේ මුහුණේ ඇඳී තිබුනේත් මේ බැල්මම බව සුමධුරට මතකය.
ඒ හිස් බැල්ම යට කොතෙක් වේදනාබර කතන්දර තිබේද යන්න සුමධුර ඒ හන්දාම දැන උන්නේය.
සිසිමාධවී ලඟට යන්නට, ඇයව වත්තම් කරගන්නට, නැතිනම් චනුකව හෝ දෙව්මිව වඩාගෙන සනසාලන්නට හිත කිව්වද සුමධුර ඒ හැඟීම් ඒ ඇසිල්ලේම කපා දැමුවේය. මෙවන් තැනක එවන් දයාර්ද හැඟීමක් පෙන්වීම සිසිමාධවී ගැන කෙනෙකු වරදවා හිතන්නට හේතුවක් විය හැකි බව සුමධුර දනී. අනෙක් අතට මේ මියගොසින් හිඳින්නේ ඇය ආදරය කල මිනිසාය. ඇය විවාපත් කරගත් මිනිසාය. ඒ වාසනාවන්ත මිනිසා වෙනුවෙන් මේ මොහොත ඇයට තම යුතුකම්ද වගකීම්ද ඉටු කරන්නට ඉඩ දිය යුතුය.
කෝසලගේ නිසසල සිරුර ගෙදරින් පිට කරන වෙලාවේවත්, ආදාහනාගාරයේවත් සිසිමාධවී හැඬුවේ නැත. ආදාහනාගාරයේදී අවසන් වරට කෝසලගේ මිනී පෙට්ටිය විවර කර පෙන්වද්දී දෙව්මිත් චානුකත් සමගම සිසිමාධවීත් ඔහුගේ දෙපා අල්ලා වැන්දාය.
“මාව මේ ලෝකෙ ඉන්න සන්තෝසම ගෑණි කරාට ඔයාට හැමදාම පින් කෝසල. මාවයි දරුවන්වයි දාලා යන්න ගියාට මම තරහ නෑ කෝසල. අනේ මම බලන් හිටියෙ ඔයා සනීප වෙලා ඉස්සර වගේ මදූ කියල හිනාවීගෙන ගෙදර එන දවසක් එයි කියල මම බලන් හිටිය බව ඇත්ත. ඒ උනාට… ඒ උනාට ඔයාට ඔයාගෙ වේදනාවෙන් ගැලවෙන්න පුලුවන් උනානම් තව ආත්ම ගාණක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න මට පුලුවන්” කියා හිමින් සැරේ පවසා සිරුර ආපසු කෙලින් කරගත්තාය.
ආදාහනාගාරය තුල මේ දැවෙන්නේ තමා දස දහස් වතාවක් ආදරයෙන් බැඳුණා වූද තුරුලු කරගත්තා වූද මිනිසා බව මෙනෙහි කරමින් ආදාහනාගාරයේ දුම් කවුලුවෙන් පිටවී යන සුදු පැහැ දුම් රොටු දෙස සිසිමාධවී එක එල්ලේ බලාඋන්නාය.
ඒ සුදු පාට දුම් රොටු කොයි මොහොතක හෝ අහසේ නිල් පැහැ වපසරිය උඩ කෝසලගේ සිනාබර මුහුණ අඳිනු ඇතැයි බලාපොරොත්තුවක්ද සමගිනි.
පසු සටහන:
මේ කොටස වදන් කලේ බොහෝ වේදනාවෙන් බව කිව යුතුමය. තාත්තා කෙනෙකු,සැමියෙකු මිය යාම කොතරම් වේදනාකාරීද යන්න මම වින්දේ දැනට වසර දෙකකට පෙරය. “හිත හදාගන්න දූ” කියා තාත්තා සේවය කල රටේ තාත්තාගේ මිතුරෙකු දුරකතනයෙන් පවසද්දී මා හැඬුවේ නැත.”තැන්ක්යු අංකල්, මම අම්මට කියන්නම් කියා” දුරකතනය තබා අම්මාට බිරිඳක ලෙස මෙලොව අහන්නට වන භයානකම ආරංචිය ගෙනයන පණිවුඩකරුවා වන්නට වුණේ මටය.
දුරකතනය ඔස්සේ ඇසුණ අම්මාගේ විලාපයත්, තාත්තාගෙ නිසල සිරුර බහාලූ ලී පෙට්ටිය ආදාහනාගාරයට ගෙන යන්නට වෙලාව ආ මොහොතේ එතෙක් නාඩ උන් අම්මා මල්ලීට වාරු වී “අනේ මං ඔයා එනකම් නේද බලන් හිටියෙ” කියා නැගූ වේදනාබර ඉකියත් මට ජීවිතාන්තය දක්වා කිසිදාක අමතක කරන්නට නොහැකි ලෙස හිත කෙලවරක හිඳ තනිවන නිමේශයන්හි නිරත්තරයෙන් දෝංකාර දෙයි.
මා නිදහස් මිනිසෙකු වන්නේ ඒ දෝංකාරය නොඇසෙණ දිනකය.
ඉතින් මා පෙළන එකී වේදනාව මෙලොව කිසිම දුවෙකුට,බිරිඳකට, මවකට, සොහොයුරියකට, ජීවියෙකුට අත් නොවේවායි මම නිරත්තරයෙන් පතමි. එය සොබා දහමට පටහැනි බව දන්නවා වුවද,
ඔබටත් එසේම පතන්නැයි මම ඉල්ලමි